දශලක්‍ෂ පනස්දාහක ව්‍යාපෘතියකින් හෝමාගම තාක්ෂණික නගරය ගොඩනැංවේ

Champika.jpg

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, අද(24)දින හෝමාගම සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, හෝමාගම නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම අයට අපි මෙතනට ආරාධනා කළා. මොකද මේක දේශපාලනය සඳහා තිබෙන අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා අපි මේ සියළුම දෙනාට ගරු බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමාට, ගරු ගාමිණී තිලකසිරි පළාත් අමාත්‍යතුමා ඇතුළු සියළුම දේශපාලන අධිකාරියේ ඇත්තන්ට අපි ආරාධනා කළා මොකද මෙය අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ලියවිල්ලක් නිසා.

ඒ වගේම අපි කියන්න ඕනේ ඕන නගරයක් දියුණුවෙලා ඉදිරියට යන්න නම් එම නගරයට සුවිශේෂීතාවයක් තියෙන්න ඕනේ. විශේෂත්වයක් තිබිය යුතුයි. එම විශේෂත්වය මත තමයි නගරයක් දියුණු වෙන්නේ. කොළඹ නගරය දියුණු උනේ කොළඹ වරාය නිසා. එම වරායෙන් ඇතිවෙච්ච දියුණුව නිසා ඒක නාගරික මධ්‍යස්ථානයක් හැටියට දියුණු උනා. ඒ වගේම පාර්ලිමේන්තුව පිහිටෙව්වට පස්සේ කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රදේශයේ, එම ප‍්‍රදේශය සීග‍්‍ර සංවර්ධනයකට ලක් වෙලා වැදගත් නාගරික ප‍්‍රදේශයක් උනා. අපි බලාපොරොත්තු වෙනවා එම ප‍්‍රදේශය රටේ ප‍්‍රධාන පරිපාලන නගරය බවට පත් කරන්න. ඒ අනුව ඉදිරි කාලයේදී එහි දැනටත් තිබෙන රාජ්‍ය ආයතනවලට අමතරව අපේ නාගරික සංවර්ධන අධිකාරියෙන් විශාල පරිපාලන ගොඩනැගිලි 03ක් සහ බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් අපි එහි ඉදිකරනවා. එම වැඩකටයුතු මේ වසරේ දී ආරම්භ වෙනවා.

එතකොට හෝමාගම මොකද්ද විශේෂත්වය. හෝමාගම අපි තෝරාගෙන තිබෙන්නේ තාක්ෂණ නගරය හැටියට. හෝමාගම සිට මාලබේ දක්වා ප‍්‍රදේශය තාක්ෂණ නගරය ගොඩනැගීමට කටයුතු කරනවා. දැනටමත් තාක්ෂණ ආයතන ගණනාවක්, ප‍්‍රධාන විශ්ව විද්‍යාල 4 ක්, මොරටුව විශ්ව විද්‍යාලය, ඒ වගේම කොළඹ විශ්ව විද්‍යාලය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ හරිත විශ්ව විද්‍යාලය එහි දැන් ස්ථාපිත වෙන්න කටයුතු කරනවා. ඒ වගේම ප‍්‍රධාන උසස් ජාතික ඩිප්ලෝමාව එතනට ඇවිල්ලා තිබෙනවා.

ඊ ළඟට නැනෝ තාක්ෂණ මධ්‍යස්ථානය පුළුල් කිරීම, ඒ වගේම නව නිපැයුම් කරුවන් සඳහා වූ මධ්‍යස්ථානයක් ඉදිකිරීමත් දැන් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම මම තාක්ෂණ ඇමතිවෙලා සිටි කාලයේ විශේෂයෙන්ම පැලෑටි ඒ වගේම ආහාර පිළිබඳ ප‍්‍රධාන අධ්‍යන ආයතනයක් චීනයේ ආධාරයෙන් එහි ස්ථාපිත කළා. එහි වැඩකටයුතුත් දැන් එහි සිදුවෙමින් පවතින අතර ආහාර විද්‍යාව පිළිබඳ පුළුල් ස්ථානයක් බවට පත්වෙනවා. ඒ වගේම එම කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සමග කතා කර මොරටුව විශ්ව විද්‍යාලයේ චන්ද්‍රිකා තාක්ෂණ ආයතනයක් හෝමාගමට ගෙනඒමට කටයුතු කලා. ඒ සඳහා අපට ආධාර ලැබී තිබෙනවා. ඒ අනුව ලංකාවේ තිබෙන චන්ද්‍රිකා දත්ත ලබාගන්නා එකම මධ්‍යස්ථානය හෝමාගම ඉදිවෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය හරහා දැනට තිබෙන බස්නැවතුම්පලට නුදුරින් ලේන් 4 ක මාර්ගයක් විවෘත කරනවා මාහේන දක්වා.එහි වැඩකටයුතු මේ වසරේ ආරම්භ වෙනවා මෙවර අයවැයෙන් ඒ සඳහා දශ ලක්‍ෂ 1500 ක් ලබාදී තිබෙනවා. ඊට අමතරව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එහි ඇතුළත මාර්ග සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා. එහි වියදම් අප විසින් දරනවා. එම කටයුතුත් දැන් සිදු කෙරීගෙන යනවා. ඊ ළඟට අපි කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එහි පළවෙනි පියවර ඉංගිරිය දක්වා යනවා. එයට සමාන්තරව කහතුඩුව නගරය විධිමත් නගරයක් ලෙස දියුණු කිරීමටත්, කහතුඩුව රාජපක්ෂ ක‍්‍රීඩාංගනය දක්වා වන මාර්ගය සංවර්ධනය කිරීමට සහ මත්තේගොඩ ප‍්‍රදේශයෙන් තවත් පිවිසුමක් ඇති කිරීමටත් අප කටයුතු කරනවා.

ඒ වගේම වෘත්තීයවේදීන් සඳහා වෙච්ච අපේ වියත්පුර වැඩසටහනට අනුව මහරගම නිවාස 1000 ක ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. එම වියත්පු නිවාස අපි හෝමාගමටත් අපේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් නගරයට ආසන්න ඉඩමේ ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා මේ වසර තුළදී.

ඒ වගේම විශ්ව විද්‍යාල දරුවන්ට නේවාසික පහසුකම් ලබාදීම සඳහා අපිත් ඉදිකිරීම් කරනවා. ඒ වගේම අපි ප‍්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ නිවාස වල අතිරේක කොටස් ඇතිකර එම දරුවන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් ලබාදෙන්න කියලා. මොකද රජයට හැමදේම ලබාදෙන්න බැරි නිසා. ඔබ දන්නවා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නිසා ශිෂ්‍යයෝ 14,000 ක් කෑම බීම ගන්නේ නවාතැන් ගන්නේ විජේරාමය අවට ප‍්‍රදේශයෙන්. ඒ තුළින් ආසන්නයෙන් දශ ලක්‍ෂ 100 ක පමණ මුදලක් ඉබේම හැම මාසයකම එම ප‍්‍රදේශයට ඇතුළු වෙනවා. මෙම විශ්ව විද්‍යාල ඉදිවීමත් සමග මෙතනටත් ඒ හා සමාන ශිෂ්‍ය ප‍්‍රමාණයක් එනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරු ප‍්‍රමාණයක් එනවා. දැවැන්ත මුදලක් ඒ අනුව මෙතනට ආයෝජනය වෙනවා. ඒ අනුව මම කියන්න ඕනේ ලංකාවේ අනාගතය තමයි මෙතන ඉදිවෙන්නේ.

කටුනායක ආයෝජන කලාපයට පසු ඇති වූ අලූත් නගරය තමයි හෝමාගම නවෝත්පාදන නගරය. කටුනායක හදන කාලේ ලාබ ශ‍්‍රමය තිබුණා. නමුත් දැන් අපට එය නැහැ. අපට ලාබෙට සුලභව තිබෙන්නේ මොනවාද? සුලභව තිබෙන්නේ අපේ බුද්ධිය. සුලභ බුද්ධිය අපි ජාත්‍යන්තර වෙළඳපලට සැපයීය යුතුයි. ඒ සඳහා අප තාක්ෂණය ඉදිරියට ගත යුතුයි. තාක්ෂණය ඉදිරියට ගැනීමට නම් ඒ සඳහා පහසුකම් තිබෙන, පර්යේෂණාගාර තිබෙන, නවෝත්පාදනය තිබෙන තෝතැන්නක්, ස්ථානයක් තිබිය යුතුයි. ඒක තමයි මේ හෝමාගම මාහේන වත්තේ තිබෙන මහානගරය. එය අනිවාර්යෙන්ම අපි ඊ ළඟ වසර පහ තුළදී බැංගලෝරයට සටනක් දෙන තැනට පත් කරනවා. විශාල වශයෙන්ම තොරතුරු තාක්ෂණයත් නැනෝ තාක්ෂණයත්, ජීව තාක්ෂණයත්, ඒ වගේම චන්ද්‍රිකා තාක්ෂණයත් ඇතුළුව සියළුම තාක්ෂණයන් ගෙනල්ල අපි බලගතු නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. අපේ බුද්ධිය බුද්ධිමය නිර්මාණයන් ලොව පුරා අලෙවිකරන ප‍්‍රධාන මධ්‍යස්ථානය බවට පත් වෙනවා. ඒ අනුව ඇඟලූම් කාර්මාන්තයෙන්, තේ කර්මාන්තයෙන් නවෝත්පාදනයට පිවිසෙන පිවිසුම් දොරටුව අද මෙතන නිර්මාණය වෙනවා.

විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි සමහර අය බිය වැද්දීමක් කරනවා. මේ දාම්පේ ප‍්‍රදේශයේ වගේ අපේ ජනතාවගේ ගෙවල් දොරවල් අත්පත් කර ගන්න යනවා කියලා. එහෙම කිසිම දෙයක් සිදුවෙන්නේ නැහැ. මම කියන්න ඕනේ අපට එහෙම කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. නිවසක් සහිත කිසිම පුද්ගලික ඉඩමක් අපි අත්පත් කර ගන්න යන්නේ නැහැ. අපට ඇති තරම් ඉඩම් අපි ලබාගෙන තිබෙනවා ඉදිරියේදී අපි ලබාගන්නවා. ඒ වගේමම කියන්න ඕනේ මෙතනදී පහුගිය කාලේ ඉඩම් අත්පත් කර ගත්තට කිසිම වන්දි මුදලක් ගෙව්වේ නැහැ එම ජනතාවට. එම සෑම කෙනාටම ඊ ළඟ වසර දෙකේ දී වන්දි ගෙවනවා.

ඒ වගේම මෙයට යාබදව හොරණ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට යාබද ප‍්‍රදේශයේ මිල්ලෑව ප‍්‍රදේශයේ අක්කර 800 ක් අපි අත්පත් කරගෙන නාගරික සංවර්ධන අධිකාරියට ලබාගෙන තිබෙනවා. එම අක්කර 800 ත් රුවන්පුර අධිවේගී මාර්ගයත් සමග දියුණු උනහම මෙතන ගොඩනැගෙන දැනුම නිෂ්පාදනය කරන කාර්මික නගරය බවට ඒක පත් වෙනවා. එවිට මේ මුළු බලප‍්‍රදේශයම සීග‍්‍ර වර්ධනයකට ලක් වෙනවා.

පසුගියදා අපි කොරියාවට ගිය වෙලාවේ මෙම නගරයේ යටිතල පහසුකම් නැංවීම සඳහා ඔවුන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොරියානු ඉතිහාසයේ විශාලම ආයෝජනය ඩොලර් මිලියන 300 ක්, ආසන්නයෙන් රුපියල් මිලියන 50,000 ක් ඊ ළඟ වසර 10 දී අපට ආයෝජනය කරන්න ලැබිලා තිබෙනවා. එහි වැදගත් වන්නේ ලෝකයේ තාක්ෂණයට වැඩියෙන්ම ආයෝජනය කරන කොරියාව අපට එම උපකාරය ලඟාකර දීම. මේ නිසා මම හිතන්නේ මෙය පක්ෂ පාට බේදයෙන් තොරව අපි හැමෝටම සතුටුවෙන්න පුළුවන් ජයග‍්‍රහණයක්.

එයට සමාන්තරව අපි නාගරික සංවර්ධන අධිකාරිය මගින් කහතුඩුව, මීගොඩ, ගොඩගම නගරය ගොඩනගනවා. මාකුඹුරේ ඉදිවන ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයට පිවිසුම දක්වා ප‍්‍රදේශය අපි නාගරික උද්‍යානයක් හැටියට සැලසුම් කරනවා. ඒ අනුව හෝමාගම නගරය අවට සෞඛ්‍ය පහසුකම් සඳහා ව්‍යායාම කරන්න දරුවෝ ගෙනයන්න මේ අවුරුද්ද අග වෙනකොට නිර්මාණය වෙනවා එහි වැඩකටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මේවා රජය මැදිහත් වී සිදු කරන මහා ආයෝජනක්. ඒ ආයෝජන කි‍්‍රයාත්මක කරන කොට මේක තවදුරටත් ගමක් හැටියට තියාගෙන බැහැ. මෙය විධිමත් නගරයක් බවට පත් කළ යුතුයි. ඒ නාගරික පහසුකම් අප ඇති කළ යුතුයි. ඒ නිසා මෙය අනිවාර්යයෙන්ම විධිමත් නගර සභාවක් මහ නගර සභාවක් බවට පත් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු නාගරික සංවර්ධන අධිකාරිය කි‍්‍රයාත්මක කරනවා.

අපේ තේමාව ආර්ථික සෞභාග්‍ය, ඒ වගේම පරිසර හිතකාමීත්වය, සමාජ සාධාරණත්වය සහ ආධ්‍යාත්මික සුවය. ඒ නිසා අපි ඒ සෑම කටයුත්තක් කෙරෙහිම අවධානය යොමුකර තිබෙනවා. හෝමාගම බරාව ප‍්‍රදේශය ජීව උද්‍යානයක් ඉදිකරනවා පරිසර සහජීවනය සඳහා. ඒ වගේම අධ්‍යාත්මික මධ්‍යස්ථානයකුත් මාහේනවත්තේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ධානපතිනියක් දැනටමත් අවශ්‍ය කරන ඉඩ පහසුකම් ලබාදී තිබෙනවා. මෙහි ප‍්‍රතිලාභ මුළු හෝමාගම ජනතාවටම බෙදී යන අයුරින් අපි නිමා කළ ගත යුතුයි. එබැවින් මෙහි ජීවත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හැටියට ඔබ හැමගේ ශක්තිමත් දායකත්වය අප බලාපොරොත්තු වනවා’ යැයි පැවසීය.

scroll to top