One Belt – One Road සමුළුව මගින් චීනය ගෝලීය කරණයේ නව නියමුවා ලෙස විරාජමාන වීමට උත්සාහ කරනවා

පසුගිය දා චීනයේ බීජිං නගරයට ලොව පුරා රාජ්‍ය නායකයින්, රාජ්‍ය නියෝජිතයින් අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එක තීරයක් එක මාවතක් One Belt – One Road නමින් විසි එක්වෙනි සියවසේ සේද මාවත පිළිබඳව බලවත් ආර්ථික දේශපාලනික සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණා. මේ පිළිබඳව අද ලෝකයේ විශාල කතා බහක් ඇති වී තිබෙනවා. මෙහි ප‍්‍රමුඛ අදහස නම් චීනයේ සිට ගොඩබිම් මාර්ගයක් මගින්, මධ්‍ය ආසියාව, රුසියාව ඒ වගේම නැගෙනහිර යුරෝපය, බටහිර යුරෝපය සිට එංගලන්තය දක්වා දිවෙන දුම්රිය හා මාර්ග පද්ධතියක්, ඒ වගේම තෙල් හා ගෑස් නල පද්ධතියක් සහිත ආර්ථික කොරිඩෝවක් , එක තීරයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එය අපි One Road නමින් ගොඩබිම හරහා යන නිසා හඳුනාගෙන තිබෙනවා. අනෙක් පැත්තෙන් මුහුදෙන් චීනයේ වැදගත් කාර්මික නගර සියල්ලත්, නැගෙනහිර ආසියාවේ රටවල් සියල්ලත්, ඉන්දියානු සාගරයේ රටවලූත්, ඒ වගේම නැගෙනහිර අපි‍්‍රකානු රටවලූත්, එමෙන්ම මැදපෙරදිග රටවල් හා යුරෝපය යා කරන පැරණි සේද මාවතට සමාන්තර නාවුක මාර්ගයක් පිළිබඳවත් අදහසක් පැමිණිලා තිබෙනවා. මෙය One Belt නමින්, එහෙම නැත්නම් එක තීරයක් නමින් හඳුන්වා ගන්නවා.

මෙයින් අදහස් කරන්නේ කුමක්ද, චීනය මේ සඳහා අති විශාල ධනස්කන්ධයක් ආයෝජනය කරන්න යන බවයි වාර්තා වෙන්නේ. එය ඩොලර් ටි‍්‍රලියනයක්, එනම් මිලියන දහසකට ආසන්න ප‍්‍රමාණයක්. මේ මිලියන දහස වසරකට ඩොලර් මිිලයන 150 බැගින් ආයෝජනය කරන්නට චීනය කි‍්‍රයාත්මක වෙනවා. ඒ වගේම මෙහි වැදගත්ම කාරණය නම් මේ සේද මාවතේ ඉදිවන මුහුදු මර්ගයත්, එමෙන්ම ගොඩබිම් මාර්ගයත් විවිධ ආකාරයට යා කෙරෙන ආර්ථික කොරිඩෝර ගණනාවකුත් යෝජනා කොට තිබෙනවා. එයින් ප‍්‍රධානම කොරිඩෝරය පාකිස්ථානය හරහා ග්වාඩාවල සිට ෂින් ජියෑන් පළාත දක්වා විහිදී යන ප‍්‍රධාන ආර්ථික කොරිඩෝරය. එමෙන්ම මෙයට සමාන්තර ගොඩබිම් කොරිඩෝර 06 ක් යෝජනා වී තිබෙනවා. මේ විශාල ආයෝජනයත්, මේ මහා විශාල කි‍්‍රයාවලියත් කුමක්ද? මේ සම්බන්ධයෙන් දැනටම ඉන්දියාව තම විරෝධය පළකර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය ජර්මනිය වැනි රටවල් මේ පිළිබඳව තම නොසැකිල්ල පළකොට තිබෙනවා. නමුත් ඉතාමත්ම බලවත් උනන්දුවකින් මෙයට සහභාගීවෙච්ච රාජ්‍යයන් ගණනාවක්ම තිබෙනවා. රාජ්‍යයන් 68ක් මේ කි‍්‍රයාවලියට සම්බන්ධ වීමට යනවා. ඒක ලෝක ජනගහනයෙන් 60% කට ආසන්න ප‍්‍රමාණයක්. ඒ වගේම ලෝක ආර්ථිකයෙන් 40% කට පමණ ප‍්‍රමාණයක් මේ රාජ්‍යයන් අතර වෙනවා. මෙය එක්තරා ආකාරයට චීනය ගෝලීයකරණයේ නව නියමුවා ලෙස විරාජමාන වීමට, ඔටුනු පැළඳවීමට මෙය අවස්ථාවක කරගෙන තිබෙනවා.

මෙයට සමාන්තරව ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් ගෝලීයකරණයේ නායකයා ලෙස ගෙනගිය චරිතයෙන් ඉවත්වෙලා ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියට ගමන්කොට තිබෙනවා. විශේෂයෙන්ම පැසිපික් සාගරයේ ජපානය, වියට්නාමය, ඉන්දියාව ආදිය සම්බන්ධ කරගෙන ඔවුන් ගොඩනැගීමට ගිය TPP නම් ඒ වෙළඳ සංවිධානය ඔවුන් අහෝසි කළා. ඒ වගේම අත්ලන්තික් සාගරය යුරෝපය සමග එකතුවීම ගිය T Tip නමැති වෙළඳ සංධානයෙන්ද ඔවුන් අයින් වුණා. දැන් උතුරු ඇමරිකානු වෙළඳ ගිවිසුමෙන්ද අයින් වීම සඳහා ඔවුන් කැනඩාව සමග වෙළඳ යුද්ධයක පැටලී තිබෙනවා. මේ සියළු කරුණු වලින් පෙනී යන්නේ මෙතෙක් කලක් ගෝලීයකරණයේ නියමුවන වශයෙන් සිටි ඇමරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ බටහිර ලෝකය පසු පසට යමින් චීනය ගෝලීයකරණයේ නියමුවා ලෙස ඔවුන්ගේ මිත‍්‍ර රටවල් සන්ධානයක් සමග ඉදිරියට ඒමට කටයුතු කර තිබෙන බවයි.

චීනයේ අරමුණ කුමක්ද? චීනයේ නව නායක ෂින් ජින් ෆින් චීනයට නව සිහිනයක් යෝජනා කළා. ඒ 2013 දී. චීනය අනුක‍්‍රමයෙන් ලෝකයේ දෙවෙනි කාර්මික, ඒ වගේම ආර්ථික බලවතා බවට පරිවර්තනය වීමෙන් පස්සේ පළමු බලවතා වීම සඳහා ගමන් කරමින් තිබෙන බව පැහැදිලියි. දැන් චීනය ලෝකයේ විශාලතම අපනයන කරු. එමෙන්ම විශාලතම කර්මාන්ත ගණනාවක්ම පවතින්නේ චීනයේ. ඒ වගේම විශාලතම ව්‍යාපාර ගණනාවක්ම පවතින්නේ චීනයේ. විශාලතම බැංකු, තෙල් හා ගෑස් සමාගම්, ඒ වගේම තාක්ෂණමය වශයෙන්, තොරතුරු තාක්ෂණ ආයතන ගණනාවකුත් චීනය කි‍්‍රයාත්මකයි. ඒ වගේම ලෝකයේ ලොකුම ආයෝජකයාත් චීනයයි. මේ තත්වය තුළ චීනය ලෝකයේ ලොකුම ආර්ථිකය බවට දෙදහස් විසි ගණන්වල මැද භාගයේදී පැමිණෙනු ඇතැයි කියලා හැමෝම විශ්වාස කරනවා. ඒ අනුව ලෝකයේ ලොකුම වෙළඳපොල බවටත් චීනය පරිවර්තනය වීමට නියමිතයි. එසේ නම් මෙතරම් අති විශාල ධනස්කන්ධයක් යොදවලා මහා මාර්ගයක්, දුම්රිය මාර්ගයක්, ගෑස් හා වෙනත් බලශක්ති මාධ්‍යයන් සමග නාවුක මාර්ග, වරායන්, ගුවන්තොටුපලවල් ඉදිකිරීමෙන් චීනය කුමක්ද බලාපොරොත්තු වෙන්නේ.

පළමුව ප‍්‍රකාශ කළ යුතුයි මෙය ලෝක ඉතිහාසය දෙස බලනවිට විශේෂිත සිදුවීමක් නොවන බව. කි‍්‍ර.ව. 1820ට කලින් චීනයේ ගොඩබිම් සහ මුහුදු සේද මාවත තමයි ලෝකයේ බලගතුම ආර්ථික කි‍්‍රයාදාමය උනේ. වාණිජ කි‍්‍රයාදාමය උනේ. ඒ වගේම විශේෂයෙන්ම අපට පෙනී යනවා ඒ වකවානුවේ ලෝකයේ ලොකුම නිෂ්පාදකයා හැටියට සිටියේ චීනයයි. වර්ෂ 1800 දීත් ලෝකයේ භාණ්ඩ නිෂ්පාදනයෙන් වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළේ චිනයයි. වාණිජ කි‍්‍රයාවලියෙන් බහුතරයක් නියෝජනය කළේ චීනයයි. ඉතින් නැවත වතාවක් චීනය ඒ තැනට පත් වීමේ ලකුණු තමා මේ චීන මහා සිහිනයෙන් නැවත අපට චීන ජනාධිපතිවරයාගෙන් පළවෙන්නේ.

චීනය එහි පියවර කිහිපයක් දැන් අත්පත් කරගෙන තිබෙනවා. චීනයට හැකිවේද එක්සත් ජනපදය පසු කර යන්න. චීනය දැනටමත් ඊට පසු පසින් සිටි ජර්මනිය, ජපානය වැනි රටවල් පසු කරගෙන ගිහින් තිබෙනවා. ඔවුන්ට හැකිවෙයිද එක්සත් ජනපදය පසුකරගෙන යන්න. මෙන්න මේ ගැටළුවයි අද තිබෙන්නේ. අපි කළින් සාකච්ඡා කළා වගේ මීට කළින් එවැනි අවස්ථා ගණනාවක් කෙළවර උනේ, දෙවෙනියා පළවෙනියා වෙන්න දරණ උත්සාහයන් කෙළවර උනේ යුද්ධ වලින්. මෙයත් එක්තරා යුද්ධයක ආරම්භයක් දැයි දැන් සැකයක් ඇති වී තිබෙනවා. කෙසේ වෙතත් චීනය විශ්වාස කරන්නේ ඔවුන් මධ්‍ය රාජ්‍ය, එහෙම නැත්නම් මිඩ්ල් කින්ඩම් ලෙසයි. ඒ අනුව එක්තරා ආකාරයකින් මේ ඉතිහාසයේ තිබිච්ච තත්වයට චීනය නැවත වතාවක් වසර 200 කට පසු ගමන් කිරීමක් ලෙසයි හඳුනාගත හැක්කේ. එමෙන්ම පසුගිය කාලයේ චීනය තමන්ගේ රටේ ආර්ථික කටයුතු කරමින් ස්වාධීන වරායවල්, ස්වාධින මාර්ග, ස්වාධින බලශක්ති ප‍්‍රබේද සමගින් කටයුතු කළා මිසක් තමන්ගේම කියා බලශක්ති සහ වෙනත් දේවල් ගොඩනගා ගත්තේ නැහැ. නමුත් චීනයට නරක අත්දැකීමක් තිබෙනවා. එය තමයි අතීතයේදී සිංගප්පූරු මලක්කා සමුද්‍ර සන්දියේ බටහිර ජාතීන්ට අයත් වීමෙන් පසු චීනයේ සැපයුම් මාර්ග සියල්ලම අඩපණ උනා 1597 දී. මේ නිසා චීනයට බයක් තිබෙනවා අනාගතයේ දී තමන්ගේ සැපයුම් මාර්ග සහ වාණිජ ජාලයන් කවුරුන් හෝ විසින් හරස් කරාවි යැයි කියා. ඒ නිසා තමන්ට අයිති වූ වරායවල්, ගුවන්තොටුපලවල්, නාවුක මාර්ග ඒ වගේම ගොඩබිම් මාර්ග, ගුවන් මාර්ග, දුම්රිය මාර්ග ආදිය ඉදිකර ගැනීම හරහා ලොව පුරා ආර්ථික කොරිඩෝර විවෘත කර ගැනීමයි ඔවුන්ගේ මේ අවශ්‍යතාවය. විශේෂයෙන්ම අප‍්‍රිකාවේ මහා පරිමාණ සම්පත්, ඒ වගේම රුසියාවේ තෙල් හා ගෑස් සම්පත්, මධ්‍ය ආසියාවේ ගෑස් සම්පත් ඒ වගේම යුරෝපයේ වෙළඳපොල මැදපෙරදිග සම්පත් සහ වෙළෙඳපොල ආදිය ඉලක්ක කරගෙනයි චීනය මේ ගමන යන්නේ.

එයත් සමග ඔවුන්ගේ වාණිජ ජාලය හා වෙළඳ ජාලය ව්‍යාප්ත කර ගැනීම මෙහි ප‍්‍රධාන අරමුණයි. ඒ වගේම ඔවුන් අනිවාර්යයෙන්ම ඊ ළඟ අවස්ථාවේදී මූල්‍ය ආදිපත්‍ය ලබාගැනීම සඳහාත් කටයුතු කරනවා ඇති. දැනට ඩොලරය පැමිණි තැනට ඔවුන් පැමිණීමට නියමිතයි 2020 දි. දැනටමත් ඩොලර් සංචිත වලින් 60% ක් පාලනය කරන්නේ චීනයයි. එනිසා මෙය එක්තරා ආකාරයකට ඊ ළඟ පියවරයකදී මුල්‍ය සම්පත් අත්පත් කර ගැනීමේ කි‍්‍රයාවලියක් බවට පත් වෙයි. කෙසේ වෙතත් චීනය තුළ ආර්ථික වර්ධනයේ යම් පසුබෑමක් පසුගිය කාලයේදී දකින්න ලැබුණා. ඒ නිසා මේ අලූත් ආයෝජනය මගින් විදේශ රටවල යටිතල පහසුකම් නැංවීමට බලශක්තිය නිපදවන විදුලි බලාගාර, තෙල් පිරිපහදු, පාරවල්, දුම්රිය මාර්ග නව නගර ආදිය මගින් චීනයේ කර්මාන්ත කරුවන්ට, චීන නිෂ්පාදකයින්ට අලූත් අවස්ථාවන් ලබාදීමත් මේ මගින් චීනය බලාපොරොත්තුවනවා විය යුතුයි. එමගින් චීන ආර්ථිකයට අනිවාර්යයෙන්ම අලූත් ගැම්මක්, අලූත් පිබිඳීමක් ඇතිවීමට නියමිතයි. සැලසුම් සහගත ලෙස පාලනය කරන නිසා යම් යම් අර්බුද මතු උනත් ඔවුනට මෙය පසුකර යෑමට හැකිවෙයි කියා තමයි විශ්වාසය. පළමුවෙන්ම දැනටමත් ඉන්දියාව මෙයට විරෝධය පළකර තිබෙනවා. ඒ තමයි පකිස්ථානය හා චීනය අතර ඇති ආර්ථික කොරිඩෝව කාශ්මීරය හරහා ගමන් කිරීම නිසා තමන්ගේ ස්වාධිපත්‍යයට මේ චීනයේ 21 වෙනි සියවසේ සේද මාවතට බාධකයක් ලෙස ඔවුන් දකිනවා. එක අතකින් ලංකාවේ වරායන් සහ ගුවන්තොටුපලවල් චීනය විසින් අත්පත් කරගැනීමත් ඉන්දියාව එච්චරටම රුස්සන්නේ නැහැ. මේ තත්වය තුළ ඉන්දියාව කිසියම් ආකාරයකට තමන්ගේ දේශපාලන සහ ආර්ථික අප‍්‍රසාදය චීනයට පළකොට තිබෙනවා. හැබැයි ඉන්දියාවට පුළුවන් වෙයිද චීනයේ මේ මහා ඉදිරි ගමන නතර කරන්න.

ඒ වගේම අනෙක් බලවතා තමයි ජපානය. ජපානය මේ චීනයේ කි‍්‍රයාවලිය දෙස සැකමුසුවයි බලන්නේ. ජපානයත් අනිවාර්යයෙන්ම මෙයට ප‍්‍රතික‍්‍රියා දක්වනවා ඇති. අවාසනාවකට ජපානයට සහ ඉන්දියාවට මහා සහයක් වීමට තිබුණු ඇමරිකා එක්සත් ජනපදය මේ අවස්ථාවේදී සිටින්නේ වෙනත් මතයක. එනිසා ඔවුන්ට ඒ සඳහා අවශ්‍යකරන වෙළඳ, වාණිජ, මූල්‍ය ශක්තිය පිළිබඳ ගැටළුක් පැණ නැගී තිබෙනවා. ඒ වගේම යුරෝපයේ මතු වී තිබෙන නව ජාතිකවාදී ප‍්‍රවණතාවයන් නිසා යුරෝපා රටවල් සිටින්නෙත් බලවත් ලෙස චීනය සමග ගැටෙන තත්වයක. ඒනිසා අනිවාර්යයෙන්ම මේ සේද මාවතේ කි‍්‍රයාකාරිත්වයට යුරෝපා රටවල්වලටත් මුහුණ දෙන්න වෙනවා චීන භාණ්ඩවලින් තොරව යුරෝපා වෙළඳපලට පැවැත්මක් නැහැ මෙන්ම, යුරෝපයේ තාක්ෂණය උකහා ගැනීමෙන් තොරව චීනයටත් පැවැත්මක් නැහැ. ඒ නිසා මේ දෙපිරිසම අනෝන්‍ය සහයෝගීතාවයකට යන්න තිබෙන ඉඩකඩ ඉතා වැඩියි.

කෙසේ වෙතත් චීනයේ ඇරඹිච්ච එක තීරයක් – එක මාවතක් කි‍්‍රයාවලිය ලෝක ඉතිහාසයේ සන්ධිස්ථානයක් 2020 පමණ වන විට චීනයට හැකිවෙයිද, තමන්ගෙන් 1820 දී මහා බි‍්‍රතාන්‍ය හා ඉන්පසු ඇමරිකා එක්සත් ජනපදය උදුරා ගත් ලෝක ආධිපත්‍යයේ කිරුල තමන් වෙත ගමන් කර ගන්න. එසේ නැත්නම් මෙය යුද්ධයකින් කෙළවර වෙයි ද? එසේත් නැත්නම් මේ වාණිජ සංග‍්‍රාමයේ ප‍්‍රථිපළයක් ලෙස ලෝකයම වාණිජමය වශයෙන් අඩපණ වෙයිද?, මේ සියල්ලම අපි ඉතාමත්ම පැහැදිලි නොවුණු කාරණා උනත් චීනය ආධිපත්‍යය සඳහා වූ තරඟයට අවි ආයුධවලින් තොරව සීතල ආර්ථික යුද්ධයකට සූදානම් බවයි පෙනී යන්නේ. ඉතින් ඉන්දීය සාගරයේ හරිමැද තිබෙන ශ‍්‍රී ලංකාව නිවැරදිව තමන්ගේ විදේශ ප‍්‍රතිපත්තිය සහ ආයෝජන ප‍්‍රතිපත්තිය හසුරුවා ගතහොත් මේ ඇතිවන වාණිජ අරගලයෙන් ප‍්‍රතිඵල ලංකාවට බෙදා හදා දීමට අපට හැකිවනවාට සැකයක් නැහැ.’

scroll to top