2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

ප්‍රශ්න විසඳෙන තුරු විදුලිය කැපීම දිගටම
08/13/2012 12:01


විදුලි පාඩු නිසා ආර්ථික පීඩනය වැඩිවේ

නොරොච්චෝලේ බලාගාරය අක්‍රීයවීම, වැසි නොලැබීම වැනි හේතු නිසා මේ වනවිට ක්‍රියාත්මක විදුලිය කැපීම ප්‍රශ්න විසඳෙන තුරු දිගටම ක්‍රියාත්මක කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ අනුව, උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා අදියර හතරක් යටතේ පැය දෙකයි මිනිත්තු 15 ක විදුලිය කප්පාදුව ලබන බදාදා දක්වා ක්‍රියාත්මක කිරීමටත් ඉන් පසුව එම විදුලිය කැපීමේ කාල සටහන වෙනස් කිරීමටත් අමාත්‍යංශය තීරණය කර ඇත.

අමාත්‍යංශයේ නිළධාරියෙකු “විමසුම“ ට පැවසුවේ පසුගියදා අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය ධාරිතාවය ජාතික පද්ධතියට ලබාගැනීමට ඊයේ උත්සාහ කළත් එම උත්සාහය ව්‍යර්ථ වී ගිය බවත් මේ වනවිට ජල විදුලි උත්පාදනය සියයට 14 ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි.

“තාමත් බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල තියෙන්නෙ නියං තත්ත්වයක්. මෙහෙම ගියොත් ඉදිරියේදී දිගටම විදුලිය කැපීම ක්‍රියාත්මක කරන්න වෙනවා.“

යනුවෙන් හෙතෙම කීය.

තාප විදුලිය හා පාඩු වැඩිවීම

ජල විදුලි උත්පාදනය දිනෙන් දිනම පහළ යාම හා ගල් අඟුරු බලාගාරය අක්‍රීය වීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන මගින් වැඩි පිරිවැයක් වැයකර තාප විදුලිය නිෂ්පාදනය කිරීමට සිදු වීමෙන් දැවැන්ත පාඩු ලැබීමේ මාවතකට අවතීරණ වී සිටී.

පසුගිය ජූලි 05 වනදා විට මෙරට ජල විදුලි උත්පාදන ධාරිතාවය සියයට 25 ක්වූ විට විදුලි බල මණ්ඩලය වැඩිපුර තාප විදුලිය නිපදවීම නිසා දිනකට රුපියල් මිලියන 200 ක පාඩුවක් ලැබූ බව විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසා තිබුණි.

මේ වනවිට, ජල විදුලි උත්පාදනය සියයට 14 කට වැටී ඇතිවිට පාඩුව විශාල වශයෙන් වැඩිවීම වැලැක්විය නොහැකි අතර අවධානම තිබෙන්නේ නැවත වතාවක් විදුලි බල මණ්ඩලයේ ණය බර වැඩිවී සාර්ව ආර්ථික ක්‍රියාකාරීත්වයට එයින් යළිත් පීඩනයක් ඇති වීමටයි.

ආර්ථික පීඩනය

දේශපාලන ජනප්‍රියත්වය උදෙසා විදුලිය, ජලය, ඛනිජ තෙල් ඇතුළු දෑ වෙළඳ පොළ මිලට වඩා අඩුවෙන් දීම නිසා පසුගිය සමයේදී එම ආයතනවල ණය බර වැඩිවූ අතර මෙය රාජ්‍ය ණය ගැනීම් වැඩිවීමට හේතුවුණි.

පුද්ගලික අංශයේ ණය ගැනීම්ද වැඩිවීම නිසා එකළ විනිමය අනුපාතය මත ඇතිවූ පීඩනය වැඩිවූ අතර පසුව මහ බැංකුව පොලී අනුපාතය වැඩි නොකර ලෙස සංචිත ඩොලර් විකුණා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කෘත්‍රිම ලෙස ආරක්ෂා කර ගත්තේය.

නමුත්, විදේශ විනිමය සංචිතය දියවී යාම නිසා ඇතිවූ දැඩි විවේචන හමුවේ මහ බැංකුව විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබා දුන්නේය.

නැවත වතාවක් ඇතිවී තිබෙන විදුලි අර්බුදය නිසා විදුලි බල මණ්ඩලයේ පාඩුව වැඩි වුවහොත් එය කළමනාකරණය කර ගැනීම වැදගත් වන්නේ යම් හෙයකින් එය විදේශ විනිමය හා වෙනත් ආර්ථික කාරණා මත පීඩනයක් ඇතිවීම වලක්වා ලීම සඳහායි.