|
මේ අනුව, මේ මාසයේදී උද්ධමනය ගිය මාසයට වඩා 2.3% කින් වර්ධනයවී ඇත.
සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය පදනමට අනුව උද්ධමනය 17.3% ක්විය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ, මේ මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගිය මාසයට වඩා 3.8% කින් වැඩිවූ බවයි.
මේ අනුව, දර්ශකය ඔක්තෝම්බර් මාසයේදී ඒකක 5723 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර, එය සැප්තැම්බර් මාසයේදී ඒකක 5513.8 ක් විය.
මේ අනුව, මාසයක කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඒකක 209.2 කින් ඉහළ ගොස් තිබේ.
සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකයට වැටෙන භාණ්ඩ එකතුව මිලට ගැනීමට, අතිරේකව රුපියල් 423 ක් වැයවන බව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන්කර ඇත.
උද්ධමනය වැඩිවීම සඳහා වැඩිපුරම දායකවී තිබෙන්නේ, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමයි.
මේ අනුව, ඔක්තෝම්බර් මාසයේදී ආහාර ද්‍රව්‍යවල මිල ඒකක 199.40 කින් ඉහළ ගොස් තිබේ.
මෙහිදී සහල්, තිරිඟු පිටි, පාන්, තේ, සීනී, කිරිපිටි, රතුළුණු, පොල්තෙල්, පොල්, එළවලු වැනි ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම උද්ධමනය ඉහළ යෑමට බලපා ඇත.
මේ අතර, කොළඹ පාරිභෝගික මිළ දර්ශකයේ සාමාන්‍ය වාර්ෂික උද්ධමන අනුපාතයද මේ මාසයේදී 5.9% කින් ඉහළ ගොස් 17.7% ක් වී තිබේ.
එය ගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී 11.5% ක් විය.
ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, රටක දුප්පතුන් වැඩිපුරම දුප්පත් කිරීමට උද්ධමනය හේතුවන බවයි.
මන්දයත්, දිනෙන් දිනම උද්ධමනය ඉහළ යනවිට, අතැති මිලට ගතහැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුවන නිසාවෙනි.
මේ වනවිට, ශ්‍රී ලාංකිකයින් උද්ධමනයෙන් දැඩිලෙස පීඩා විඳින අතර, බැංකු පොලී අනුපාතද ඉහළ අගයක් ගනී.
මෙය රටේ සමස්ත ආර්ථික පද්ධතියටම පිළිකාවක් සේ පීඩාවක් එල්ල කරයි.
නිවසක් සෑදීමට බැංකු ණයක් ලබාගැනීමට මේ කාලයේ අපහසුය.
එයට හේතුව, පොළී අනුපාත අහස උසට නැගීමයි.
මේ නිසා, නැවත නැවතත් අවධාරණය කරමින් කිව හැක්කේ, කයිවාරු නවත්වා ශ්‍රී ලංකා මහ බැංකුව මෙම උද්ධමන බැලුනය පාලනය කළ යුතු බවයි.
|