|
වර්ෂ 1886 මැයි 01 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ කම්හලක සේවකයින් පිරිසක් චිකාගෝවේ හේමාකට් චතුරස්‍රයේ දී දිනකට පැය 08ක සේවා කාලයක් ඉල්ලමින් කරන ලද උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් කම්කරු දිනය ප්‍රකාශයට පත් වූ බවයි, ඉතිහාසයේ සඳහන් වන්නේ.
වැඩ කරන ජනතාවට පැය 08ක වැඩ දිනයක් ලබා ගැනීමට මුල් වූ එම අරගලය සමරනු වස් මැයි 01වනදා ලෝක කම්කරු දිනය ප්‍රකාශයට පත් විය.
අදට යෙදී තිබෙන මෙම ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලාංකීය මෙන්ම ලෝකවාසී කම්කරුවන් හට සිය සුබ පැතුම් එක් කරයි.
“කම්කරු ජනතාව අභිමානයෙන් ලෝක කම්කරු දින සමරන මෙ අවස්ථාවේ ඔවුන් සමඟ එක්වන අප රටේ වැඩ කරන ජනතාවට මම මහත් සේ සුභ පතමි.
රටේ සංවර්ධනය නිවැරදි මාවතට ගැනීමට අනවරත අරගලයක නිරත වූ විට අපට වැඩ කරන ජනතාව ලබාදුන් ශක්තිය අමතක නොවේ. එක් පැත්තකින් ලොව ම භීතියට පත් කොට බලවත් යැයි කියා ගත් ත්‍රස්තවාදයට අපි නොබිය ව මුහුණ දුනිමු. එසේ මුහුණ දෙමින් අද අප නිදහසේ වසරට ද පා තබා සිටිමු.
එසේම ලෝක ආර්ථික අභියෝගය හමුවේ වුවද රටේ සම්පත් සුරක්ෂිත කරමින් ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට පියවර ගෙන තිබේ. මේ ජයග්‍රහණ සියල්ලේ කොටස්කරුවන් වීමට මේ රටේ වැඩ කරන ජනතාව ඉවසිලිවන්ත වීම ලෝකයේ ම වැඩ කරන ජනතාවගේ ගෞරවයට හේතු වන බව මම විශ්වාස කරමි.
මෙ සියල්ල සේ ම අභියෝග ජය ගනිමින් රට පෙරට ආ ගමනේ දී ජනතා සහන ද සලසා දීමට හැකිවීම වැඩ කරන ජනතාව සමඟ සිටි මට මහත් අභිමානයකි.
රාජ්‍ය සේවය මෙන් ම රාජ්‍ය සේවකයා ද අද ශක්තිමත්ය. පෞද්ගලික අංශයේ සේවක අයිතීන්ද අපි අමතක නොකළෙමු. කෘෂි ආර්ථිකය බලවත් කොට තිබේ. කෘෂි ආර්ථික නිෂ්පාදන සඳහා සවිමත් වෙළෙඳපොළක් ඇති කිරීමත්, දේශීය නිෂ්පාදන දිරිගැන්වීමටත් කටයුතු කර තිබේ. එකදු සහනාධාරයක් හෝ කප්පාදු කිරීමට රජය පියවර නොගත්තේ ජනතාවාදී රජයක වගකීම හඳුනාගත් නිසාය.
අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තැබූ පියවර සවිමත් කළ රටේ වැඩ කරන ජනතාවට ජාතියේ ගෞරවය පුද කර සිටිමි.”
එමෙන්ම කම්කරු සබඳතා හා මිනිස්බල අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා ද කම්කරු ප්‍රජාව හට සිය සුබපැතුම් එක් කරයි.
|