|
ජාතික ජලජීවී සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත චන්ද්‍ර සෝම “විමසුම“ ට පැවසුවේ 2011 වසරේදී විසිතුරු මසුන් අපනයනය මගින් රුපියල් මිලියන 1100 ක පමණ ආදායමක් මෙරටට ලැබුණු බවත් එය 2016 වනවිට රුපියල් මිලියන 2200 කට වඩා වැඩි කිරීමට සිය අධිකාරිය විසින් වැඩ කටයුතු කරගෙන යන බවයි.
“මෙය ලාභ ලබන කර්මාන්තයක්. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට මෙය ගෘහ කර්මාන්තයක් ලෙස සිදුකළ හැකියි. මෙම කර්මාන්තය කිරීමට අවශ්‍ය පුහුණුව හා විශේෂඥ දැනුම ලබාදීමත් නිපදවන විසිතුරු මසුන් අලෙවි කිරීමට අපනයන කරුවන් සම්බන්ධ කරදීමත් අපිට සිදුකළ හැකියි.“
යනුවෙන් අප සමග ජාතික ජලජීවී සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කීය.
මේ වනවිටත් දිවි නැගුම යටතේ විසිතුරු මසුන් අළුතින් ඇතිකිරීම සඳහා රුපියල් 37,500 ක මුදලක්ද විසිතුරු මසුන් ඇතිකරන අයෙකුට සිය වගාව වැඩිදියුණු කර ගැනීම සඳහා රුපියල් 75,000 ක මුදලක්ද ලබාදෙන බව හෙතෙම පැවසීය.
“මෙම මුදල් වලින් සියයට 50 ක් ප්‍රදනයක් විදිහටයි දෙන්නෙ. ඉතිරි සියයට 50 ත් පොලී රහිතව වාරික ලෙස ගෙවීමට පහසුකම් සලසා තිබෙනවා. මොවුන්ට අපි කුරුණෑගල තිබෙන අපේ පුහුණු මධ්‍යස්ථානයේ විසිතුරු මසුන් වගාකිරීමට අදාළව හොඳ පුහුණුවක් ලබාදෙනවා.“
චන්ද්‍ර සෝම මහතා අප සමග පැවසුවේ විසිතුරු මසුන් වගා කිරීම සඳහා මේ වනවිට පොලොන්නරුවේ පවුල් 400 ක් පමණ සම්බන්ධ වී සිටින බවත් ඔවුන්ට මෙයින් සැලකිය යුතු ආදායමක් ලැබෙන බවයි.
“වර්ග අඩි 50 ක සිමෙන්ති ටැංකි 10 ක් එහෙමත් නැත්නම් ටැංකි පද්ධතියක් ගොඩ නැගීමට රුපියල් 36,000 ක විතර වියදමක් යනවා. එවැනි ටැංකි පද්ධතියක විසිතුරු මසුන් වගා කිරීමෙන් මසකට රුපියල් 13,000 ක පමණ ආදායමක් ලබාගත හැකියි.“
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ විසිතුරු මසුන් සඳහා දේශීය වෙළඳ පොළේත් හොඳ ඉල්ලුමක් තිබෙන බවයි.
|