|
පසුගිය පෙබරවාරි මාසයේදී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමුවද ණය ගැනීමේ අඩුවක් පෙනෙන්නට නොමැති නිසා මහ බැංකුව යළිත් පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
මේ අනුව, ප්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාතය පදනම් අංක 25 කින් සියයට 7.75 ක් දක්වාද ප්‍රති විකුණුම් පොලී අනුපාතය පදනම් අංක 75 කින් සියයට 9.75 ක් දක්වාද ඉහළ දමා තිබේ.
මෙහි අරමුණ වී තිබෙන්නේ බලපත්‍ර ලාභී බැංකු විසින් ලබාදෙන ණය වර්ධනය සීමා කර වසර අවසාන ණය වර්ධන ඉලක්ක වලට පැමිණීමත් උද්ධමන අපේක්ෂාවන් පහළ දැමීමත්ය.
මහ බැංකුව පවසන්නේ 2012 පෙබරවාරියේ පුළුල් මුදල් සැපයුම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම අනුව සියයට 21.9 කින්ද වසරේ පළමු මාස දෙක තුළදී රජයට ලබාදුන් ශුද්ධ ණය රුපියල් බිලියන 136.3 කින් ඉහළ අගයකින්ද වැඩිවී තිබෙන බවයි.
මේ අතර, පුද්ගලික අංශයට විසින් ලබාගත් ණයද වසරේ පළමු මාස දෙක තුළදී සියයට 34.4 ක් හෙවත් රුපියල් බිලියන 100 කින් පමණ වැඩිවී ඇත.
කෙසේවෙතත්, පසුගිය කාලයේදී ගත් ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග හේතුවෙන් ඉදිරියේදී පුළුල් මුදල් සැපයුම අඩුවනු ඇති බවත් රජයේ අයවැය හිඟය පියවීමට බැංකු අංශය මත රඳා පැවතීම සැලකිය යුතු ලෙස අඩු කිරීම සඳහා දැනට පවතින රාජ්‍ය ආදායම් හිඟය නිවැරදි කිරීම හා රජයේ වියදම් තවදුරටත් තාර්කික කිරීම අවශ්‍ය බවත් මහ බැංකුව කියයි.
පසුගිය කාලයේදී මහ බැංකුව විසින් පොලී අනුපාතය ඉහළ නොදමා දිගින් දිගටම ණය වර්ධනයට අවස්ථාව ලබාදීම නිසා විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවූ අතර එවිට ඩොලරයට සාපේක්ෂව රුපියල මත ඇතිවූ පීඩනය නැති කරගත්තේ විදේශ සංචිත විකුණා දමමිනි.
මේ නිසා, විදේශ සංචිත මහා පරිමාණයෙන් දියවී යද්දී වාණිජ බැංකුවල ද්‍රවශීලතාවයද සිඳී ගියේය.
මහ බැංකුව පවසා තිබෙන්නේ පසුගිය මාස වලදී මෙරට ගලා ආ විදේශ විනිමය ලැබීම් නිසා මේ වනවිට විදේශ සංචිතය යළිත් ඉහළ නගිමින් තිබෙන බවත් එය මේ වනවිට ඩොලර් බිලියන 6.1 ක මට්ටමක පවතින බවයි.
|