|
මේ අනුව, මේ වසරේ මුල් මාස හතර තුළදී ආදායම් හිඟය හෙවත් සම්පූර්ණ ආදායම හා වර්තන වියදම අතර පරතරය සියයට 86 කින් වර්ධනය වී තිබේ. එම ආදායම් හිඟය රුපියල් බිලියන 139. 8 ක් වන අතර එය පුරෝකතනය කර තිබෙන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.8 ක ප්‍රමාණයක් වෙයි.
2012 අයවැය මගින් පුරෝකතනය කර තිබෙන්නේ බදු ආදායම් ලෙස ට්‍රිලියනයක මුදලක් උපයා ගැනීම වන අතර එය ගිය වසරේ බදු ආදායමට වඩා සියයට 23.6 ක වැඩි අගයකි.
මීට අමතරව, ශුද්ධ ප්‍රාග්ධන වියදම්ද මේ කාලයේදී සියයට 46 කින් වර්ධනය වී රුපියල් බිලියන 143.8 ක් වැයකර තිබෙන අතර මේ නිසා සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 285.8 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.81 ක්වී තිබේ.
මේ සඳහා දීමනා ඇතුළත්ව නොමැති අතර දීමනා ප්‍රමාණය රුපියල් බිලියන 2.0 ක් පමණක් වෙයි.
බලාපොරොත්තු
මුදල් අමාත්‍යංශය පවසන්නේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් මූල්‍යනය විදේශ මූලාශ මගින් සිදුකළ බවත් ඉදිරියේදී සමස්ත වියදම් අඩුවනු ඇතැයි විශ්වාස කරන බවයි.
විදේශ මගින් මූල්‍යනය කරන ව්‍යාපෘති මෙරට මූල්‍ය පද්ධතියට හෝ විනිමය අනුපාතයට වැඩි පීඩනයක් එල්ල නොකරයි.
බැංකු ණය
බදු මගින් වැඩි මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වන්නේ නම් බැංකු මූලාශ මගින් අයවැය මූල්‍යන කටයුතු අඩුකර ගැනීමට රජයට හැකිවේ.
එවිට විනිමය අනුපාතය හා උද්ධමනය ස්ථාවරව පවත්වා ගෙන යාමට අවස්ථාව උදාවේ.
කෙසේවෙතත්, බදු ආදායම් අඩුවීමත් වර්තන වියදම් වැඩිවීමත් තුළ ඇතිවී තිබෙන අර්බුදය වන්නේ වියදම් පියවා ගැනීම සඳහා රජය බැංකු ණය වෙත වැඩිපුර නැඹුරු වීමට මග පාදන වට පිටාවක් නිර්මාණය වෙමින් තිබීමයි.
මුල් මාස හතරේ අයවැය හිඟයේ දේශීය මූල්‍යනය වූ රුපියල් බිලියන 198 ක මුදලින් රුපියල් බිලියන 131.9 ක් බැංකු මූලාශ්‍ර වලින් පියවා තිබෙන අතර බැංකු නොවන මූල්‍යන කටයුතු රුපියල් බිලියන 90.4 ක සිට රුපියල් බිලියන 66.8 ක් දක්වා අඩුවී තිබීම කැපී පෙනේ.
බදු නොවන ආදායම් ලෙස උපයා තිබෙන රුපියල් බිලියන 33 ක මුදලින් රුපියල් බිලියන 10 ක්ම මහ බැංකුවේ ලාභ එවීම් වලින් ලැබී තිබෙන අතර මෙහිදී මුදල් අච්චු ගැසීම නිසා රුපියල මත තවදුරටත් පීඩනයක් ඇතිවේ.
|