IIT, රොබර්ට් ගෝඩන් විශ්ව විද්‍යාලය සමගින් පැවැත් වූ දත්ත විශ්ලේෂණ විවෘත සාකච්ඦාව

IIT.jpg

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අධ්‍යයනය සඳහා පුරෝගාමීන් වූ ඉන්ෆොමැටික්ස් තොරතුරු තාක්ෂණ ආයතනය (IIT) දත්ත විශ්ලේෂණ පිලිබඳ විවෘත සාකච්ඦාව පහුගිය දා කොළඹ මිරාජ් හි දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා මෙරට කීර්තිමත් බහුජාතික හා දේශීය තොරතුරු තාක්ෂණ ආයතන නියෝජනය කළ ආයතනික වෘත්තීයවේදීන් සහභාගී වූ අතර මෙහිදී දත්ත විශ්ලේෂණ ප්‍රයෝජන හා ව්‍යාපාරික බුද්ධි මෙවලම් භාවිතා කරගනිමින් ආයතන සාර්ථකත්වය සඳහා ගෙනයාම පිළිබඳව සාකච්ඡා කරන ලදී.

ඉන්ෆොමැටික්ස් තොරතුරු තාක්ෂණ ආයතනයෙහි ප්‍රධාන විධායක නිළධාරී ආචාර්‍ය සම්පත් කන්නන්ගර මහතා, රොබට් ගෝඩන් විශ්ව විද්‍යාලය සඳහා බුද්ධිමය පර්යේෂණ පද්ධති පිලිබඳ මහාචාර්‍ය නිර්මලී වීරතුංග මහත්මිය, ඉන්ෆොමැටික්ස් තොරතුරු තාක්ෂණ ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / පාඨමාලා සම්බන්ධීකාරක කාසීම් ෆාරුක් හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු හා පාඨමාලා සම්බන්ධීකාරක ඇල්රෝයි මැස්කරෙන්ජ් යන මහත්ම මහත්මීන් මෙදින සභාව අමතන ලදී.

බිග් ඩේටා යනු රොබට් ගෝර්ඩන් විශ්වවිද්‍යාලයට හා ස්කොට්ලන්තයට උපාය මාර්ගික වැදගත්කමක් ගෙන දුන් ජනප්‍රිය මාතෘකාවක් බව ස්කොට්ලන්ත රොබට් ගෝර්ඩන් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඩිජිටල් මාධ්‍ය පාසලෙන් පැමිණි මහාචාර්‍ය නිර්මලී වීරතුංග මෙදින සංසදය අමතමින් පවසන ලදී.

ඉන්ෆොමැටික්ස් තොරතුරු තාක්ෂණ ආයතනය ජාත්‍යාන්තර උපාධි හා පශ්චාත් උපාධි පිරිනැමීමේ පුරෝගාමියා ලෙස කටයුතු කරන බවත්, එමගින් වසර ගණනාවක් පුරාවට සැම අතින්ම දක්‍ෂ උපාදිධාරීන් බිහිකිරීම මගින් අදාළ සංවිධාන බලගැන්වීමට හැකි වූ බවත් සභාව ඇමතූ ආචාර්‍ය සම්පත් කන්නන්ගර මහතා පැවසීය.

එසේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඇල්රෝයි මැස්කරෙන්ජ් ව්‍යාපාර විශ්ලේෂණය මාතෘකාව කොට ගනිමින් ව්‍යාපාර විශ්ලේෂණය යනු මේ දින වල බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වන අතර එය හුදෙක්ම අන්තර් ඥානයක් බවට පත්වෙමින් තිබෙන බව පවසමින් Netflix උදාහරණයක් ලෙස ගනිමින් ව්‍යාපාර විශ්ලේෂණ කටයුතු පිළිබඳව හරවත් දේශනයක් ඉදිරිපත් කළේය.

මෙම දත්ත විශ්ලේෂණ පාඨමාලාව පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවන් හා තොරතුරු තාක්ෂණ වෘත්තීකයන් ඉලක්ක කරන්නක් බවත් මෙමගින් තාක්ෂණය හා මෙවලම් පිලිබඳ ගැඹුරු දැනුමක් සිසුන්ට ලබා දෙනු ඇති බවත් IIT හි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කාසිම් ෆාරුක් පැවසීය.

රොබට් ගෝර්ඩන් (Robert Gordon) විශ්ව විද්‍යාලයෙන් දත්ත අධ්‍යයනය සඳහා දියත් කරන ලද MSc දත්ත විශ්ලේෂණ පාඨමාලාව (MSc Big Data Analytics) හා MSc ව්‍යාපාරික විශ්ලේෂණ පාඨමාලාව (MSc Business Analytics) ඉන්ෆොමැටික් තොරතුරු තාක්ෂණ ආයතනයෙන් දැන් හැදෑරිය හැක.

scroll to top