IESL UTE Raspberry PI Challenge 2017 තරඟාවලිය සඳහා දැන් ඔබටද තරඟ කල හැක

IESL-UTE-Raspberry-PI-Challenge.jpg

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL)සහ United Tractor & Equipment (Pvt) Ltd (UTE) සමාගම සහයෝගයෙන් පළමු වරට සංවිධාන කරන IESL UTE Raspberry PI Challenge 2017 තරඟාවලිය සඳහා දැන් ඔබටද තරඟ කල හැක.

දැනට මේ සඳහා අයදුම් කල හැක්කේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) සාමාජිකත්වය ලබා සිටින ආධුනික ඉන්ජිනේරුවරුන්ට සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ඉන්ජිනේරු සිසුන්ට පමණයි.ඉදිරියේදී මෙම තරඟාවලිය පාසල් සිසුන්ටද විවෘත කරන බවයි සංවිධායක මණ්ඩලය සඳහන් කලේ.
අයදුම් කිරීම

අභියෝගය බාර ගන්න කැමති ඔබ මුලින්ම කල යුත්තේ www.raspberrypi.lk වෙබ් අඩවියට පිවිස මේ තරඟාවලියට ඇතුල් වීම සඳහා අදාල අයදුම්පත බාගත කරගෙන එය නිසි ලෙස සම්පූර්ණ කර ඊමේල් මගින් හෝ තැපැල් මගින් . ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය,120/15,විජේරාම මාවත,කොළඹ 07වෙත යොමු කිරීමයි.

ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණ වන්නේ ඔබගේ අයදුම්පත සමග ඔබ විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නිර්මාණය පිළිබඳ හැදින්වීමක් සිදු කිරීම අනිවාර්යයි.ඒ කියන්නේ ව්‍යාපෘති යෝජනාවක් සමග ඔබගේ අයදුම්පත යොමු කල යුතුයි.මේ තරඟාවලිය කණ්ඩායම් තරඟාවලියක් නිසා ඔබගේ කණ්ඩායමට දක්ෂ සාමාජිකයන් 3 සොයා ගන්නත් අමතක කරන්න එපා.අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය ජුනි මාසේ 20.
Raspberry PI උපකරණය යොදා ගෙන නිශ්පාදයන කල හැකි,සමාජයට වැඩදායී සහ වානිජ වටිනාකමක් සහිත නිර්මාණයක් ඔබ විසින් නිර්මාණය කල යුතුයි.විශේෂයෙන්ම වර්තමානයේ සමාජය මුහුණ දෙන විවිධ ප්‍රශ්න ,උදා- කසල කළමණාකරන ගැටලු,ගංවතුර පාලනය වැනි මහ ජනතාවට සෘජුව බලපාන ගැටළු සඳහා විසඳුම් සෙවීමට යම් යම් නිර්මාණ Raspberry PI උපකරණය යොදා ගෙන සිදු කිරීමට ඔබට හැකි නම් තවත් බලාගෙන ඉන්න එපා ඉක්මනට මේ තරඟාවලියට ඇතුල් වෙන්න.

අවසන් වටයට ‍තෝරා ගැනීම

ඔබ විසින් එවන ව්‍යාපෘති යෝජනාව ප්‍රවීණ විනිසුරු මණ්ඩලයක් මගින් ඇගයීම ලක් වන අතර ඉන් ‍තෝරා ගන්නා කණ්ඩායම් 30 අවසන් වටයට සුදුසුකම් ලබා ගන්නා බවයි සංවිධායක කමි‍ටුව සඳහන් කලේ.ජුලි මාසයේ 01 වන විට අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් ‍තෝරා ගන්නා අතර එම දිනයේ සිට සුදුසුකම් ලැබූ කණ්ඩායම්වලට තමන්ගේ ව්‍යාපෘති යෝජනාව ක්‍රියාවට නංවන්න පුලුවන්.අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 30 සඳහා අවශ්‍ය කරන Raspberry PI උපකරණ නොමිලේ ලබා දීම සිදු කරන්නේ UTEආයතනයයි.

සැප්තැම්බර් මස 23 සහ 24 යන දෙදින තුල දී ජයග්‍රාහී කණ්ඩායම ‍තෝරා ගන්නා අතර ජයග්‍රාහී කණ්ඩායම වෙත ත්‍යාග සහ කුසලාන ලබා දීම සිදු කරන්නේ ඔක්තෝම්බර් මස 13 වැනිදා BMICH හි පැවැත්වෙන Techno 2017 ප්‍රදර්ශනයට සමගාමීවයි.

පළමු ස්ථානය ලබා ගන්නා කණ්ඩායමට මුදලින් රු 250,000,දෙවන ස්ථානය සඳහා රු 150,000 සහ තුන්වන ස්ථානය සඳහා රු 100,000 ලබා දෙනු ඇත.මීට අමතරව සහභාගී වූ අනෙක් කණ්ඩායම්වලටද කුසලතා සහතික ලබා දෙනු ඇත.

පළමු ස්ථානය ලබා ගන්නා නිර්මාණය වාණිජමය වශයෙන් දියුණු කිරීමට අවශ්‍ය තාක්ශණික උපදෙස් සහ මූල්‍ය ශක්තිය ලබා දීමට United Tractor & Equipment (Pvt) Ltd ආයතනය සූදානමින් සිටී.

scroll to top