GSP බදු සහනය ලබා ගැනීම අවසන් විසදුම නොවේ. ප්‍රතිපල වෙනුවෙන් කැපවිය යුතුයි

GSP+බදු සහන ලබා ගැනීමෙන්  පමණක් එහි පුර්ණ වාසිය ශ්‍රී ලංකාවට නොලැබෙන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

ශ්‍රී ලංකාවට ලැබෙන GSP+ බදු සහන පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.

රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා නිකුත් කල එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව 2005 සිට 2010 දක්වා GSP+ බදු සහන ලාභියෙක් ලෙස කටයුතු කළා. එය ජාතියට අහිමි වන්නේ රාජපක්ෂ පාලනයේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන්. GSP+ අහිමි වීමෙන් වැසීගිය ඇගලුම් කර්මාන්තශාලා ප්‍රමාණය 200කට අධිකයි. GSP + බදු සහනයේ සැබෑ ආර්ථික ප්‍රථිලාභ අත්කර ගැනීමට නම් නිසි ක්‍රියාකාරී සැලැස්මක් අනුව කටයුතු කරමින් ඊට අදාල ව්‍යුහමය වෙනස්කම් සිදු කළ යුතුයි. ගත වූ වසර 7 ක කාල සිමාව තුල අපිට අහිමි වූ රැකියා අවස්ථා නැවත ලබා ගැනීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. ආර්ථික ප්‍රතිලාභ  ළඟාකර ගැනීමේදී ගෝලීය ආර්ථික තත්ත්වය සහ නව ආර්ථික ප්‍රවණතා පිලිබඳ සංවේදී වීම අතිශය වැදගත්.

අනෙක් ප්‍රධාන කාරණය වන්නේ ආයෝජකයන්ට පවතින විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමයි. ආර්ථික ක්‍රමවේද වෙනස් කිරීමේදී නිෂ්පාදන වියදම අවම කිරීම ද වැදගත්. එසේම ජල, විදුලි, දුරකථන ඇතුළු අනෙකුත් පිරිවැය පිලිබඳ සලකා බැලීමත් අත්‍යවශ්‍යයි. බදු ක්‍රමවේද සරල කිරීම, නීති රීති සරල කිරීම, ලියකියවිලි අවම කිරීම, අතරමැදියන් අවම කිරීම ආදී ක්‍රියා මාර්ග ගැනීම ඉතා වැදගත්. කලාපිය වශයෙන් ගත්කල ආයෝජන සහන වෙනත් රටවල සිදු කරන ආකාරය පිලිබඳ අප පුළුල් හා විධිමත් අධ්‍යයනයක් සිදු කල යුතුයි. එසේ නොවන්නේ නම් ආයෝජකයන් විකල්ප අවස්ථාවන්ට යොමු වී අපේ රටට ලැබෙන ආයෝජන වෙනත් පැත්තකට යොමු කිරීම වලකා ගත නොහැකියි.

කොතරම් දක්‍ෂ ක්‍රීඩකයෙක් වුවද තරගයකට යොමු වීමේදී හොදින් සුදානම් විය යුතුයි. පෙර පුහුණු වීම් ද කල යුතුයි. ප්‍රතිවාදීන්ගේ දුර්වලතා හොදින් අධ්‍යයනය කිරීම ද වැදගත්.  GSP+ සහනය යථාර්ථයක් බවට පත්කර ගැනීමේදීත් එලෙසින්ම  හොඳ තරගයකට මුහුණ දීමට අප රටක් සහ රජයක් ලෙස සුදානම් විය යුතුයි. එසේ නොවුනහොත් GSP+ සහනයේ සැබෑ වාසිය අපිට ලබා ගත නොහැකි වනු ඇති. මෙහිදී මෙරට ශ්‍රම බලකාය මැනවින් ශක්තිමත් කිරීම, තාක්‍ෂණික දැනුමින් සන්නද්ධ කිරීම, තරගකාරී නිෂ්පාදන ක්‍රියාවලියකට හුරු කරවීම, ප්‍රමිතිගත ශ්‍රමිකයෙකු බවට පත්කර වැඩ ලෝකයේ ඉහලට යා හැකි ලෙස තරුණ තරුණියන් කුසලතා පුර්ණ පිරිසක් බවට පත් කිරීම ආදිය අනිවාර්යෙන් සිදු කල යුතුයි. එසේම මහපාරේ  කෑ මොර දෙන දේශපාලන අතකොලු බවට පත් නොවී රටේ සමස්ත තාරුණ්‍ය ජාතික වශයෙන් වැදගත් පිරිසක් බවට පත්වීමට මෙය අවස්ථාවක් කරගත යුතු  බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

scroll to top