ඇවන්ගාඩ් ලොක්කාට හදිසියේ අසනීප වෙයි; මාධ්‍ය හමුව අවලංගුයි

නොවැ 13, 2015 (විමසුම) – ඇවන්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති මහතා හදිසියේ අසනීපවීම නිසා අද උදෑසන කැඳවා තිබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අවලංගු කළ බව සභාපතිවරයාගේ ලේකම්වරයා පවසයි.

පසුගියදා ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශව කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි.

එම සාකච්ඡාවේ සත්‍ය කරුණු මාධ්‍යය හමුවේ ඉදිරිපත් කිරිම අදාල ප්‍රවෘත්ති සාකච්ඡාවේ අරමුණ වූ අතර සේනාධිපති මහතාගේ උදර ප්‍රදේශයේ මෑතක දී සිදු කළ ශල්‍යකර්මයක් නිසා මෙසේ හදිසියේ අසනීප වූ බව සභාපතිවරයාගේ ලේකම් කමල් ගමගේ පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කැඳවූ සාකච්ඡාවට සහභාගී වූ රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගම දකුණු මුහුදේ සිදු කළ කටයුතු සියල්ල නතර කොට එම කටයුතු නාවික හමුදාවට පැවරූ බවයි.

ඇවන්ගාඩ් සමාගමට එරෙහිව පවත්වන පරීක්ෂණ සියල්ල ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට තීරණය කළ බව ද සේනාරත්න ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ තිලක් මාරපන හිටපු ඇමතිවරයා ඇවන්ගාඩ් සමාගමේ කටයුතු සාධාරණීකරණය කරමින් පසුගියදා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයත් සමඟ ආණ්ඩුව තුළ මත ගැටුමක් නිර්මාණය විය.

එය අවසන්වූයේ තිලක් මාරපන ඇමතිවරයා සිය අමාත්‍යධුරයට සමු දෙමිනි.

ඇවන්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපතිට අදාල ශල්‍යකර්මය පසුගිය 21 වන දා සිංගප්පූරුවේ පවත්වා ඇති අතර ඒ පිළිබඳ රෝහල් වාර්තාව පහත පළ වේ.

Medical-Reports
scroll to top