පරිණත මන්ති්‍රවරුන් නවකයින්ට දෙන ආදර්ශය ගැන කණගාටුයි…

Thalatha-Athukorala-2.jpg

51 දෙනෙකුගෙන් යුත් කල්ලියක් පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කරන්න උත්සහ කරනවා…
විදේශ ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය දීමට සොයා බලනවා…

2015 ජනවාරි මස 8 දින සිට 51 දෙනෙකුගෙන් යුත් කල්ලියක් දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කටයුතු අඩාල කිරීමට උත්සහ කරන බවත්, පරිණත දේශපාලඥයින් නවක මන්ති්‍රවරුන්ට ආදර්ශමත්ව කටයුතු කල යුතු බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ, —ශ්‍රමික සුරැකුම ජංගම සේවය˜ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩසටහන ආරම්භ කරමින් පසුගියදා (2017.03.11) රාජංගනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ජංගම සේවයට එක්වෙමින් මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නවලට පිළිතුරුදෙමිනි.

1. මෙච්චර පරිණත දේශපාලඥයෙක් වෙලත් දිනේෂ් ගුණවර්ධන මන්ති්‍රතුමා පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ගැන මොනාද කියන්න තියෙන්නේ?
– මං මොනා කියන්නද එතුමා හැසිරෙන ආකාරය ගැන. පරිණත දේශපාලඥයෙක් විදිහට එතුමගෙන්ම අහගන්න.

2. ඔබතුමියලා පත්වුණේ මහජන ඡන්දයෙන්. දිනකට මහජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වෙනුවෙන් වැය කරනවා. ගැටළු පිළිබඳව කථාකරන්නේ නැතුව එහෙම පාර්ලිමේන්තුවෙන් නැගිටලා යන එක හරිද?
– පාර්ලිමේන්තුව පවත්වගෙන යන එක ගැන මන්ති්‍රවරු 225ටම වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුව බාධාවකින් තොරව පවත්වගෙන යන්න බැරිනම් කතානායකතුමාට තියෙන්නේ දින නියමයක් නොමැතිව කල්දාන්න. අද ඊයේ නෙවෙයි 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන් 51 දෙනෙකුගෙන් යුත් කල්ලියක් පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කරන්න උත්සහ කරනවා. පාර්ලිමේන්තුවේ කථාකරන්නේ අසභ්‍ය වචන. පාර්ලිමේන්තුවේ තත්වය පහත් කරලා තියෙනවා. සමහරු ඉන්නවා අවුරුදු 25-30 පාර්ලිමේන්තුවේ ඉන්න මන්ති්‍රවරුන්. ඒ අය හැසිරෙන්න දන්නේ නැත්නම් නවක මන්ති්‍රවරුන්ට දෙන ආදර්ශය පිළිබඳව අපි කණගාටු වෙනවා.

3. ආණ්ඩු පක‍ෂයේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා යන එක හරිද?
– කරන්න දෙයක් නැත්නම් අයින් වෙලා යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ.

4. මේ තත්වය දිගටම ඇති වෙයිද?
– නෑ දිගටම ඇතිවෙන්න විදිහක් නෑ. පාර්ලිමේන්තුව රැස්වෙන එක නතර කරන්න විදිහක් නෑ කාටවත්. පාර්ලිමේන්තුවේ කටයුතුවලට මගදී බාධා වෙන එක සම්බන්ධයෙන් වේත්‍රධාරියෙක් ඉන්නවා. අවශ්‍ය කි්‍රයාමාර්ග ගනියි.

5. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්දාගෙන යනවා. තියෙන්නේ නැද්ද මැතිවරණය ඉදිරියේදි?
– දිගින් දිගටම කල්දැමීමක් මෙහිදි සිද්ධ වෙන්නෙ නෑ. පහුගිය ආණ්ඩුවේ අවසන් කාලයේ පළාත් පාලන මැතිවරණය තියන්නේ කොට්ඨාශ ක්‍රමයට බව සඳහන් කළා. බලයේ හිටපු ජනපතිවරයාට වාසි සහගත වෙන විදිහට අසාධාරණ ක්‍රමයට සීමා නිර්ණය කරලා තිබුණේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හැම කෙනාගෙම අභියාචනා සලකලා බලලා සීමා නිර්ණය කරගෙන යනවා. ඒක මේ එකපාරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අවසන් වුණ ගමන් මැතිවරණය පවත්වනවා.

6. විදේශගත ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබාදෙනවා කියලා සඳහන් කළා. මේ වැඩ පිළිවෙල කවදා ඉඳන් කි්‍රයාත්මක වෙයිද?
– එහෙමම තීරණයක් අරන් නෑ. දියුණු රටවල විදේශීයන් හැටියට ඉන්න අයට ඡන්ද අයිතිය ලබාදීලා තියෙනවා. මේ දේ සලකා බැලිය යුතුයි. අපි නෙවෙයි මේ දේවල් කරන්නේ. මැතිවරණ කොමිෂන් සභාව. කා වෙනුවෙන්ද මේ දේ කි්‍රයාත්මක වෙන්නේ, රැකියා සඳහා ගිය අයටද, පුරවැසිබව ලැබූවන්ටද කියලා අපි හිතන්න ඕනි. මේ දේවලට තව අවුරුදු දෙක තුනක්වත් යයි. තවම පටන් ගත්තා විතරයි නේ.

7. රැකියාවලට විදේශ ගතවන කාන්තාවන්ට බොහෝවිට මැදපෙරදිග රටවලට යන අයට අඩම්තෙට්ටම් වලට ලක්වෙන්න සිද්ධ වෙනවා. මේ දේවල්වලට රජය ගන්න කි්‍රයාමාර්ග මොනවාද?
– මාධ්‍ය නිතරම කියන්නේ විශාල අඩම්තෙට්ටම් කරනවා කියලා. අපි කියන්නේ ඔබ ඒ ගැන දැනුවත්නම් අපිට ඒ ගැන කියන්න. අපි ලෑස්තියි ඒ ගැන කි්‍රයාත්මක වෙන්න. මේ කාලය තුල ලංකාවට එන්න බැරුව හිටිය කාන්තාවන් 15ක් විතර අපි ගෙන්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අයට රුපියල් ලක‍ෂ 15ක් 20ක් අරන් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ගල් ගහලා මරන්න නියම වෙච්ච කාන්තාව බේරගෙන තියෙනවා. ඛෙල්ල කපලා මරන්න නියම වෙච්ච කාන්තාව බේරගෙන තියෙනවා. අඩම්තෙට්ටම්වලට ලක්වෙලා ඉන්නවා නම් ඒ අය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ගියත් නැතත් අපි හොයලා බලනවා. මාධ්‍ය දන්නේ ඒ ගැන කෑ ගහන්න විතරයි. එහෙම කරන්නේ නැතුව අපිට සහය දෙන්න කියලා මම සියළුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා.

8. මාධ්‍ය මගින් කියනකම් ඔබතුමියලා දන්නේ නැද්ද මේ ගැන?
– නෑ. අපි ඕනි තරම් මේ දේවල් ගැන දැනුවත්. අපිට ඇවිත් පුද්ගලිකව කියනවා. ශ්‍රමික සුරැකුම ජංගම සේවය ම`ගින් මේ වැඩසටහන පටන්ගත්තේ ජනවාරි මාසේ අන්තිම දවසේ. එදා ලැබිච්ච පැමිණිල්ලට මේ වෙනකොට කි්‍රයාත්මක වෙලා ලංකාවට ගෙන්වලා තියෙනවා. අදටත් කි්‍රයාත්මක වෙනවා. අපිට විධිමත් පැමිණිල්ලක් අවශ්‍යයි පවුලේ කෙනෙක්ගෙන්. මාධ්‍යට ඇවිල්ලා කියන්න පුළුවන් නම් අපි එයා ගැන වගකීම ගන්නවා කියලා. ඒකටත් අපි කි්‍රයාත්මක වෙන්න පුළුවන්.

9. එතකොට විදේශ රටවල හිරකඳවුරුවල ලංකාවේ කාන්තාවන් හිර කරගෙන ඉන්නවා නේද? ඒ ගැන දැනුවත් නැද්ද? රන්ජන් රාමනායක ඇමතිතුමා දිගින් දිගටම මේ පිළිබඳව තර්ක කළා.
– මම නම් දන්නෙ නෑ. එහෙම අය ඉන්නවා නම් ඒ ගැන දැනුවත් වෙන්නේ විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. එතුමා ගැන තොරතුරු තියෙනවා නම් අපිට දැනුම් දෙනවා.

10. රජය මට්ටමෙන් මැදිහත්වීමක් කරන්නේ නෑනේ කිසිම? මේ වෙද්දි 15 දෙනයිද ගෙන්වලා තියෙන්නේ තාම?
– එහෙනම් ඔයාද මැදහත් වෙන්නේ. ඔයාලා හිතන විදිහේ මවලා පෙන්වන දෙයක් මෙතන නෑ. නිකන් ඉන්න මිනිස්සු ලොකු ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඉන්නවා කියන්නේ ඔයා වගේ අය. අපිට පැමිණිල්ලක් ආවොත් අපි ඒ ගැන කි්‍රයාත්මක වෙනවා.

scroll to top