‘2018, 2019 ඇතිවන විදුලි ඉල්ලූමට සරිලන විදුලි බලාගාරයක් කඩිනමින් ඉදිකළ යුතුයි…

Ranil.jpg

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා මේ බව පවසා සිටියේ, නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන වැඩසටහන මගින් රුපියල් මිලියන 763 ක වියදමින් ඉදිකළ හේනමුල්ල මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ, නිවාස 218 කින් සමන්විත පළමු අදියර ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණු මෙම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මැතිතුමන්ලාද සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ඔක්තෝම්බර් මාසය එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නාගරික ඔක්තෝම්බරය ලෙස නම් කර 31 වෙනිදා අන්තර් ජාතික නාගරික දිනය ලෙස නම් කර තිබෙන පසුබිමක කොළඹ නගරයේ නාගරික පසුබිම වෙනස් කිරීම තැබූ තවත් පියවරක් ලෙස මෙම මෙත්සඳ සෙවණ නිවාස ව්‍යාපෘතිය හැඳින්විය හැකියි. මෙහි විශේෂත්වය රාජ්‍ය භාණ්ඩාගාරය මගින් අරමුදල් සම්පාදනය කිරීම නිසාවෙන් නිවාසලාභීන්ට වාරික ගෙවීමකින් තොරව අදාල නිවාස ලබාගත හැකිවීමයි. මෙයට සමාන්තරව බේරේ වැව වටේ ඉදිවන කොළඹ ව්‍යාපාරික දිස්ත‍්‍රික්කය සඳහා අවශ්‍ය කරන දෙවන පියවර තැබීමටත් මේ මගින් හැකියාව ලැබී තිබෙනවා.

පළමු පියවර ලෙස ලේක් හවුස් ස්ථානයේ සිට ශාන්ත ජෝසප් විදුහල දක්වා ඉවුරු විධිමත් නාගරික උද්‍යානයක් ලෙස දියුණු කරමින් පවතින බවත්, කොම්පඤ්ඤවීදිය සිට ඉදිරියටත් සංවර්ධන සිදු කෙරෙන අතර වොක්ෂෝල් වීදිය දක්වා කොටස ඉතිරි වී තිබූ බවත් මෙමගින් එම ප‍්‍රදේශයත් දියුණු කිරීමට හැකියාව ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා, කොළඹ ව්‍යාපාරික දිස්ති‍්‍රක්කය ඉදිවෙමින් තිබෙන මූල්‍ය නගරයට ගාලූමුවදොර පිටිය දෙසින් විවෘත වනවා. ඒ වගේම කොළඹ ඉදිවීමට නියමිත බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය සමගත් අනෙක් පැත්තෙන් විවෘත වෙනවා. ඒ අනුව බේරේ වැව අවට ප‍්‍රදේශය අනාගත දූ දරුවන්ට මහඟු රැකියා අවස්ථා උදා කරන ප‍්‍රදේශයක් බවට පරිවර්ථනය වීමේ පළමු පියවර ලෙස ඔබ සියළු දෙනාට නිවාස ලබාදීම හැඳින්විය හැකියි.

විවිධ ආණ්ඩුවලින් විවිධ ජනාධිපතිවරුන් මේ කොළඹ නගරයේ දුගී පැල්පත්වාසීන්ගේ ගැටළුව විසඳීමට විවිධ ක‍්‍රයාමාර්ග ගත්තා. පසුගිය රජයෙනුත් කි‍්‍රයාමාර්ග ගනු ලැබුවා. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට නිවාස 50,000ක් ඉදිකර පැල්පත්වාසීන්ගේ ගැටළුව විසඳීම සඳහා භාර උනා. ඒ සඳහා රුපියල් බිලියන 10 ණයවරයක් නිකුත් කර ඒ කටයුතු ආරම්භ කෙරුණා. එනමුත් එම ණය ආපසු ගෙවීම පිළිබඳවවත්, බිලියන 200 කට ආසන්න මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම පිළිබඳවවත් තිරසර වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. එම නිසා 2015 අගභාගය වන විට එම ඉදිකිරීම් සියල්ලම අඩපණ තත්වයකට පත්වුණා. අපේ උත්සාහයෙන් රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අද වන විට ඉදිකිරීම් කටයුතු විධිමත් අයුරින් කරගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. අග‍්‍රාමාත්‍යතුමා පොරොන්දුවී තිබෙනවා ලබන වසර වන විට අන්තර් ජාතිකව විදේශ ණය මුදලක් ලබාගෙන මෙම කටයුත්ත සඵලකිරීමට කටයුතු කරන්න.

මේ වන විට නිවාස ඒකක 5,859 ක් වැඩ අවසන් කර ජනතාව වෙත භාරදීමට හැකියාව ලැබී තිබෙනවා. 2017 අවසන් වන විට තවත් නිවාස ඒකක 4,508 ක වැඩ නිමකිරීමට නියමිතයි මෙම ප‍්‍රදේශයේ නිවාස 3,000 කට ආසන්න ප‍්‍රමාණයක් සමග. 2018 වන විට තවත් නිවාස ඒකක 3189 ක්, 2019 නිවාස ඒකක 1773 ක්, 2020 දී 5,780 ක් ලෙස 2020 වන විට නිවාස ඒකක 21,000 ක් අපේ ජනතාවට ලබාදීමට නියමිතයි. එසේම මෙම වසර තුළ තවත් නිවාස ඒකක 4,000 ක පමණ වැඩ ආරම්භ කිරීම ටෙන්ඩර් කැඳවා අදාල කොන්ත‍්‍රාත් කරුවන් තොරාගැනීම මේ දිනවල සිදුකෙරෙනවා.

පසුගිය රජය වගේ හමුදාව යොදවා ඉඩම්වලින් බලහත්කාරයෙන් ජනතාව ඉවත් කර, හිතවත් කොන්ත‍්‍රාත් ලබාදෙන ක‍්‍රමයක් මෙම රජයේ නොමැති බවත්, හැමෝගේම හිත් රිදවන්නේ නැතිව, හැමටම සරිලන පරිදි, විනිවිදභාවයකින්, දූෂණයෙන්, වංචාවෙන් තොරව සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලබාදීම නව රජයේ ප‍්‍රතිපත්තිය බවද, එසේම පසුගිය කාලයේ මෙන් දේශපාලන හිතවතුන්ට, ඥාතීන්ට නිවාස ලබාදෙන කි‍්‍රයාවලිය වෙනුවට අත්‍යාවශ්‍ය අයට පමණක් නිවාස ලබාදීම සිදු කරන බවද පැවසීය. එසේම මෙම දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, කලාකුසලතාවයන් ඔප් නැංවීම, ස්වයං රැකියා අවස්ථාවන් උදාකර දීම මගින් නිවසක් සමග අලූත් ජීවිතයක් ලබාදීමයි මෙම ව්‍යාපෘතියේ අරමුණ.

රටේ වෙනත් නගරවල ආයෝජනයට වඩා කොළඹ නගරයේ ආයෝජනය කිරීමෙන් ඵලදායීතාවය වඩා වැඩි බවත්, අනාගත ලෝකය රටවල් කේන්ද්‍ර කර ගන්නවාට වඩා නගර කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගෙන බවත්, කොළඹ නගරය ඒ සඳහා යොමුකළ යුතු බවයි. 1866 ඉංග‍්‍රීසින්ගේ කාලයේ දී කොළඹ නගරයේ ගොඩනැගූ ජලපද්ධතිය තවමත් පරිහරණය කරණ බවත්, තවත් කි.මි. 500 ක පමණ ජලනල අව්‍යශ්‍යතාවයක් අපට තිබෙන බවත් එය පුනරුත්ථාපනය කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේ ය. අද විශේෂයෙන් දුප්පත් පවුල් 30,000 කට පමණ ජලය 24 පැයම නොලැබෙන බවත්, කොළඹ නගරය ගොඩනගනවා නම් ඒ ජලය ලබාදීමේ ශක්තිය ජලසම්පත් මණ්ඩලය වෙත ලබාදිය යුතු ය. මලඅපවහන පද්ධතියත් ඒ අයුරින්ම පුනරුත්ථාපනය විය යුතුයි. කසළ කළමනාකරණය, ජලකලමණාකරණය වැසිකිළි කැසිකිලි පහසුකම් ගොඩනගන්නේ නැතිව කොළඹ නගරය ගොඩනැගීමට නොහැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

2018 – 2019 වන විට විශාල විදුලි ඉල්ලූමක් ඇතිවන බවත් ඒ සඳහා නිසි බලාගාර ඉදිකළ යුතු බවත් එසේ නොමැති වුවහොත් අර්බුදයන්ට මුහුණ දීමට සිදුවන බවද පැවසීය. රටේම සංවර්ධනය ගැන හිතන අතරේ වැඩි ඵලදායිතාවයක් තිබෙන, වැඩි ආයෝජන ශක්තියක් තිබෙන කොළඹ නගරය සහ අවට ප‍්‍රදේශවල ජලයට, විදුලියට, යටිතල පහසුකම් නැංවීමට, පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීමට, ජනතාවගේ ජීවන අවශ්‍යතා නැංවීම සඳහා විශේෂ වැඩසටහනක්, ශක්තියක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍යතුමාගේ ඉල්ලා සිටින බව ද අමාත්‍ය චම්පික රණවක පැවසීය.

උතුරු කොලඹට, මැද කොළඹට සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි මාධ්‍යවලින් සමන්විත ඉහළ ගනයේ ජාතික පාසලක අවශ්‍යතාවයක් පවතින බවත්, ඒ සියළු දේ මෙම ජනතාවට ලබාදිය හැකිනම්, තාරවත්ත, 90 වත්ත, 187 වත්ත ආදී වශයෙන් තමන්ගේ ලිපිනය කියන්න අකමැති ඒ ජනතාවට අභිමානවත්ව තමන්ගේ ලිපිනය පමණක් නෙමෙයි, තමන්ගේ ජීවිත ගොඩනගා ගැනීමේ හැකියාවත් ලැබෙනු ඇතැයි ද පැවසූහ. ජනාධිපතිතුමාගේත්, අග‍්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමුකර ලෝකයේ අනෙක් නගර සමග කරට කර සිටිය හැකි, ඉන්දියානු සාගරයේ ශක්තිමත්ම වාණිජ නාවුක මධ්‍යස්ථානය බවට කොළඹ නගරය පත්කිරීමට කටයුතු කරනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියහ.

scroll to top