20 සම්මත කිරීමට අදාලව පැෆ්රල් අධිකරණයට

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පැෆ්රල් සංවිධානය කටයුතු යොදා ඇත.

මූලික කරුණු 3 ක් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් පැෆ්රල් සංවිධානය මෙම පෙත්සම ගොනුකිරීමට කටයුතු යොදා ඇති අතර ඊයේ (28) එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

1. 20 වන සංශෝධනය හරහා පළාත් සභා මැතිවරණය පැවැත්වීම 2019 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කල්යාමට ඇති හැකියාව
2. මෙම කාලසීමාව ඇතුළත පළාත් සභාවක/සභාවන් කිහිපයක නිල කාලය අවසන් වුවහොත් ඒවායේ බලය පාර්ලිමේන්තුවට පවරාගැනීම
3. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ශක්තිමත් කල යුතු වටපිටාවක මැතිවරණ දිනය ප‍්‍රකාශයට පත්කිරීමේ බලය ස්වාධීන මැතිවරණ කොමිසමෙන් පාර්ලිමේන්තුවට පවරාගැනීම

20 වන සංශෝධනය හරහා ජනතාවගේ ඡුන්ද අයිතියට හා ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතියට සෘජු බලපෑමක් එල්ලවන බැවින් එය පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන් පමණක් සම්මත නොකොට ජනමත විචාරණයකට ලක්කල යුතු බවට අප තරයේ විශ්වාස කරන අතර එයට 1982 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට අදාලව පැවති ජනමත විචාරණය පූර්වාදර්ශ සපයනු ඇත.

ව්‍යවස්ථා සම්පාදනයට පාර්ලිමේන්තුවට /ව්‍යවස්ථාදායකයට ඇති අයිතියට ගරු කරමින් හා පිළිගනිමින් එහෙත් එම ක‍්‍රියාවලිය ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝනය නොවන ආකාරයට සිදුවිය යුතු යැයි අප තරයේ විශ්වාස කරන බැවින් මෙම පෙත්සම ගොනුකරනු ලැබීය.

scroll to top