1990 ජීවිත බේරාගැනීමේ මෙහෙයුම පළමු සංවත්සරය අභිමානයෙන් සමරයි

1990.jpg

රෝගීන් 32,000 කට වැඩි ප්‍රමාණයක් පූර්ව රෝහල් ප්‍රතිකාර ලබාදෙමින් රෝහල් වෙතට / ගිලන් රථ තුළ දරු උපත් 09 ක්

ජීවිත බේරා ගැනීමේ උදාර අරමුණ පෙරදැරිව ගාලු මුවදොර පිටියෙන් 1990 පළමු ගිලන් රථය ගමන් අරඹා වසරක් ගතවූ වගයි! මෙම සේවාව වත්මන් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව, ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ආශීර්වාදයෙන් ඉන්දියානු රජයෙන් පිරිනමන ලද පරිත්‍යාගයකින් ක්‍රියාත්මක වේ. මෙහි පළමු අදියර වශයෙන්, සෑම පුරවැසියන් 100,000 කටම එක් ගිලන් රථයක් යන අනුපාතයට බස්නාහිර හා දකුණු පළාත්වල  ගිලන් රථ 88ක් පැය විසිහතර පුරා මෙහෙයුමෙහි යොදවා ඇත. ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර ක්‍රියාත්මක වූ පළමු පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාව වන මෙය ශ්‍රී ලාංකිකයින්ට මේ වනවිට ඉමහත් සහනයක් වී ඇත. ආරම්භයේ සිට එල්ල වූ සියලුම අභියෝග අති සාර්ථක ලෙස ජය ගනිමින් වැඩි වැඩියෙන් ජනතාවට සෙත සලසමින් 1990 සුව සැරිය පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව මහත් ජනාදරයට පත් වෙමින් තිබීම සතුටට කරුණකි.

පළමු වසර තුළ අපගේ ඇමතුම් මධ්‍යස්ථානයට ඇමතුම් 322,000 කට අධික සංඛ්‍යාවක්  ලැබී ඇති අතර, විවිධාකාර හදිසි අවස්ථාවන්ට මුහුණ පෑ රෝගීන් 32,000 කට අධික සංඛ්‍යාවක් රෝහල වෙත ප්‍රවාහනය කර ඇත. මෙම පළමු වසරේ සේවා කාලයේදී අපගේ ගිලන් රථ තුළදී දරු උපත් 09 ක් සිදුවී ඇතිබව සඳහන් කිරීමද සතුටට කරුණකි.

මෙම සේවාව ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කිරීමට අදහස් කර තිබෙන අතර ඒ සඳහා සහයෝගය ලබාදෙන බව පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මෙම මුදල් ඉන්දියානු රජයෙන් ලැබෙන්නේ යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ලෙසිනි.

1990 ගිලන් රථ සේවාව මගින් දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන ලද රෝහල් ගත කිරීම් හා ප්‍රථමාධාර ලබාදීම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක සංඛ්‍යා ලේඛන පහත දැක්වේ.

දිස්ත්‍රික්ක රෝහල් ගත කිරීම්
ආරම්භක දිනයේ සිට
ගාල්ල 6489
හම්බන්තොට 1181
මාතර 3771
අනු එකතුව (දකුණු පළාත) 11441
කළුතර 5709
ගම්පහ 4613
කොළඹ 8919
අනු එකතුව (බස්නාහිර  පළාත) 19241
මුළු එකතුව 30682
අනතුරු වර්ගය ආරම්භක දිනයේ සිට
උදර කුහරයේ හදිසි අවස්ථා 5604
ආසාත්මිකතා 4627
ශරීරයේ කොටසක් වෙන් වීම් 3326
සත්ව සපා කෑම් 3318
අතවර සහ පහරදීම් 2537
හැසිරීම් සංකූලතා 1974
හෘදය ආශ්‍රිත  හදිසි අවස්ථා 1832
දියවැඩියාව  1436
කොදු ඇට පෙල ආශ්‍රිත අනතුරු 1353
රුධිර වහනය. 1272
වමනය 1069
උණ , ආසාදන 1044
ගිනි ගැනීම් , පිළිස්සීම් 815
රුධිර  පීඩනය ආශ්‍රිත  හදිසි අවස්ථා 750
කර්මාන්ත ආශ්‍රිත හදිසි අවස්ථා 609
සිය දිවි නසා ගැනීම් 547
හිසට සිදුවන අනතුරු 394
අපස්මාරය 375
පාචනය 271
විශවීම /අධි මාත්‍රා 178
ගර්භනී තත්ත්ව ආශ්‍රිත හදිසි අවස්ථා 136
ශ්වසන පද්ධතිය  ආශ්‍රිත  අපහසුතා 102
ආඝාතය 58
ගොඩනැගිලි බිදවැටීම 38
අනතුරු(වාහන ආශ්‍රිත නොවන) 35
අනතුරු(වාහන ආශ්‍රිත) 18
සිහි නැති තත්ත්ව 5
උදර කුහරයේ හදිසි අවස්ථා 33723

ආයතනයේ කළමනාකාරීත්වයේ නිවරැදි මග පෙන්වීම යටතේ 550ක් පමණ සේවක පිරිස හැකි උපරිම සේවාව ලබා දීමේ අරමුණින් සතියේ දින 7ම, පැය 24 පුරාම දිවා  රාත්‍රි නොකඩවා ක්‍රියාත්මකයි.

මෙම ජිවිත බේරාගැනීමේ ක්‍රියාන්විතයේ දෙවන අදියර වශයෙන් රට පුරා රැකියා 2000ක් උත්පාදනය කරමින් ගිලන් රථ 300ක් සමග නුදුරෙදීම ආරම්භ වීමට නියමිතයි.

දිවා රෑ නොබලා,වෙහෙස මහන්සිය නොබලා තරාතිරම,ජාතිය ,ආගම හෝ සමාජ මට්ටම් නොබලා අසරණ වූ සියලු දෙනාට පිහිට විමට ඇප කැප වී සිටින 1990 සුව සැරියේ මහගු සම්පතක් වන සේවක පිරිස නිරන්තරයෙන් ආයතනයේ කළමනාකාරිත්වයේ හා ජනතාවගේ ආදරයට පත්වේ

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණු අවස්ථාව , වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩ වැටි මිනිසුන් යට වූ අවස්ථාව හා මැයි මාසයේ මහා ගංවතුර අවස්තාව වැනි ජාතික ව්‍යසන වලදී තමන්ගේ සුව පහසුව ගැනවත් නොතකා ජිවිත බෙරාගනිමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වූ සහෝදර සේවක පිරිස ඉටු කල සේවාව ඉතා ප්‍රශංසනීය යි.

එමෙන්ම අප හා අත් වැල් බැදගත් පොලිස් දෙපාර්තුමේන්තුව හා විවධ අවස්ථාවන්හිදී අප හා එක්වූ සියලුම සේවාවන් ද අගය කල යුතු වේ.

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ සියලු ශ්‍රී ලංකා වාසීන්ට මෙම මහගු සේවාව ලබා ගත හැකි වන පරිදි හැකි ඉක්මනින් දිවයින පුරා ව්‍යාප්ත කිරීමයි.

scroll to top