1960-70න් පසුව රටේ පොදු ප‍්‍රවාහනය දියුණු කර නැහැ – ඇමති චම්පික

ප‍්‍රවාහන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරමින් පැවති විවාදයේදී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පවසා සිටියේ රටේ ආර්ථිකයේ ප‍්‍රමුඛතම මංසන්ධියක් බවට ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රය අද පත්වී ඇති බවයි. 1950 නිදහස ගත් විට මේ රෙටේ මෝටර් වාහන පැවතියේ 5000කි. අද රටේ වාහන ලක්‍ෂ 60ක් පවතී.

රටෙන් ලක්‍ෂ 40ක් දෛනිකව මහා මාර්ගය භාවිතා කරමින් ගමන් කරන අතර, ඉන් 70% ක් මෝටර්රථ හා ත‍්‍රී රෝද ආශ‍්‍රයෙන් ගමන් කරයි. කාර් සහ වෑන් ප‍්‍රමාණය සමස්ථයෙන් ලක්‍ෂ 10කට අඩුයි. කෙසේ වෙතත් 1977 කාල සීමාවෙන් පසු මෝටර් රථ හා ත‍්‍රීරෝද රථ සීඝ‍්‍රයෙන් වැඩිවී තිබේ. අද වන විට ඉන්ධන මිලදී ගැනීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 300ක් රජය වැය කරයි. මහාමාර්ග ක්‍ෂේත‍්‍රයට වාර්ෂිකව රජය සිදුකරන ප‍්‍රාග්ධන වියදම රුපියල් බිලියන 200 ඉක්මවයි. එමෙන්ම වාහන හා අංග උපාංග මිලදී ගැනීම සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 200ක් පමණ වසරකට වියදම් වේ. එක් දිනකට පවතින මාර්ග තදබද හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම රුපියල් බිලියනයකි. ඒ අනුව රටේ ආර්ථිකයෙන් ටි‍්‍රලියනයක් පමණ ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රය සඳහා වසරකට දැරීමට සිදුවේ. එය රටේ දල දේශීය නිෂ්පාදනයෙන් 10%කට වඩා වැඩි කොටසකි. ලෝකයේ දියුණු රටවල ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයට ආර්ථිකයෙන් දරණ බර 5%කට අඩුයි. එසේ බලන විට අප සිටින්නේ ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ ඉතාමත් භයානක අවධියකයි. මේ සඳහා විධිමත් සැළසුමක් සහ ක‍්‍රමෝපායක් කඩිනමින් ක‍්‍රියාත්මක නොකළහොත් තායිලන්තයේ බැංකොක් නගරය, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර, පිලිපීනයේ මැනිලා නගරය වැනි ප‍්‍රවාහනය හේතුවෙන් කඩා වැටුණු ආර්ථීකයක් ඇති රටක් බවට ශ‍්‍රී ලංකාව ද පත් විය හැකියි. මේ බියකරු චිත‍්‍රය 2020-23 කාලයේ අපටත් උරුමවීමේ අවධානමක් ඇති හෙයින් ඊට පෙර නිසි විසඳුම් ලබා දිය යුතුය.

රටේ ඉඩම්වලින් 10%ක් මහා මාර්ග ලෙස පවතී. පවතින දත්ත අනුව මහාමාර්ග ක්‍ෂේත‍්‍රයේ 5% වර්ධනයක් පෙන්නුම් කරයි. මෙයින් සනාථ වන්නේ අනාගතයේ දිනක රටේ ඉඩම්වලින් 20%ක් මහාමාර්ග බවට පත්වන බවයි. මෙය රටේ ජනාවාස අර්බුදය, සමාජ සංස්කෘතික අර්බුදය, තීව‍්‍ර කරන සළකුණක් මිස ආර්ථීක ප‍්‍රගතියට ලබා දෙන සුභවාදී චිත‍්‍රයක් නම් නොවේ. අද වන විට මගීන්ගෙන් 50%ක් භාවිත කරන්නේ පොදු ප‍්‍රවාහන සේවයයි. එහෙත්, රටේ බස් පවතින්නේ 25,000ක් පමණයි. එක බසයකින් එක්වරක යන මගී ප‍්‍රමාණය ත‍්‍රී රෝද රථ, මෝටර් වාහන භාවිතා කරන්නේ නම් අවම වශයෙන් ඒ සඳහා මෝටර් වාහන 100ක් 140ක් පමණ යොදා ගත යුතුව ඇත. එසේ නම් අප කළ යුතුව ඇත්තේ පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීමයි. දියුණු රටවල ප‍්‍රවාහනය දියුණු දැයි බලන නිර්ණායකය වන්නේ රටේ කී දෙනෙක් පොදු ප‍්‍රවාහනය භාවිතා කරනවාද යන්නයි.

අතීතයේ බි‍්‍රතාන්‍යයන් රටේ නියමු ව්‍යාපෘතියක් ලෙස රටේ දුම්රිය සේවය ස්ථාපිත කිරීමත් සමග ඉන් ඔබ්බට කිසිදු සංවර්ධනයක් සිදුවී නැහැ. බි‍්‍රතාන්‍යයන්ගෙන් පසු ප‍්‍රවාහනයට අපි හරියට අත තියලා නැහැ. අද නාගරික සංවර්ධන අධිකාරිය සහ අප අමාත්‍යාංශය එක්ව ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ ඉදිරි ගමනකට ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙනවා. ඒ අනුව, මාර්ග තදබදයට තුඩු දෙන කිසිදු ඉදි කිරීමකට මින් ඉදිරියට නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර නැහැ.

කඩුවෙල සිට බත්තරමුල්ල හරහා කොටුව දක්වා 2023 වන විට පැයකට මගීන් 30,000ක් ගෙන යා හැකි සැහැල්ලූ දුම්රිය සේවයක් අපි ස්ථාපිත කරනවා. එහි භෞතික ඉදිකිරීම් 2018 වසරේ අග භාගයේදී ආරම්භ කරන බව ඇමති චම්පික රණවක පවසයි. අපි බස් ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වා දුන්නා. ඊට සරිලන සුනම්‍ය කාර්යාල වේලාවන් ඇති කළා. පාසැල් ප‍්‍රවාහනයේ කාර්යක්‍ෂමතාව වෙනුවෙන් මේ වන විට වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මකයි. බොරැුල්ල සිට කොටුව දක්වා සීඝ‍්‍රගාමී සුඛෝපභෝගී බස් සේවයක් ලබන වසරේ ආරම්භ කරනවා. එමෙන්ම බත්තරමුල්ල සහ කොටුව ආශ‍්‍රයෙන් ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඉදි කෙරෙන අතර, 2018 ජනවාරි මාසයේ බහු කාර්යය ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් කොට්ටාවේ අරඹනවා. ඒ සියලූ කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා විදේශ උපදේශකයන් වෙනුවට අප විශ්වාසය තබා ඇත්තේ දේශීය උපදේශකයන් වීම විශේෂත්වයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

scroll to top