හෙළ උරුමයේ සහය මෛත්‍රීපාලට

දෙසැ 02, 2014 (විමසුම) – පතිරූප දේශයක් උදෙසා වන ජාතික ප්‍රතිඥාවට හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත අනුනාහිමියන් සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ප්‍රතිපත්තිමය යෝජනාවලියට අත්සන් තැබීම ඊයේ රාත්‍රියේ සිදු විය.

එම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන් හා පාඨලී චම්පික රණවක ඇතුළු නායකත්ව මණ්ඩලය සහභාගී විය.

තම පක්ෂයේ ස්ථාවරත්වය පැහැදිළි කරමින් අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රණවක මහතා ප්‍රකාශකර සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය හිමිවන්නේ ජාතික අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට බවයි.

සියළුම දේශපාලන පක්ෂ නියෝජනය කරන ජාතික සමඟිය ඇති කරන දේශපාලන ක්‍රමයක් ඇති කිරීම මෙහි අපේකෂාව බවත් එය පක්ෂ ආණ්ඩුවක් නොවන අතර ජාතික වශයෙන් සමඟි සම්පන්න යහපාලනය ක්‍රියාත්මක කරන ජාතික සමඟි සන්ධාන ආණ්ඩුවක් බවද රණවක මහතා පෙන්වා දුන්නේය.

පොදු අපේක්ෂක සිරිසේන මහතා බලයට පත්වූ දින සිට දින සියයක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීමටත් යහපාලනයක් ඇති කිරීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කිරීමටත් හැකිවන බව ඔහු සඳහන් කළේය.

මින් අනතුරුව ජාතික ප්‍රතිඥාව සවිබල ගන්වමින් එය රටතුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍ය කාලීන හා දිඟුකාලීන වැඩපිළිවෙළක් නිර්මාණය කරන බවද චම්පික රණවක මහතා පවසයි.

විධායක ජනාධිපති ක්‍රමයේ අනිසි බලතල සංශෝධනයකොට ජනාධිපතිවරයාට රිසි පුද්ගලයින් තානාපති සේවයේ, අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට ආදී නොයෙකුත් තනතුරුවලටත් අමාත්‍යාංශ තමා බාරයේ තබා ගැනීමටත් ඇති අනිසි බලතල ඉවත් කිරීමට කටයුතු කිරීමද මෙම ප්‍රතිපත්ති එකඟතාවට අනුව සිදුකෙරේ.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී රණවක මහතා පැවසූ තවත් අදහස් කිහිපයක් පහත දැක්වේ.

අද මෙරට නීතිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී තිඛෙන අතර අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳවද ගැටළු පැන නැඟී තිබේ. එමෙන්ම නීතිය අධිකරණය පිළිබඳව විශ්වසනීයත්වය බිඳ වැටී තිබේ.

නීතියේ හා අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකොට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටද මෙම නව ජාතික සමඟි සන්ධාන ආණ්ඩුව මඟින් කටයුතු කරන්නෙමු.

මැතිවරණ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට බලය ලබාදෙන කොමිසමක් පත්කොට දූෂණ හා වංචා මැඩලීමටද මෙමගින් කටයුතු කිරීමට සූදානම්ය.

තිස්වසරක කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම උදෙසා දිවි හිමියෙන් කටයුතු කළ කිසිවෙක් ජනාධිපතිවරයා වේවා ආරක්ෂක ලේකම්වරයා වේවා යුධ හමුදාපතිවරු වේවා කිසිදු ආරක්ෂක නිලධාරියෙකු වේවා යුධ අධිකරණයට ගෙනයාමට අප ඉඩ තබන්නේ නැත.

නව ආණ්ඩුව යටතේ එළඹෙන පළමු මහ මැතිවරණයේදී ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට ස්වාධීනව තම දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම උදෙසා මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව ඇත.

මෙය රනිල්ගේ චන්ද්‍රිකාගේ හෝ මෛත්‍රීපාලගේ ආණ්ඩුවක් නොවන අතර සෑම දෙනෙකුටම සමානත්වය හිමි සෑම දෙනාටම එක්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරෙන ජාතික ආණ්ඩුවකි.

අපගේ මෙම ක්‍රියාදාමය කිසිවෙකුගේ කුමන්ත්‍රණයක් හෝ බටහිර බලවේගවල ප්‍රතිඵලයක් නොවේ.

මෙය කාලීනව රටට අත්‍යාවශ්‍ය වී තිඛෙන කාර්යයකි. සියළු දෙනා එකතු කරමින් ජාතික ප්‍රතිපත්තියක් උදෙසා පොදු ජාතික සම්මුතියක් සහිත ජාතික නායකයෙක් බිහිකරන්නාවූ සද්කාර්යයකි.

02.12.2014 jhu 3

02.12.2014 jhu 2

02.12.2014 jhu 4

  • Mahinda

    ජය වේවා

  • Kamal

    ජය වේවා

  • Sirimal

    දැන් නම් ජය නියතයි

  • Sirimal

    දැන් නම් ජය නියතයි, මේ පාර නම් වැඩේ ලේසි වෙන එකක් නෑ

scroll to top