හස්තියා, භික්ෂුව හා නූතන සමාජ අභියෝග

Elephants.jpg

අද හස්තියා පිළිබඳව බෞද්ධ ගිහි හා පැවිදි ජන සමාජය අතර කිසියම් කතිකාවතක් ඇති වී තිබේ. එය ඇති වී තිබෙනුයේ හස්තීන් ළඟ තබා ගැනීම සම්බන්ධව භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම හා සිරගත කර තබා ගැනීම පිළිබඳවය. සත්ව අහිංසාව යටතේ මේ ආකාරයට නීත්‍යානූකූලව කටයුතු කළ යුතු බවට එක් සමාජ මතයක් වන අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලාහට මේ අයුරින් නීත්‍යානූකූලව කටයුතු කිරීම බෞද්ධ රටක් වන අපට නොගැලපෙන බවට තවත් සමාජ මතයක් ද වේ.අද මෙරට ක්‍රියාත්මක වනුයේ රෝම ලන්දේසි නීති ක්‍රමයයි. වෙනත් අයුරකින් කිවහොත් මෙරට නිදහස ලැබීමට ප්‍රථම මෙරට වාසයකළ පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය යුගවල දී මෙරටට හඳුන්වාදෙනු ලැබූ නීතියයි. ඇතැම් අය මෙය සුද්දාගේ නීතිය යනුවෙන් හැඳින්වීමට පවා පෙළඹී ඇත්තේ රෝම ලන්දේසි නීතිරීති ව්‍යවස්ථා මාලාවේ විද්‍යමාන විදේශික පදනම නිසාය. දෙවියන්වහන්සේ හැමවිටම නිවැරදි වන අතර උන්වහන්සේ මිනිසා ඇතුළු සමස්ත ජීව ප්‍රජාවම ව්‍යස්ථාවකට අනුව පාලනය කරන බව පදනම් කර ගනිමින් මෙම රෝම ලන්දේසි නීතිය බිහිව තිබේ.විනිසුරු මෙහි තීරකයා විනිශ්චය ලබා දෙන්නා වන අතර දෙවියන්වහන්සේගේ තීරණය පිළිගැනීමට සියලු දෙනාම අනිවාර්යෙන්ම බැඳි සිටිති.

එයට අභියෝගකිරීම හා දෙවියන්වහන්සේගේ තීරණ නොපිළිගැනීම දෙවියන් වහන්සේට අගෞරව කිරීමකි. රෝම ලන්දේසි නීතිරාමුවේ විනිසුරු තීරණ,ඒ බලපරාක්‍රමය මේ දෙවියන්ට සමාන අයුරින් ගොඩනැඟී තිබේ. එවිට දෙවියන්ට අභියෝගකළ තැනැත්තාට දඬුවම් විඳීමට සිදුවන බව පදනම්කර ගනිමින් මේ රෝම ලන්දේසි නීතිය සකස් කර ඇත. මෙහි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් නොමැති අතර විනිසුරු තීරණය හැමවිටකම එහෙමයි ස්වාමීනි(Yes My Lord) යනුවෙන් පිළිගැනීමට ඒ නීතිය පසිඳලන ස්ථානය වන උසාවියේ සෑමදෙනාම ගිවිසුමක් පරිදි බැඳී සිටිති.මෙහි කිසිදු නම්‍යශීලි බවක් නැත.නමුදු ප්‍රාතිමෝක්ෂ විනය ශික්ෂාවල අතිශය උසස් ප්‍රජාතන්ත්‍රවාදී නම්‍යශීලී බවක් තිබේ.සාමූහිකත්වයට සාධාරණත්වයට මූලික තැන පිරිනමා ඇත.බුදුරදුන්ගේ තීරණ වුවද අතිශය ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත පිළිගැනේ. එම තීරණවල වුවද අවස්ථානූකූලව මානුෂික සංශෝධන අවශ්‍ය තැන්වලදී ලැබී තිබේ. බුද්ධ වචනය වුව ද ස්වයං ප්‍රත්‍යවේක්ෂණ මත පදනම්ව පිළිගතයුතු බව ඒහි පස්සිකො යන්නෙන් දක්වා ඇත. බුද්ධ ආඥාව වූ විනය ශික්ෂාපද පවා භික්ෂු සංඝයා කැමැත්තේ නම් සමූහනය කිරීමට බුදුරදුන් නිදහස ලබාදී තිබේ. එයින් කියවෙනුයේ බුදුරදුන්ගේ පැණවීම්වුවද කාලීන අවශ්‍යතාව මත වෙනස් කොට සකස් කර ගැනීමට භික්ෂූන්හට බුදුරදුන් නිදහස ලබාදී ඇති බවයි.භික්ෂුවකගේ ආකල්ප, චර්යාව පිළිබඳව ප්‍රතිමාන සකස් කිරීමේ අධිකාරී බලය බුදුරදුන් විසින් භික්ෂූන්හටම යළිත් පවරාදීම තුළ භික්ෂුවගේ වටිනාකම පිළිබඳ සාමයික, සමාජීය, සංස්කෘතික ඇගැයුමක් ඇතිකරගත හැකිය.

භික්ෂුව යනු භික්ෂාව පිණිස ගෙපිලිවෙලින් පිණ්ඩපාත හැසිරෙමින් ජීවත්වන්නාය, බුදුරදුන් දේශනා කළ ධර්ම විනයට අනුව පැවිදි වත පුරන්නාය, විමුක්තිකාමී නිවන් අභිලාශී සාමූහිකව ජීවත්වන්නාය යනාදී අර්ථ ගණනාවක භාවිතාවන පුද්ගලාර්ථ පදයකි. පාංශුකූල චීවර, පිණ්ඩියාලෝප භෝජන, පූති මුත්තක භෙසජ්ජය හා වෘක්ෂමූල සේනාසන යන සිව් පසය භික්ෂුවකගේ මූලික අවශ්‍යතා වේ.භික්ෂු භික්ෂුණී උභය පාතිමොක්ෂ ශික්ෂාපද භික්ෂුවකගේ විනය වේ.අධි ශීල, අධි සමාධි හා අධි ප්‍රඥා භික්ෂු ප්‍රතිපදාවේ නිශ්ඨාව ලෙස එකල සැලකිනි.උපසම්පදා භික්ෂුව හික්මනු ලබන්නේ අධි ශිලයෙනි. එයද ආජීව පාරිශුද්ධි වශයෙන් චූල,මජ්ඣිම, මහා වශයෙන් ප්‍රභේද වේ. භික්ෂුව සාමාන්‍ය ගිහියෙකුට වඩා උසස් ශිලයකින්, ආජීව පාරිශුද්ධියකින් යුතුය. ලොව දැනට විද්‍යමාන ප්‍රධාන ආගම්වල පූජ්‍ය හා පූජක පක්ෂය අතර බඹසර විසීම;බ්‍රහ්මචර්ය ඇත්තේ බුදු දහමේ පමණකි.මෙහි බ්‍රහ්මචර්ය හුදු මෛථුන සේවන විරතියට පමණක් ලඝුකර සැලකීම සාවද්‍යය.අවිද්‍යාව හා තෘෂ්ණාව පදනම් කර ගන්නා රාග,ද්වේෂ හා මෝහ යන ප්‍රධාන සෘණාත්මක මානසික අභිප්‍රේරණ මඟින් හටගන්නා සෙසු සියලුම මානසික ඇලීම්, ගැටීම්වලින් වියුක්ත අර්හත් පැවැත්ම මෙහි ඉහත සඳහන් බ්‍රහ්මචර්ය නමින් හැඳින්වී තිබේ. එසේ නම් බෞද්ධ භික්ෂුවගේ නිෂ්ටාව,ප්‍රතිපත්තිය මෙලොව කිසිදු ආගමට සමකළ නොහැකි ඉතා උසස් මානසික පාරිශුද්ධි මට්ටමකින් යුතුය.එබඳු භික්ෂුවක් හික්මවිය හැක්කේ ඊට වඩා උසස් මානසික පාරිශුද්ධි මට්ටමක් හා චර්යාවක් ඇති උතුමෙකුට පමණි.සම්මා සම්බුදුරදුන් යනු එසේ භික්ෂුව හික්මවිය හැකි උතුමායි.එසේ නොවන්නකු කෙතරම් භෞතික ආධිපත්‍ය බලයකින් සමන්විත වුවද ඉහත සඳහන් උසස් ආධ්‍යාත්මික මට්ටමකින් ශික්ෂිතවන භික්ෂුව හික්මවීමට සුදුස්සෙකු නොවේ.

හස්තියා විවිධ නම්වලින් හැඳින්වේ. ඇතා යනු දළ සහිත හා අලියා එසේ දළ රහිත හස්තියා යනුවෙන්ද හැඳින්වේ. චුල්ල හත්ථිපදෝපම ස්‍රූත්‍රයේ බුදුරදුන් හස්ති වර්ග රැසක් පිළිබඳව දක්වන උපමාවක්ද ඇත. එනම් විශාලත්වයේ අනුපිළිවෙලට අනුව කුඩාම හස්ති වර්ගයේ සිට විශාල හස්ති වර්ගය දක්වා වාමනි, උච්චා කාළාරිකා, උච්චා කණෙරුකා, සද්දන්ත යන හස්ති වර්ග එහිදී දක්වා තිබේ. එසේම හස්තියා ධාර්මිකත්වයේ හා සෞභාග්‍යයේ සංකේතය ද වේ. අප රටතුළ බුදු දහම හා බැදුනු සංස්කෘතික වපසරියක් ඇත.ඒනිසා ආගමික ඉගැන්වීම් තුළ මෙන්ම පෙරහැර නම් සංස්කෘතික අංගය තුළද හස්තියා පිළිබඳ සඳහන්ය. නාලාගිරි දමනය මෙන්ම බුද්ධත්වයෙන් පසු එළඹි දස වන වස් කාලය ගත කිරීමට පාරිලෙය්‍ය වනයට වැඩි බුදුරදුන්හට පළතුරු ආදියෙන් සංග්‍රහ කල පාරිලෙය්‍ය ඇතා ගැනද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ය. මේ හේතු නිසා බෞද්ධයන්හට හස්තියා වඩාත් සමීප සත්වයකු ලෙස දැනෙයි.
අනුරාධපුර යුගයේ රජ කල මහසෙන් රජතුමාගේ පුතු වූ කිත්සිරි මෙවන් හෙවත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ රාජ්‍ය සමයේ (ක්‍රි.ව 301 – ක්‍රි.ව 308) දන්ත ධාතූන් වහන්සේ ලංකාවට සැපත් විය. එයට උපහාර පිණිස මුලින්ම දළදා පෙරහැරක් පැවැත්වීමේ ගෞරවයද මේ රජතුමාටම හිමි වෙයි. එතුමා විසින් සකස් කල ධාතු මන්දිරයක තැන්පත් කර තිබූ දන්ත ධාතූන් වහන්සේ අභයගිරිය විහාරය සතු ශාලාවකට වැඩම කරවා ජනතා ප්‍රදර්ශනයට තැබීමේ කාර්යය හා පෙරහැර සම්බන්ධ වී තිබුනි. අනාගතයේ පදවි ප්‍රාප්ත වන සියලු රජදරුවන්ගේ අවධානය පිණිස දළදා වහන්සේ උදෙසා කලයුතු වත් පිළිවෙත් මෙන්ම පෙරහැර පැවැත්වීම ගැනත් කිත්සිරි මෙවන් රජතුමා සෙල් ලිපියක් පවා කරවූ බවට ප්‍රකටය. ඒ පෙරහැරේ ආරම්භය පිළිබද අතීත කථාව වේ. මේ පෙරහැර කාර්යය ඉතා උත්කර්ෂවත් සේ පැවැත්වූ බවද ඒ සඳහා පුරාණයේ සිට විවිධ රජවරු හස්තීන් බොහෝ යොදා ගන්නාලද බවද සඳහන්ය. නූතනයේ මෙන් සුපිරි වාහන නොතිබූ එසමයෙහි රජුගේද වාහනය වූ හස්තියා ඒ සදහා යොදා ගන්නට ඇතැයි සිතිය හැක. ඒ තුලින් දළදා වහන්සේ කෙරේ තමන්ගේ උපරිම ගෞරවාදරය දැක්වීම රජුගේ අරමුණ වන්නට ඇත. එසේම අවට රැස් වී සිටින දහස් ගණනක් වන ජනතාවගේ දෘෂ්ඨියට පහසුවෙන් හසුවන සේ පෙරහැරේ උසම ස්ථානය වන හස්තියා පිට මත දළඳා කරඬුව තැන්පත් කර ඇත. පෙරහැර යනු අවිවාදයෙන්ම සංස්කෘතික මංගල්‍යයකි. ශ්‍රී ලාංකික සංස්කෘතියේ වැඩුනු කලාංග රැසක් පෙරහැරේ විද්‍යමානවීම එහි පැවැත්මට හා විකාශයටත් හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. එබඳු කලා මංගල්‍යයක් හැකි ඉතාම උසස් අයුරින් පැවැත්වීමට පෙරහැර ආරම්භක මුල් අවදියේ සිටම ලක්දිව රජකම් කළ පැරණි රජවරු උත්සාහ කර ඇත.මුල් කාලයේ රජවරුන් සතුව සිටි රාජකීය සැප විදි රාජකීය හස්තීන් මේ කාර්යය උදෙසා සම්බන්ධ වුවත් වර්තමානය වන විට ගිහි පුද්ගලයන් සතු හෝ මෙරට විහාරස්ථානවල ඇති කරන අලි ඇතුන් මේ සඳහා බහුලව භාවිතයට ගනු ලැබිණ.

පසු කාලීනව හස්තියාට විසිතුරු ඇදුමක් මෙන්ම ඒ ඇදුමට විදුලි බබුළු ද එක් විය. එම ඇඳුම ඇඳ ඉතා පෞඪ ලෙස පෙරහැරේ හස්තියා ගමන් කරනුයේ නිලමේ කෙනෙකුටත් වඩා තේජාන්විත තත්වයකිනි. සාමාන්‍යයෙන් පෙරහැර සඳහා යොදා ගන්නා හස්තීන්ගෙන් බරවැඩ කරවා ගනු නොලැබේ. මේ නිසා පෙරහැරට එක්වීමට භාග්‍ය ලැබීම හස්තියෙකු ලබන සම්පතකි. මන්ද වෙනත් හස්තීන් යොදවා කරන බරවැඩ සඳහා එම හස්තියා යොදා නොගන්නා බැවිනි. සෑම හස්තියෙකුම පෙරහැර සඳහා යොදා නොගනියි. ඒ සඳහා සුදුසුකම් ලබන්නේ පරපුරින්ම උසස් හස්ති කුලයක හස්තියෙකු පමණකි. වෙනත් අයුරකින් කිවහොත් රාජකීය හස්තියෙකි. එවිට එම රාජකීය හස්තියාට සලකනු ලබන්නේ රාජකීය ආකාරයකිනි.නිදසුනක් ලෙස ආරක්ෂක හමුදාවල හා පොලිසියේ සේවයට යොදවා ඇති සත්ව වර්ගවලට ලබා දෙන නිල තත්ව හා පහසුකම්වලට කිසිසේත් නොදෙවෙනි නොවන පහසුකම් හා නිල තත්වයක් පෙරහැරට යොදා ගන්නා මේ රාජකීය හස්තීන්හට හිමි වේ.

අතීතයේ මෙරට අධිරාජ්‍යවාදී යටත් විජිතයක්ව පැවති කාලවකවානුවතුළ දී දහස් ගණනක් අලි ඇතුන් විදේශිකයෝ ස්වකීය විනෝදය තකා ඝාතනය කළහ. කුඩා දරුවන් අහිංසක නිරායුධ සිවිල් වැසියන් දස දහස් ගණනක් ඝාතනය කළහ. මෙරට ස්ත්‍රීන් දූෂණය කළහ.එකල ඔවුන්ට මෙකල ඔවුන් කියන අයුරින් මානව හිමිකම් තිබුණේ නැත.සත්ව හො මනුෂ්‍ය අහිංසක ජීවිතයක වටිනාකම දැනුනේ නැත.යුරෝපය පුරා කුමන රටක වුවද අද විද්‍යමානවනුයේ දැඩි සංස්කෘතික,සමාජීය, සදාචාර පරිහානියක සලකුනුය.ඒ පරිහානයට පිළියම් කරනු වෙනුවට යුරෝපීයන් මෙරටට පොම්ප කරනුයේ මෙරට උසස් තත්වයේ ඇති එම සංස්කෘතික පසුබිම බිඳදැමෙන දැනුම,ආකල්ප හා චර්යාය.ස්ත්‍රීවාදය,සත්ව අවිහිංසාව, පරිසර සුරුකීම, වික්ටෝරියානු කුහකත්වය සහිත ස්ත්‍රිපුරුෂ ලිංගික අනන්‍යතාව පදනම්ව බටහිර අධ්‍යාපන පද්ධති ක්‍රියාත්මක මිෂනාරි පාසල්ක්‍රම, දේශීය භාෂා පාගාදමා ඉංග්‍රීසි හා සෙසු යුරෝපීය භාෂාවන්ට දේශීය අධ්‍යාපන පද්ධතිතුළ මුල්තැන ලබාදීම, ජාති, ආගම් වශයෙන් වර්ගීකරණය වූ දේශපාලන පක්ෂ ක්‍රම ආදී නව යටත්විජිතකරණ උපක්‍රම අද කළු සුද්දන්ගේ මාර්ගයෙන් මෙරට ව්‍යාප්ත කිරීමට රහසේ ඔවුහු පිඹුරුපත් අඳිති.මෙය පක්ෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කරවීම විදේශිකයන්ගේ මෙන්ම ඊට ගැතිකම් දක්වන කළු සුද්දන්ගේ ද ඔවුන්ගේ පැළැන්තියේද අභිප්‍රායයි.වරන් වර දේශපාලන නායකයන් මෙන්ම දේශපාලන පක්ෂවලට මෙරට හිමි පාලන බලය තමන්ට අභිමත ලෙස හුවමාරු කරවීමට පවා මේ නව යටත්විජිතකරණ ක්‍රියාදාමයට වර්තමානයේ මෙරට තුළ හිමිව ඇති අසීමිත බලය පුදුමසහගත ලෙස වර්ධනය වෙමින් පවතියි. හැකි විගස මේ තත්වය වටහාගෙන එය වහා වැළකීමට මෙරට සිංහල බෞද්ධ පැවිදි,ගිහි පිරිස්ද සෙසු දේශීය සාමයික ප්‍රජාවද උත්සුකවිය යුතුව තිබේ. මෙලෙස රටට එල්ලවී ඇති විජාතික බලපෑම අවම කරගැනීම ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන අවශ්‍යතා සඳහා වැදගත් බවද මෙහි දී දැක්විය යුතුව ඇත.ඉහත දක්වන ලද කරුණු කෙරෙහි සැලකිල්ල යොමුකර විදේශික බලවේග පරාජය කරවීම සඳහා ජාති,ආගම්,කුල,පක්ෂ ආදී භේදයකින් තොරව ක්‍රියාකළයුතු බවද සඳහන් කරමි.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top