හම්බන්තොට වරායේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක් – ඇමති අර්ජුන කියයි.

Arjuna-2.jpg

හම්බන්තොට වරායේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි. එතුමා මේබව කියා සිටියේ අද (01) දළදා සමිඳුන් වැද පුදා ගෙන අස්ගිරි – මල්වතු මහනායක හිමිවරුන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“වරාය අමාත්‍යවරයා‍ ලෙස සිටින විට හම්බන්තොට වරායේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමට මම පෞද්ගලිකව චීන සමාගමත් එක්ක සාකච්ඡා කළා. මම කිව්වේ කිසිම විදියකින් එක ළමයෙක්වත් ඉවත් කරන්න බැහැ කියලා. අද ඒ අමාත්‍යාංශය මට අයිති එකක් නෙමෙයි. නමුත් එදා සිටි‍ය ස්ථාවරයේ මම තාමත් ඉන්නවා. හම්බන්තොට වරායේ ළමයින්ගේ රැකියාවලට බලපෑමක් වුණොත්, මම ආණ්ඩුවේ හිටියත් ඒකට විරුද්ධව කටයුතු කරනවා….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී කියා සිටියේය.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ 54වැනි උපන්දින සැමරුම අදට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් එතුමා අද උදෑසනම දළදා සමිදුන් වැද ආශිර්වාදය ලබා ගත්තේය. ඉන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයාණන් ව‍හන්සේ බැහදැක උන්වහන්සේලාගේ ආශිර්වාදයද ලබා ගත්තේය. පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ සම්මුති ආණ්ඩුව දෙකඩ කිරීමට යම් අයෙක් උත්සාහ ගන්නේ නම් එය රටේ ජනතාවට එරෙහිව යන්නක් බවයි.

“පක්ෂවල නායකයින්ට ඕනම තීරණයක් ගන්න පුලුවන්. හැබැයි ඒ ගන්න තිරණ මේ රටේ ජනතාව දුන්න වරම විනාශ කරන් නැති එකක් විය යුතුයි. ඒකයි මගේ දැකිම. මේ රටේ ජනතාව මේ නායකයින් දෙදෙනාට බලයක් දුන්නේ එකට ගමනක් යන්න. ඉතිං එහි වෙනසක් කරනවා නම් ඒක ‍රටේ ජනතාවට කරන ලොකු ප්‍රහාරයක්. ඒ ගැන එතුමන්ලා තීරණයක් ගත යුතුයි. මම ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි දේශපාලනය උගන්වන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. නමුත් මේ රටේ මිනිසුන්ගේ අපේක්ෂාව වුණේ දෙදෙනාම එකට එක්ව රට පාලනය කිරීම. නැත්නම් රටේ මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් ජනවරම දෙන්න තිබුණා ‍ආණ්ඩුවක් හදන්න. නැත්නම් යූ. එන්. පී. එකට විතරක් දෙන්න තිබුණා. ඒ‍ දෙකටම දෙන්නේ නැතිව හිර කළේ දෙගොල්ලම එකට එක්ව ඉදිරියට යන්න කියලා. ඒක සෝභිත ස්වාමීන්වහන්සේත් අපත්වීමට ‍කලින් කිව්වා. ඉතිං මම හිතනවා එය අපි ඉදිරියට ගෙන යාතුයි කියලා. මොකද ඒ ක්‍රමයෙන් අපිට ගොඩාක් ප්‍රශ්න අද වන විට විසඳා ගන්න පුළුවන් වෙලා තියෙනවා” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. සම්පූර්ණ හඩපටය අමුණා ඇත.

scroll to top