‘‘සෞදියේ ප්‍රතිසංස්කරණයක් ද? මාලිඟා කුමන්ත්‍රණයක් ද?’’ -ඇමති චම්පික

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පල කළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, සෞදි ආරාබියේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? සෞදි අරාබිය ආර්ථික, සමාජීයීය ප්‍රතිසංස්කරණ මාවතකට පිවිසී තිබෙනවාද? නැත්නම් එහි අද මාලිගා කුමන්ත්‍රණයක් සිදුවනවාද? පසුගිය දිනවල සෞදි අරාබිය දෙසට ලෝක මාධ්‍ය අවධානය ඉතාම තදින් යොමු වුණා. එයට ප්‍රධාන හේතුවක් උනේ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරා බවට මොහොමඩ් බින් සල්මන් පත්වීමයි. ඔහු තිස් දෙහැවිරිදි තරුණ කුමාරයෙක්. සෞදි රජ පරම්පරාවේ වර්තමාන රජතුමාගේ දරුවෙක්. ඒ වගේම ඔහු එතනට පත්වීමට පෙර එහි ආරක්‍ෂක හමුදා බාරවත් කටයුතු කලා. ඒ වගේම ඔහුට මේ පදවිය ලැබුනේ ඔහුට වඩා වැඩිමල්, අත්දැකීම් සහිත රාජකීය පවුලට සම්බන්ධ විශාල පිරිසක් සිටින අවස්ථාවකයි.

දැන් සෞදියේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? පසුගිය කාලයේ ඔහු ඔටුන්න හිමි වීමත් සමගම බරපතල සිද්ධි ගණනාවකටම සෞදිය ගමන් කළා. විශේෂයෙන්ම ඔහු ආරක්‍ෂක ඇමති ධූරය දරන කාලයේ පටන්ම මේ සිද්ධි සිදු උනා. එයින් පළවෙනි හා වැදගත් සිද්ධිය උනේ ඔහු විසින් සුන්නි මුස්ලිම් රටවල දේශපාලන හා යුධ සන්ධානයක් ගොඩ නැගීමයි. ඊජිප්තුව, ඒ වගේම පකිස්ථානය, සෞදි අරාබිය සමග එකතු වෙලා තවත් රටවල් ගණනාවක් මෙයට සම්බන්ධ කරගෙන මේ සුන්නි යුද හා දේශපාලන සන්ධානය ගොඩනැගුවා. ඒ සුන්නි යුධ හා දේශපාලන සන්ධානය ගොඩනැගීමත් සමගම අරාබියේ යම් බලතුලනයේ වෙනසක් යුධමය වශයෙන් සිදු කරන්නට ඔහු යන බව තමයි එයින් පෙනුනේ.

ඊ ලඟට සිදු වූ වැදගත් කාරණය තමයි යේමනයේ ෂියා මුස්ලිම්වරුන්ගේ කැරලි කාර කණ්ඩායමක් වන හූතිවරුන්ට එරෙහිව යේමන් ආක්‍රමණයක් කිරීමට සෞදි අරාබිය කටයුතු කළා. ඒ සඳහා ඔවුන්ට තවත් විවිධ රටවල් ගණනාවක සහයෝගය ලැබුනා. එයත් එක්තරා ආකාරයකට ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක්. අද ලෝකයේ ඒ සම්බන්ධව විශාල අවධානයක් සිදුවී තිබෙනවා. එක පැත්තකින් සෞදිය යේමනයට ආහාර ගෙන ඒමට නොදී යේමනයේ වරායවල් කොටු කර තැබීම නිසා ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් හාමතින් ඒ වගේම විශාල ලෙඩ රෝග ගණනකට ගොදුරු වෙමින් විශාල මහජන අවදානයක් ඒ දෙසට යොමු වෙමින් තිබෙනාව. අනෙක් පැත්තෙන් යේමනයේ සිට පසුගියදා සෞදියේ රියාද් අගනගරයට බැලස්ටික් මිසයිල ප්‍රරහාරයක් එල්ල උනා. 99 න් රියාද් අගනගරය එයින් ගැලවී ගියේ. මේ සිද්ධිත් සමගම සෞදි ආරාබිය යේමනයට එල්ල කරන ගුවන් ප්‍රහාර වේගවත් කර තිබෙනවා.

ඊ ළඟට පසුගියදා තවත් විදේශ ප්‍රතිපත්තියකට අත පොවමින් සෞදි රාජ්‍ය ලෙබනනයට අත පෙවීමක් කළා. ලෙබනනයේ සුන්නි අගමැතිවරයා සෞදි අරාබියේ සංචාරයක නියැලී සිටින අවස්ථාවේ ඉරානය ලෙබනනයට අතගසනා බව ප්‍රකාශ කරමින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වුනා. දැන් ඔහු ප්‍රංශයට යාමට සූදානමින් සිටිනවා. ඒ වගේම සෞදි අරාබිය පසුගිය කාලයේ මිත්‍රත්වය පැවතිච්ච ඇමරිකා එක්සත් ජනපදය සමග තවත් යුධ මිත්‍රත්වය දිගු කර ගැනීමක් සිදු කර ගත්තා. ඩොලර් බිලියන 60 කට අධික නවීන අවි ආයුධ මිලදී ගැනීමකට යොමු වුණා. ඒ හා සමගම චීනය හා රුසියාව සමග ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමටත් ඔවුන් යොමු උනා. ඒ වගේම මේ අවස්ථාවේදී වැදගත්ම මාතෘකාව බවට පත්ව තිබෙන්නේ සෞදි අරාබියේ ඉතාම ධනවත් කුමාරවරු පිරිසක් සහ නිලධාරීන් පිරිසක් සෞදි ඔටුන්න හිමි කුමාරාගේ අනින් හිරබාරයට ගැනීමයි. ඔවුන්ට එරෙහිව දූෂණ චෝදනා නැගී තිබෙනවා. එක්තරා ඇමරිකානු විචාරකයෙක් පැවසූවේ ඇමරිකා එක්සත් ජනපදය බිල්ගේට්ස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා නම් එයට සමාන සිද්ධියක් සෞදි ආරාබියේ, ලෝකය පුරාම විශාල වශයෙන් ආයෝජනය කර ඇති ව්‍යාපාරික රජ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමෙන් සිදු වූ බවයි. ඒ වගේම ආරක්‍ෂක අංශවලට සම්බන්ධ නිලධාරීන් කිහිප දෙනෙක් ද අත් අඩංගුවට ගත්තා. ඔවුන් සියළු දෙනාම සෞදි අරාබියේ රියාද් නගරයේ තිබෙන රිට්ස් කාල්ටන් හෝටලයේ රඳවාගෙන තිබෙනවා. එය හිරගෙයක් බවට පත් වුණා. දැන් ඔවුන්ට එරෙහිව ඩොලර් බිලියන 800 ක පමණ විශාල ධනයක් රටින් පිටත ගෙනයාම සම්බන්ධව චෝදනා එල්ල වී තිබෙනවා. ඔවුන් සියළු දෙනාමට රිට්ස් කාල්ටන් හෝටලයේ අඩස්සියෙන් ගැලවීමට නම් රටින් පිට කළ ඔවුන්ගේ ධනය වහාම සෞදි අරාබියට ලබාදෙන ලෙස ඔටුන්න හිමි කුමරා ඔවුන්ට නියෝග කර තිබෙනවා.

ඒ වගේම මේ කාලවකවානුවේ ඔටුන්න හිමි කුමරා ගත් වැදගත් ක්‍රියාදාමයක් තමයි එහි සමාජ ප්‍රරතිසංස්කරණයකට ඉඩකඩ සලසා දෙමින් කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීම ඉඩකඩ ලබාදීම ඉතාමත්ම වැදගත් ප්‍රරතිපත්තියක් හැටියට සමාජමය වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා. ඒ වගේම ඔහු විසින් ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ලිබරල් කරණය කිරීමටත්, විදේශ ආයෝජන තමන් බලාපොරොත්තුවන බවටත් ප්‍රකාශ කරමින් විදේශ ආයෝජකයින් සඳහා විශේෂ ආයෝජන කලාප සහ විශේෂ ආයෝජන දූපත් ගණනාවකට ආයෝජනය කිරීමට යනවා. මාලදිවයිනේ, ඊජිප්තුවේ වගේම සෞදිඅරාබියට අයිති අවට රටවල් ගණනාවක ඔවුන් දැවැන්ත ආයෝජනයකට සූදානම්වන බව පෙනී යනවා. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ කුමක්ද? සෞදි අරාබිය කිසියම් ආකාරයකට ප්‍රතිසංස්කරණ මාවතකට පිවිසී තිබෙනවාද? නැත්නම් සෞදි අරාබිය රජපවුල ඇතුලත කරන බල අරගලයක් හේතුවෙන් මාලිගා කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතිනවාද යන්නයි.

සෞදි අරාබිය ගැන තතුදත් පිරිස පවසන්නේ සෞදි අරාබිය පවතින්නේ ප්‍රධාන බලකේන්ද්‍ර තුනක එකමුතුවෙන් බවයි. එක් බලකෙන්ද්‍රයක් වන්නේ සෞදි රජ පවුලයි. එහි සමගිය ඒකාග්‍රතාවය, එකමුතු භාවය 30,000 ක් පමණ වන රජපවුලේ ඥාති පරපුර එකට සිටගැනීම විසින් සෞදියට ලොකු පාලක පන්තියක් ලැබී තිබෙනවා. දෙවැනි වැදගත් කාරණය වන්නේ සෞදි අරාබිය වහාබ් ඉස්ලාමීය මූලධර්මවාදයේ ප්‍රධාන රට වීමයි. එකපැත්තකින් සුන්නිවරුන්ගේ ප්‍රධාන රට වගේම වහාබ් මූලධර්මවාදයේ ප්‍රධාන රට. ඒ සඳහා විශාල මූලධර්මවාදී විශ්ව විද්‍යාල ගණනාවක් පවතින අතර රාජ්‍ය නොවන සංවිධානත් ගණනාවක් හරහා ලෝකය පුරා ඒ ව්‍යාප්තවාදී කටයුත්ත ඔවුන් කරගෙන යනවා. ඒ නිසා ඒ මූලධර්මවාදී පූජකවරුන් සමග රාජ්‍ය දක්වන සබඳතාවය සෞදි අරාබියට ඉතාම තීරණාත්මකයි.

ඒ වගේම උපතේ සිට මරණය දක්වා සෞදි අරාබියේ ජනතාවට ලබා දී තිබෙන විශාල සුභ සාධන ක්‍රියාවලිය, සමහරු මෙය විවේචනය කරනවා සෞදියේ විශාල ධනයෙන් විශාල ප්‍රමාණයක් රජපවුලට ගියාට සාමාන්‍ය ජනයාට කිසිවක් නොලැබෙන බව. නමුත් සාමාන්‍ය ජනතාව සඳහා විශාල සුභ සාධන රාජ්‍යක් නිර්මාණය කර තිබෙනවා. පසුගිය කාලෙය් අරාබි වසන්තය විසින් මෙවැනි සුභ සාධන රාජ්‍යයන් ගෙන ගිය, ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ මුවම්ම්ර් අල් ගඩාෆි වැනි අය පෙරලා දැමුවත් එවැනි අරාබි වසන්තයක් සෞදිය හරහා නම් හැමුවේ නැහැ. එයට ප්‍රධාන හේතුව රජපවුලත් ඒ වගේම ඉස්ලාමීය ආගමික ප්‍රජාවත් ඒ වගේම මේ සුභ සාධන රාජ්‍යයත් කියන මේ ත්‍රිත්වය එකට ශක්තිමත්ව පැවතීමයි. දැන් මෙය දෙදරුම් කමින් තිබෙනවා ද?. කිසියම් ආකාරයකට සෞදි රජපවුලට සම්බන්ධ පිරිස් අත් අඩංගුවට ගැනීම, ධනවත්ම පිරිස් අත්අඩංගුවට ගැනීමට යොමු වීම විසින් සෞදි රජපවුලේ සමගියට කිසියම් ආකාරයක දෙදරුම් කෑමක් ඇතිවී තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඒ වගේම ඔටුන්න හිමි කුමරාගේ කාන්තාවන් ඇතුළු යම් යම් පිරිස්වලට සමාජ අයිතීන් ලබාදීමට ක්‍රියා කිරීම, එහි පැරණි සම්ප්‍රදායික, වාහාබ්වාදී පූජකයින්ගේ උදහසට ලක් වී තිබෙනවා. ඒ වගේම උගත් සෞදි තරුණ තරුණියන් අතර නිදහස පිළිබඳ අලූත් අදහස් පහළ වී තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවට වැඩි වැඩියෙන් ලැබිය යුතුයි කියන අදහස් ඇතිවී තිබෙනවා.

සෞදි අරාබිය ඓතිහාසික රාජ්‍යයක් නෙමෙයි. සෞදිය බිහි කළේ අල් සාවුඩ් විසින් අල් සාවුඩ්ට මේ සඳහා විශාල ශක්තියක් උනා වහාබ් වාදය. විශේෂයෙන්ම මහම්මද් තුමාගේ වැදගත්ම භූමිකාවන් දෙකවන මක්කම හා මදීනා එකට එකතු කර රාජ්‍යයක් බිහි කිරීමට විශේෂයෙන්ම 20 වන සියවසේ මුල් භාගයේ දී සමත්වීම සාවුද්ගේ විශාල ජයග්‍රහණයක්. ඒ වගේම එක්දහස් නමසිය තිස් ගණන්වල අගභාගයේදී තෙල් නිධි මේ ප්‍රරදේශයේ හමුවීමත් ඒ තෙල් නිධි කැණීම සඳහා එංගලන්තය වෙනුවට සාවුද් රජතුමා විසින් තෝරා ගත්තේ ඇමරිකා එක්සත් ජනපදය. මොකද ඒ අවස්ථාවේ දී එංගලන්තය තමන්ගේ යටත් විජිත සූරාකෑමට පෙළඹිච්ච අධිරාජ්‍යවාදී පාලකයෙක් හැටියටයි සෞදි අරාබිය දැක්කේ. ඒ නිසා ඔවුන් ඒ අවස්ථාවේදී ඇමරිකා එක්සත් ජනපදයේ පැත්ත ගත්තා. අනෙක් පැත්තෙන් බ්රිතාන්‍යයට තුර්කියේ අභියෝගය ජයගැනීම සඳහා සෞදි වහාබ්වාදීන්ගේ සහයෝගයත් අවශ්‍ය උනා. ඒ වගේම සෞදි අරාබිය එක්තරා කාලයකදී හොඳ සබඳතාවයක් සෝවියට් සංගමය සමගත් ගෙන ගියා. නමුත් පසුව ඇති වූ තෙල් හා ගෑස් තරඟයේදී රුසියාව හා සෞදි අරාබිය අතර ප්‍රධාන තෙල් සංචිත සහ ගෑස් සංචිත සමග ඇති වූ අරගලය නිසා මේ රටවල් දෙක අතර දරුණු දේශපාලන සටනක් ඇති වුණා. මේ නිසා සෞදි ආරාබිය කෙලින්ම ඇමරිකා එක්සත් ජනපදයත් සමග සිට ගත්තා. ඊශ්‍රායලයට ඇමරිකා එක්සත් ජනපදය දිගමට උදව් කරද්දිත් ඇමරිකා එක්සත් ජනපදය සමග විටින් විට ගැටෙමින් වුවත් එක්සත් ජනපදය සමග යුද දේශපාලනික සබඳතා ඒ වගේම ඇරන්කෝ නමැති ඒ විශාල තෙල් සමාගම පවත්වා ගනිමන් තෙල් සංචිත පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඒකසත් ජනපදය විශාල ශක්තියක් සෞදි අරාබිය ලබා දුන්නා. මේ නිසා විවිධ ඉස්ලාමීය කණ්ඩායම් විටින් විට සෞදි අරාබිය දරුණු විවේචනයන්ට ලක් කළා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයේ පැත්ත ගැනීම ගැන.

දැන් සෞදි රජකුමරා ඉදිරියේ තිබෙන අභියෝග මොනවාද? පළමුවෙන්ම ඔහු ඉතා වැදගත් කරුණක් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ තමයි තෙල් ගෑස් වසන්තය නිම වෙමින් පවතින බව. බොහෝ දෙනෙක් අපේක්‍ෂා කළේ 2015 දී විශේෂයෙන්ම තෙල්වල උපරිම අවස්ථාවට ලෝකය පත්වෙයි කියලා. අපි ඒකට කියන්නේ Oil Peak එක. ඊ ළඟට තෙල් හා ගෑස් අපේ ආර්ථික ක්‍රියාවලියෙන් ඉවත් වෙයි කියලා. විශේෂයෙන්ම තෙල් සංචිතවල හිඟ භාවය හේතුවෙන් මෙය ආරම්භවෙයි කියලා කලින් තීරණය කර තිබුණත් එය වේගවත් වී තිබෙන්නේ විදුලි කාර් සීග්‍රයෙන් වෙළඳපලට ඇතුළු වීම නිසා. මේ නිසා තෙල් පිළිබඳව තිබූ වැදගත් තත්වය අහෝසිවීමට එක හේතුවක් උනා එය. ඒ වගේම 2012 වසරේ සිට බැරැක් ඔබාමා විසින් ෂේල් සම්පත උකහා ගැනීමට කටයුතු කිරීම නිසා විශාල ගෑස් ප්‍රමාණයක් අලූතින් නිර්මාණය කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් උනා. මේ හා සමගම සෞදිය හා රුසියාවට විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු උනා. අද තෙල් මිල ඉතා අවම මට්ටමකට ඇද වැටීමට ප්‍රධානම හේතුවක් උනේ මේ සාධක දෙක විසින්. ඒ නිසා සෞදි අරාබියට දැන් තෙල්වලින් තොර ආර්ථිකයක් ගැන සිතීමට කාලය ඇවිල්ලා. දැනටමත් ඔවුන් අයවැය හිඟයකින් යුතුව රට පාලනය කරන රටක්. ඒ වගේම ලෝක බැංකුව, මූල්‍යය අරමුදල වැනි ආයතනවල සහය පතන තත්වයට අයවැය හිඟය පියවා ගැනීමට පත්වී තිබෙන රටක්. ඒ නිසා සෞදි රජකුමරාට තිබෙන්නේ, ඔහුගේ වයස දැන් අවුරුදු 33 යි. තවද දශක තුනක් ඉදිරියට ඔහු සිටිය යුතුයි. ඒ නිසා ඔහුට කරන්න තිබෙන්නේ වහාම ආර්ථික ප්‍රතිසංස්කරණයකට යා යුතු බව. විශේෂයෙන්ම ඔහුගේ ආර්ථිකය විවිධාංගී කළ යුතු බවත්, තෙල් හා ගෑස්වලින් තොර ශක්තිමත් ආර්ථිකයක් සෞදියේ ගොඩ නැගිය යුතු බව. ඒ සඳහා විදේශ ආයෝජන අවශ්‍ය බව, විශේෂයෙන්ම තමන් අවට කලාපයේ තිබෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය වැනි රාජ්‍යයන් විසින් පෙන්වා දී ඇති මාර්ගයේ ගමන් කළ යුතු බව ඔහුට පෙනී ගොස් තිබෙනවා.

දෙවෙනි කාරණය ඉරාණය නැගීම, විශේෂයෙන්ම සිරියාවට එරෙහි යුද්ධය හරහා ඉරානය බලගතු යුධ දේශපාලනික ශක්තියක් බවට පත් උනා. ලෙබනනයේ හිස්බුල්ලාවරු 2006 දී ඊශ්‍රායලයට අභියෝග කළාටත් වඩා ඉතාමත් දක්ෂ සහ සූර ලෙස සටන් කරමින් අයිසීස්වරු පරාජය කිරීමේ පුරෝගාමී මෙහෙය ඉටු කළා. මේ හා සමගම මුළු අරාබිය පුරාම ඉරාකය, ඉරානය, සිරියාව වැනි රටවල පමණක් නෙමෙයි යේමනය වැනි රටවල පවා ෂියා මුස්ලිම්වරු සහ ඉරානයේ බලාධිපත්‍යය ව්‍යප්ත වෙමින් තිබෙන බව ඔවුන්ට පෙනී ගොස් තිබෙනවා. ඒ නිසා ඊශ්‍රායලයට කලින් ඉරානයේ නැගීම පාලනය කිරීමට අවශ්‍යයි. ඒ වගේම වෙළඳ රාජ්‍යයක් ලෙස කටාරය නැගීම ඔවුන්ට පාලනය කිරීමට අවශ්‍යයයි. මේ නිසා තමයි කටාරයට සම්බාධක පැනවීමට, අල් ජසීරා නාලිකා වැනි ඒවා තහනම් කිරීම සෞදි අරාබිය ක්‍රියා කළේ. ඔහු ඉදිරියේ තිබෙන අනෙක් ගැටලූව නම් සම්ප්‍රදායික ආගමික කණ්ඩාම්වලින් ඔවුන්ට එල්ලවන පීඩනය. විශේෂයෙන්ම තරුණයෙක් වන ඔහුට වැඩිහිටි පරම්පරාවෙන් එල්ල වනපීඩනය. එක පැත්තකින් රජපවුලේත්, අනෙක් පැත්තෙන් ආගමික මූලධර්මවාදී පිරිස්වලින්. ඉතින් ඔහු ඒ සඳහා මේ දූෂණයට එරෙහි ක්‍රියාවලිය යොදා ගත්තා. ලෝකය පුරාම මේ දූෂණයට එරෙහි ක්‍රියාවලිය සමහරු යොදා ගන්නවා දේශපාලන අවියක් විදිහට. විශේෂයෙන්ම මෙහිදී ව්ලැඩීමර් පුටින් තමන්ට අභියෝගයක් වූ රුසියාවේ ඔලිගාච්වරු පරාජය කිරීමට යොදා ගත්තා. ඒ වගේ තමන් දේශපාලන වශයෙන් ශක්තිමත් වීමට කිසියම් ආකාරයකට ඔහු රජපවුලට සහ ආගමික සංස්ථාවලට අභියෝගයක් එල්ල කර තිබෙනවා.

අනෙක් පැත්තෙන් ඔහු වැදගත් සත්‍යයකට මුහුණ දී තිබෙනවා. ඒ තමයි ඔහු ඔවුන්ගේ සම්ප්‍රදායික මිතුරා වූ ඇමරිකා එක්සත් ජනපදය බැසයන හිරු බවට පත්වීම. ඒ වගේම ඔවුන්ට සම්ප්‍රදායික ලෙස උදව් කරපු බ්‍රිතාන්‍යය, ප්‍රංශය වැනි යුරෝපා රටවල් දරුණු ආර්ථික අර්බුදයකට හසුවෙමින් තිබීම. ඊට සාපේක්‍ෂව චීනය ලෝකයේ බලවත්ම ආර්ථිකය බවට පත්වීමත්, ඒ වගේම රතු මුහුදේ චීන ක්‍රියා කාරීත්වය ඉතා වේගයෙන් සිදුවීමත්, ඒ වගේම උතුරු අප්‍රිකානු රටවල් චීන ආයෝජන හරහා ඉතා බලගතු රටවල් බවට පරිවර්තනයවීමත්, චීනය ඊජිප්තුව වැනි රටවල් වලට පමණක් නෙමෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු බොහෝ රටවල්වල ආයෝජන මුදා හැරීමත්. විශේෂයෙන්ම චීනයේ එක මගක් – එක තීරයක් වැඩපිළිවෙල යටතේ යුරෝපය චීනයට යා කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන සංදිස්ථානයක් හැටියට මේ තෙල් කලාපය පත් වී තිබෙනවා.

ඒ වගේම රුසියාව කලාපයේ යුධමය ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රධාන සාධකය බවට පත්වී තිබෙනවා. ඒ වගේම යේමනයේ යුද්ධයෙන් සෞදි අරාබිය සැලකිය යුතු යුද්ධයක යුධ මඩගොහොරුවක එරී තිබෙනවා. ලෙබනනයත් ඔවුන් යුද්ධයකට ගියොත් ඔවුන්ට තවත් ප්‍රශ්නවලට මුහුණදීමට නියමිතයි. මේ සියල්ලම සඳහා මැදහත් විදේශ ප්‍රතිපත්තියක් දැන් සෞදි අරාබිය ඉල්ලා සිටිනවා. රුසියාව සඳහා හොඳ සබඳතා ඇති කර ගන්න. ඒ හරහා ඉරාණය පාලනය කරන්න. ඒ වගේම චීනය සමග හොඳ සබඳතා ඇති කරගෙන ආර්ථිකමය වශයෙන් ඵල ප්‍රයෝජන ලබන්න ඔවුන්ට අවශ්‍යයි. ඒ වගේම ඉන්දියානු සාගරයට මෙන්ම පැසිපික් කලාපය දෙසටත් ආයෝජන සඳහා ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍යයි. එහෙයින් මේ පියවර ගැනීම බින් සල්මාන් රජකුමරු ක්‍රියාකළා විය හැකියි. කෙසේ වෙතත් ඉතිහාසය පෙන්වා දෙන්නේ සෞදි අරාබිය වෙනස්වීම්වලට එච්චර කැමති වූ රටක් නොවන බවයි. ඉතා සෙමින් වෙනස් වූ රටක් බවයි. විප්ලව කිසිවක් සිදු නොවූ රටක් බවයි. සෞදි අරාබියේ සිදුවන දේ මාළිඟා කුමන්ත්‍රණයකින් කෙළවර වෙයිද? නැතිනම් එය විවෘත වැදගත් ඉස්ලාමීය රටක් බවට පරිවර්ථනය වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාවතකට පිවිසේවිද?, යැයි පැවසීය.

scroll to top