සේඛ හා අසේඛ ආර්ය උතුමන් පිරිහෙන්නේ ද?

සේඛ යන්නෙන් හැඳින්වෙන්නේ හික්මීමයි. එවිට සේඛ පුද්ගලයා යනු හික්මෙන්නා වූ පුද්ගලයා අදහස් කෙරේ. අසේඛ බව නම් හික්මවීමේ ක්‍රියාවළිය අවසන් කළ යනුයි. මේ අනුව අසේඛ නමින් හැඳින්වෙන්නේ අර්හත් ඵලය සාක්ෂාත් කළ උතුමාය. සමථ විදර්ශනා ධර්මයන් වඩමින් සිතෙහි දියුණුව වර්ධනය කරන්නා වූ උතුමා සේඛ ගණයට ගැනේ. අධිශීල, අධි චිත්ත හා අධි ප්‍රඥා වශයෙන් ත්‍රිවිධ ශික්ෂා පරිපූර්ණ කරමින් එයින් හික්මීම ඇති කරගන්නා වූ සොතාපත්ති මාර්ගස්ථ උතුමාගේ සිට අර්හත් මාර්ගස්ථ උතුමා දක්වා වූ සප්තවිධ ආය්‍යර්‍               පුද්ගලයන් සේඛ යන කොටසට අන්තර්ගත වේ. අර්හත් ඵලස්ථ උතුමා අසේඛ නමි. මාර්ගය හා එක්ව යෙදී මාර්ග ක්ෂණයෙහිත්, ඵලය හා එක්ව යෙදී ඵල ක්ෂණයෙහිත් හික්මවන ස්වභාවය ප්‍රකට කරවන විශේෂිත සාරධර්ම මෙම සේඛ උතුමන් ස්වකීය ආධ්‍යාත්මය තුළ ගොඩනගා ගෙන ඇත. සේඛ හා අසේඛ උතුමන් උපදවා ගනු ලැබූ මාර්ගඵල තත්වයන් මතු මත්තෙහි නොපිරිහෙන ඒවා ලෙස සඳහන් වේ. එසේ වන්නේ මාර්ගඵල වනාහී ලෝකොත්තර සමාපත්ති වන හෙයිනි. මාර්ගඵල වලට අරමුණු වන්නේ නිවණය. නිවණ වනාහී හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත්තක් නොවේ. එබැවින් අනිත්‍ය දුක්ඛාදියට ගොචර නොවේ. ත්‍රිලක්ෂණයන්ට ගෝචර වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගනු ලැබූ දේය.

එසේ වුවත් සේඛ හා අසේඛ උතුමන් ස්වකීය අධ්‍යාත්මික කුසීත ස්වභාවය හේතුවෙන් සසර ප්‍රමාද බවකට පත් වන්නේ ද? එසේ නැතහොත් තමන් විසින් උපදවා ගනු ලැබූ මාර්ගඵලය අනුක්‍රමයෙන් ක්ෂයවීමකට බඳුන් වන්නේ ද? ස්ථවිර වාදී කොටසට පරිබාහිර අන්‍ය නිකායාන්තරිකයින් විසින් මෙවැනි මතවාදයන් ද දරණ ලද අතර එවන් ඇතැම් මතවාද විභජ්ජවාදය නමින් හැඳින්වූ ථෙරවාදී සම්ප්‍රදාය හෙවත් පාලි භාෂ‍ාව මාධ්‍ය කරගත් පිරිසිදු බුද්ධ වචනය සුරැකි පිරිස විසින් ප්‍රතික්ෂේප කරන ලද ආකාරය නිකාය සංග්‍රහය වැනි ශාසන ඉතිහාස ග්‍රන්ථ මඟින් පැහැදිලිවම පෙන්නුම් කර තිබේ.

කෙසේ වුවුත් සේඛ උතුමන් පිරිහීමට හේතු වන කරුණු රාශියක් අංගුත්තර නිකායේ 39 හා 40 පථම සේඛ භික්ඛු සූත්‍රවල දක්වා තිබේ. පාලි ත්‍රිපිටක මූලාශ්‍රවල ද මෙවැනි කරුණු අන්තර්ගතව තිබීම අනුව පෙනී යන්නේ සේඛ තත්වය පිරීමට පත් වන්නේ යැයි සඳහන් නිකායාන්තරික මතවාද ප්‍රභව වීමට මෙවැනි මූලාශ්‍ර මඟින් ඉදිරිපත් කරන ලද ධර්ම කරුණු අර්ථ වරදවා හෝ ස්වකීය ලාභ ප්‍රයෝජන තකා වරදවා භාවිතා කිරීම හේතුවක් වී ඇති බවයි.

  1. නව කර්මාන්තවල ඇලුණු බව. ( අ.නි.3, 39.පධම සේඛ භික්ඛු සුත්ත)
  2. කථා බස් කිරීමෙහි ඇලුණ බව.
  3. නිදා ගැනීමෙහි ඇලුණු බව
  4. සමූහයා සමඟ එක්වීමෙහි ඇලුණු බව.
  5. උපදවාගත් මාර්ගඵල සිත ( කෙලෙස්වලින් මිදුනු සිත) ප්‍රත්‍යවේක්ෂා නොකිරීම.

එහි දී විහාරාරාම, චෛත්‍ය, සේනාසන හා අභිනවයෙන් ආරාමික ඉදිකිරීම් කටයුතුවල දිගින් දිගටම නිමග්න වී ඒවායෙහි ඇලී ගැලී කටයුතු කිරීම නිසා ද, විහාරාරාමයන්හි භික්ෂූන් වහන්සේලා සමඟ භික්ෂු දිවියට ඵලදායක නොවන නොයෙක් බාහිර ලෞකික දේ පිළිබඳව දිගින් දිගටම කතාබහ කිරීම, සාකච්ඡා කිරීම හා දේශනා පැවැත්වීම නිසා ද, බුදුරදුන් විසින් පැවිදි දිවියෙහි අපේක්ෂාවන් ඉටුකර ගැනීමට අහිතකර නොවන ලෙස සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමකට විවේක ගැනීමට නියමකොට ඇති කාලසීමාවට වඩා වාඩි කාල සීමාවක් විවේකයෙහි ඇලී ගැලී විසීම හා මූලික භික්ෂු පරමාර්ථ සපුරා ගැනීමට බාධාවන පරිදි දවසින් වැඩි කාලයක් නින්ද සඳහා ගත කිරීම ද, නිරන්තරයෙන් අනවශ්‍ය ලෙස බොහෝ දෙනා එක්රැස් වන ස්ථානවලට යාම ඒම හා පිරිස සමග කාලය ගත කිරීමට රුචිකත්වයක් දැක්වීම ද තමන් විසින් උපදවා ගන්නා ලද මාර්ගඵල සිත හෙවත් කෙලෙසුන්ගෙන් මිදුනු සිත යළි යළිත් සිහිපත් කිරීම් වශයෙන් මතකයට නගා ගැනීමෙන් වළකී සිටීම ද මතු මත්තෙහි තමන් විසින් උපදවා ගනු ලැබූ මාර්ගඵලයට වඩා වැඩි උසස් මාර්ගඵලයක් උපදවා ගැනීමට බාධාකාරී වන හෙයින් ඒවායින් ඉවත්ව කටයුතු කරන ලෙස බුදුරදුන් විසින් උපදෙස් සපයා දී තිබේ.

මෙහි දී පැහැදිලි ලෙසම දැක්විය යුතුව ඇත්තේ උපදවා ගනු ලැබූ මාර්ලඵල පිරිහී යාමට වඩා මතු ඊට වඩා ඉහළ මාර්ගඵලයන් උපදවා ගැනීමේ ඉඩකඩ ඇහිරී යාමයි. මාර්ගඵලවලට අරමුණ වන්නේ නිර්වාණ ධාතුවයි. නිර්වාණ ධාතුව වනාහී සංඛත හෙවත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටත්තක් නොවේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යන ත්‍රි ලක්ෂණ වලට යටත් වන අතර අසංඛත නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත්තක් නොවන නිසා හෙතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරවලට පොදු ‍වේ හිමි වන වෙනස්වීම් ස්වභාවය නිර්වාණ ධාතුවේ නොමැත. නිර්වාණ ධාතුව වෙනස් නොවන නිසා නිර්වාණ ධාතුව අරමුණු කර උපදවා ගනු ලැබූ මාර්ගඵලයන් ද ක්ෂයවීමකට හෝ වෙනසකට බඳුන් වීමට අවකාශ නොමැත. මේ ලොවෙහි ඇති සියල්ල වෙනස් වෙතත් වෙනස්වීමේ ලක්ෂණය වෙනස් නොවන්නාක් මෙනි. සැබවින්ම මෙහි පිරිහීම ලෙස අර්ථ දක්වා ඇත්තේ මතු ඉහළ මාර්ගඵලවලට ප්‍රවේශවීමේ ස්වකීය සීඝ්‍ර ගමන් වේගය තමන්ගේ පෞද්ගලික දුර්වලතා නිසා ලඝුවීමේ තත්වයයි. මෙවැනි කරුණු හුදෙක් පෘථග්ජනයන් අතර පවත්නා පාප හෝ අකුසල් මෙන් ස්ථිර සාරව සසර බැඳ තබා ගන්නා දේ ලෙස නොව හුදෙක් සිහිපත් කිරීම් මාත්‍රයකින් නිවැරදි කරගත හැකි චර්යාමය දුර්වලතා කොට්ඨාශයක් වේ.

සේඛ උතුමන්ගේ ඉහත සඳහන් කළ පෞද්ගලික දුර්වලතා හටගනු ලබන හේතුවලට අමතරව පහත දැක්වෙන කරුණු නිසා තමන්ට ලැබෙන විවේකය ඵලදායක යමක් නොකර හිස් ලෙස ගත කිරීම හා මතු මත්තෙහි තමන් විසින් උපදවා ගන්නා ලද මාර්ගඵලයට වඩා ඉහළ මාර්ගඵල ලබා ගැනීමට නොහැකිවීමට හා ප්‍රමාදවීමට හේතුවක් බව පෙන්වා දී තිබේ. තව ද වීර්ය වඩමින් ඒ සදහා සුදුසු සමාධි කර්‍මස්ථානයන්හි නොයෙදීම සේඛ පුද්ගලයන් තුළ විද්‍යමාන පෞද්ගලික දුර්වලතාවයක් බව බුදුරදුන් විසින් දක්වා තිබේ.

  1. බොහෝ කෘත්‍ය ඇති බව, බොහෝ කටයුතු ඇති බව, පිළිසකර කටයුතුවල දක්ෂතාවය.
  2. ස්වල්ප කෘත්‍යයකින් දවස ඉක්මවීම. (අ.ගු.3,40.පථම සේඛ භික්ඛු සුත්ත)
  3. ගෘහස්ථ ප්‍රවෘජිතයන් හා එක්වීම, නුසුදුසු වූ ගිහියන් හා එක්වීම ඇතිව වාසය කිරීම.
  4. පිණ්ඩප‍ාතය පිණිස ඉතා කලින් ගමට පිවිසීම, ඉතා දවල් වී පෙරලා ඒම.
  5. අල්පේච්ඡතා, සන්තුෂ්ටිය, ප්‍රකර්‍ෂ විවේකය, සංසර්‍ග, වීය්‍ර්‍යාරම්භය, ශීලය, සමාධිය, ප්‍රඥාව විමුක්තිය හා විමුක්ති ඥාන දර්ශන මෙබඳු කථාව පිළිබඳව කැමති පරිදි ලැබීම ඇත්තෙක් නොවීම, දුකසේ ලැබීම ඇත්තෙක් වීම, අපහසුවෙන් ලැබීම ඇත්තෙක්වීම.

විහාරාරාමවල වැඩ කටයුතුවල නිරතවීම අයෝග්‍ය දෙයක් නොවෙතත්, ස්වකීය පැවිදි දිවියෙහි පරමාදර්ශවලට අන්තරායකාරී වන ආකාරයෙන් ඒවායෙහි නිරතවීම නිසා ද, තමන්ට කළ හැකි වැඩ කොටසට වඩා අඩුවෙන් කරමින් නිකරුනේ කාලය ගත කිරීම ද, ප්‍රතිඵලදායක ගිහි පැවිදි සම්බන්ධතාවය අයෝග්‍ය දෙයක් නොවෙතත්, ඒ පිණිස තම මුළු කාලයම කැපකරමින් ආධ්‍යාත්මික සංවර්ධනය අතපසු කිරීම ද, දිවි පැවැත්ම ගෙනයාමට පිණඩපාත ආහාරය අත්‍යවශ්‍ය නමුත්, අසීමාන්තිකව ඒ කෙරෙහි පමණක් උත්සුකවීම ද, සමථ විදර්ශනා ‍කෙරෙහි සිතෙහි ඇල්ම හා වුවමනාව ජනිත කරවන සැහැල්ලු චාම් පැවැත්ම, සතුට, මානසික විවේකය, උත්සාහය, කය වචනය හික්මවීම, සිතෙහි එකඟ බව, නුවණ, නිර්වාණය, නිර්වාණය අරමුණු කරගත් මාර්ගඥාන පිලිබඳ යහපත් උපදෙස් හා අවවාද පහසුවෙන් නොලැබිය හැකි බව ද යන කරුණු තමන් විසින් උපදවා ගන්නා ලද මාර්ගඵලවලට වඩා ඉහළ මාර්ගඵල ලබා ගැනීමට සේඛ උතුමන්හට බාධා පමුණුවන කරුණු ලෙස සඳහන් වේ.

සේඛ පුද්ගලයන් විසින් තමන් උපදවා ගන්නා ලද මාර්ගඵල වලට වඩා ඉහළ මාර්ගඵල ලැබීම ප්‍රමාද කරවන කරුණු ඒ උතුමන්ගේ පිරිහීම ලෙස වරදවා වටහාගන්නා ලද බවක් පශ්චත්කාලීන ධර්ම විග්‍රහයන්වල දී හෙළි වේ. මේ තත්වය සේඛ තත්වයට පමණක් සීමා නොවී අසේඛ හෙවත් අර්හත් ඵලය උපදවා ගන්නා ලද උතුමන් පවා පිරිහීමට පත්වන බව පසු කාලීන විවිධ බෞද්ධ සම්ප්‍රදායයන්හි අන්තර්ගත ආගමික අදහස් අතර විද්‍යමාන වීම තුළින් පැහැදිලි වේ. ස්ථවිරවාදී පක්ෂයෙහි සියළු සංගායනා සදහා සහභාගී කරගනු ලැබූවේ අර්හත් භික්ෂූන්වීමත්, ශාසනභාර ස්ථවිර තෙරවරුන් ලෙස ක්‍රියාකරනු ලැබුවේ රහතන් වහන්සේලා වීමත් නිසා, පැවති තත්වය කෙරෙහි කිසියම් අප්‍රසාදයකින් විසූ අන්‍ය බෞද්ධ සම්ප්‍රදායකයින් විසින් අර්හත්ව පරමාදර්ශය පහතට ඇද දමා ගර්භාවට ලක් කිරීම පිණිස හිතාමතාම මෙකී අදහස් සමාජයට ව්‍යාප්ත කරවන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය.

බුදුරදුන්ගේ පිරිනිවීමෙන් වර්‍ෂ 100 කට පසුව පැවැත් වූ දෙවන ධර්ම සංගානාවට හේතු වූයේ දස අකැප වස්තුවම පමණක් නොවේ. මහදේව නම් තෙර නමක් විසින් රහතන් වහන්සේ සම්බන්ධයෙන් දක්වන ලද කරුණු පහක් ද ඒ සඳහා ප්‍රබල ලෙස හේතු විය. පහත සඳහන් වන එම මත වසුමිත්‍ර මහතෙරුන් විසින් රචනා කළ නිකායලම්බන නමැති ග්‍රන්ථයෙහි අන්තර්ගත වේ.

  1. රහතන් වහන්සේ විසින් නොදැන පවක් කළ හැකිය.
  2. රහතන් වහන්සේ විසින් තමන් රහත් වූ බව නොදැන සිටිය හැකිය.
  3. රහතන් වහන්සේහට ධර්ම සම්බන්ධව සැක ඇති විය හැකිය.
  4. ගුරුවරයෙකුගේ උපකාරය නැතිව රහත්ඵලය ලැබිය හැකිය.
  5. දුක්ඛ ලක්ෂණය වචනයෙන් පවසා භාවනා කරමින් අර්හත්වය ලැබිය හැකිය.

මීට අමතරව රහතන් වහන්සේ සම්බන්ධව මහා විහාරීය සම්ප්‍රදායට එරෙහිව ස්වකීය වෙනස් මතවාදය පැහැදිලිව ඉදිරිපත් කරනු ලැබූ විවිධ බෞද්ධ සම්ප්‍රදායයන් ද වේ. එම බෞද්ධ සම්ප්‍රදායයන්ගෙන් කීපයක් පහත දැක්වෙන පරිදි පෙන්වා දිය හැකිය. වෙනත් බෞද්ධ නිකායයන් ලෙස සැලකෙන

  1. මහාසංඝික
  2. වජ්ජිපුත්තක
  3. සබ්බත්ථවාදී
  4. පුබ්බසෙලීය
  5. අපරසෙලීය

වෙනත් බෞද්ධ නිකායන් ලෙස හැඳින්වෙන ඉහත සම්ප්‍රදායයන් විසින් ස්ථවිර සම්ප්‍රදායට විරුද්ධව ඉදිරිපත් කරන ලද මත අතරින් ප්‍රධානතම කරුණ වන්නේ රහතන් වහන්සේ අර්හත්ඵලයෙන් පිරිහී යා හැකිය යන මතයයි. මෙසේ නිකායන්තරික මතවාදයන් සකස්වීම පිණීස ස්ථවිර පාක්ෂීක පාලි ත්‍රිපිටකයෙහි රහතන් වහන්සේලා සම්බන්ධව සඳහන් වන ඇතැම් ජීවන පුවත් හේතු සාධක වන්නට ඇත මතය පහසුවෙන් ප්‍රතික්ෂේප කළ නොහැක. එම මතය ඇතිවී ඇත්තේ රහතන් වහන්සේලා අර්හත්ඵලය උපදවා ගනු ලැබීමත් සමඟ ස්වකීය චිත්ත සන්තානය තුළින් සකල ක්ලේශයන් මුඵමනින්ම ඉවත්කරනු ලැබූවත් සසර පුරා රැගෙන එනු ලබන වාසනා ගුණ අප්‍රහීන වීම යන කරුණ හේතු කොට ගෙන පොදු මනුෂ්‍යයෙකු සතු උත්පත්තිමය ; ජානමය ; ආරමය දුර්වලතා උන්වහන්සේලා තුළින් බැහැරට විද්‍යමානව වීම නිසා වන්නට ඇත. මේ අනුව සාමාන්‍ය පෘතග්ජන මිනිසුන් මෙන් රඵ වචන භාවිතා කිරීම, නොගැලපෙන නොසන්සුන් කායික ක්‍රියා සහ ඉරියවු ප්‍රදර්ශනය කිරීම, අමතකවීම් හෝ අතපසුවීම් සිදුවීම, සා‍මාජික බාහිර ක්‍රියාකාරකම් හා වත් පිළීවෙත් කෙරෙහි එතරම් සැලකිල්ලක් හෝ උනන්දුවක් නොදැක්වීම වැනි දේ බුදුරදුන් ජීවමාන කාලවල දී පවා ඇතැම් රහතන් වහන්සේ කෙරෙන් විද්‍යමාන වූ බව ත්‍රිපිටක සාහිත්‍යයෙන් ප්‍රකට වේ. තවත් සමහර විද්වතුන් මේ සම්බන්ධයෙන් පළ කරන අදහස නම් ධර්‍ම සංගනාවලට මූළිකව ක්‍රියාකොට ඇත්තේ රහතන් වහන්සේලා බැවින් උන්වහන්සේලා සතු ධර්‍ම අධිකාරය හා ගුණ පෞරුෂය බිඳ හෙලීමේ අදහසින් නිකායන්තරිකයන් විසින් කුමන්ත්‍රණකාරීව අර්හත්ඵලය ලඝුකොට සලකා ඇති බවයි. මෙවැනි සාවද්‍ය මත හා ආකල්ප රෝපණය කිරීම‍ මෙන්ම පවත්වා‍ෙගන යාම පිණිස දරණ ලද අති මහත් ප්‍රයත්නය තුළ පාලි ත්‍රිපිටක ඉගැන්වීම් නිවැරදි ලෙස අර්ථ ගැන්වීමෙහිලා පශ්චාත්කාලීනයන් දක්වන ලද දුර්වලතාවය ද එක් අතකින් මනාව කැපී පෙනේ. අර්හත්ඵලය එහි මූළික අරමුණ වූ සමය සන්දර්භයෙන් බැහැරව පොදු සමාජය තුළ පුද්ගල වටිනාකමක් අත්පත් කොට ගෙන තිබීම හා ධර්‍ම අධිකාරය එය වටා ගෙ‍ානුවීම ‍නිදහස් මත දරන්නන්ගේ විරෝධාකල්ප එයට එල්ලවීම නිකායාන්තර මත ප්‍රභවීම කෙරෙහි සෘජු ලෙසම බලපා ඇති බව පැහැදිලිව කැපී පෙනේ. සම්බුද්ධ පරිනිර්වාණයත් සමඟම මෙවැනි ස්වාධීන මත දරන්නන් වඩාත් සංවිධානාත්මකව නිදහසේ ස්වකීය ආකල්ප සමය සන්දර්භය තුළ ව්‍යාප්ත කිරීම මුල් බුදුසමය විවිධ නිකායන්ට ප්‍රභේදවීමට ද හේතුවක් වී තිබේ.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top