සූර්යබල සංග‍්‍රාමය කියන්නේ අයාලේ යන වැඩසටහනක් නොවෙයි

Ranjith_S.jpg

“සූර්යබල සංග‍්‍රාමය කියන්නේ අයාලේ යන වැඩසටහනක් නොවෙයි.
රටේ සුනිත්‍ය බලශක්තිය ජයග‍්‍රහණය කරන දිනය දක්වා රජයක් වශයෙන්
අපි මෙම වැඩසටහන පසුපසින් සිටිනවා ……”

රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය

“සූර්යබල සංග‍්‍රාමය අංක එක යටතේ අපි නිවාස දස ලක්ෂයක වහල සූර්යබලාගාර බවට පත්කිරීමේ ව්‍යාපෘතියයි. එය දැනට ක‍්‍රියාත්මකයි. සූර්යබල සංග‍්‍රාමය අංක දෙක යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ  මේ රටේ මෙතෙක් සූර්ය බලාගාර හිමයෙක් වෙන්නට බලාපොෙරොත්තු නොවුන සාමාන්‍ය තත්ත්වයේ ව්‍යාපාරිකයන් පිරිසක් සූර්යබල නිෂ්පාදකයින් බවට පත්කිරීමයි. මේ රටේ අපිට හදිසියේ මිලදී ගතහැකි මෙගාවොට් 60ක පමණ සූර්ය විදුලි ඒකක ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන්න විවෘත ටෙන්ඩර් කැඳවීමක් මගින් තරගකාරීව ඉදිරිපත්වන ව්‍යාපාරිකයින්ට අපි මෙම අවස්ථාව  ලබාදෙනවා. අපි ක‍්‍රම දෙකක් මෙමගින් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සූර්යබල නිෂ්පාදනය පිළීබඳ සුවිශේෂී වූ සත්‍ය මිල හඳුනාගැනීම. එහි අවසාන ප‍්‍රථිපලය හිමිවන්නේ මේ රටේ ජනතාවටයි. දෙවෙනි කාරණය තමයි මේ රටේ සෑම ව්‍යාපාරිකයෙක්ම සුනිත්‍ය බලශක්ති නිෂ්පාදකයෙක් බවට පත්කිරීමට උනන්දු කරවීම. සූර්යබල සංග‍්‍රාමය කියන්නේ අයාලේ යන වැඩසටහනක් නෙමෙයි. අළුත් දෙයක් වුණාම නොයෙකුත් බාධාවන් එනවා. ඒ හැම බාධාවක්ම ජය අරගෙන, ආයෝජකයා පමණක් නොවෙයි, රටේ සුනිත්‍ය බලශක්තිය ජයග‍්‍රහණය කරන දිනය දක්වා රජයක් වශයෙන් අපි මෙම වැඩසටහන පසුපසින් සිටිනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් අද (23* පෙරවරුවේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ මිහිලක මැදුරේ සංවිධානය කර තිබූ,  සූර්යබල සංග‍්‍රාමය යටතේ, මධ්‍ය සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, සූර්යබල නිෂ්පාදකයින් බවට පත්කිරීමේ අරමුණෙන් ඒ සඳහා උන්නදුවක් දක්වන ව්‍යාපාරික පිරිස් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …

“කාලයක් තිස්සේ මෙම ව්‍යාපෘති වැසුණු ව්‍යාපෘති. මෙතෙක් කාලයක් මෙම ව්‍යාපාරයන්ට යොමුවුණේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් පමණයි. සාමාන්‍ය ව්‍යාපාරික ප‍්‍රජාව මෙම සූර්යබල නිෂ්පාදන කටයුතු වෙනුවෙන් යොමුවුණේ නැහැ. ඒ නිසා මේවා වැසුණු ව්‍යාපාර බවට පත්වුණා. ඒ නිසා මේවා පිළිබඳ ජනතාව අතර මහත් කුතුහලයක්, සැකයක් තිබුණා, මේවා කරන්න පුළුවන්ද, දැනට තරගකාරිව එන මිල ප‍්‍රමාණවත්ද, දීර්ඝකාලීනව ප‍්‍රථිපලදායකද වශයෙන්. ඒ නිසා අද දවසේ සම්පූර්ණයෙන්ම නොමිලේ මෙම කරුණු පිළිබඳව ව්‍යාපාරිකයින්ව දැනුවත් කිරීමක් මෙහිදී සිදුකරනවා” යැයි පැවසීය.

scroll to top