සූදු ව්‍යාපාරයට සම්බන්ධ අයට ක්‍රිකට් නිලවරණයට එන්න බෑ: අර්ජුන

arjuna-cricket

දෙසැ 04, 2015 (විමසුම) – 2013 ජනවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව සූදු ව්‍යාපාරයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ පුද්ගලයින්ට ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

රණතුංග මහතා අවධාරණය කළේ ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන ලෙසට තමන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

“ක්‍රීඩා රෙගුලාසිවල තියෙනවා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක වෘත්තීමය ජනමාධ්‍යවේදියෙකු හෝ එවැනි ජාලයක අයිතිකරුවෙක් වේ නම් නිලවරණයට එන්න බැහැ කියලා. ක්‍රීඩා භාණ්ඩවලට සම්බන්ධ නම් ඒත් එන්න බැහැ. සූදු ව්‍යාපාරයට ඍජුව හෝ වක්‍රව ඉන්නවා නම් ඒ පුද්ගලයාටත් එන්න බැහැ. ”

පසුගිය ආණ්ඩුව, ක්‍රිකට් නිලවරණ සඳහා කළ දේශපාලන බලපෑම් මෙවර යහපාලන ආණ්ඩුවෙන් සිදු නොවන බවද එළැඹෙන ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය.

නාමයෝජනා භාරදීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේදී අද උදෑසන සිදු විය.

එළැඹෙන ක්‍රිකට් නිලවරණයේදී අමාත්‍යවරයා තරග කරන්නේ උපසභාපති ධුරය සඳහා වන අතර ක්‍රිකට් සභාපති ධුරය සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමේ අපේක්ෂාවෙන් මෙවර උපසභාපති ධුරයට ඉදිරිපත් වීමට තීරණය කළ බවද අමාත්‍යවරයා පැවසීය.

“රටෙන්ම මට ලොකු ඉල්ලීම් කළා ක්‍රිකට් සභාපතිවරයා හැටියට එන්න කියලා. නමුත් සභාපති හැටියට එන්න බැරි වීමට එක ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ආයතනයේ තියෙනවා නීතියක් සභාපති ධුරයට තරග කිරීමට නම් විධායක සභාවේ අවුරුදු දෙකක් සේවය කළ යුතුයි කියලා,”

“මට ඕනේ නම් තිබුණා ක්‍රීඩා ඇමතිතුමාට කතා කරලා ඒ අවසරය ලබාගන්න. නමුත් මේ යහපාලන ආණ්ඩුව හැදුවේ අපිට සුදුසුකමක් නැත්නම් ඒ සුදුසුකම ඇමතිවරයාට, අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට කියලා කරගන්න නෙවෙයි. ඒ නිසා මම හිතුවා එම සුදුසුකම සපුරා ගන්න මෙවර උපසභාපති ධුරයට ඉදිරිපත් වෙන්න. ”

“පාසල් ක්‍රිකට් පද්ධතිය ගැන අවධානය යොමු කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. යහපාලන ආණ්ඩුව කාලේ තවත් ලෝක කුසලානයක් දිනාගන්න අවස්ථාවක් උදා කරගැනීම තමයි මගේ එකම බලාපොරොත්තුව.” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙවර තරග කරන්නේ ඔහු මිට පෙර විවේචනය කළ නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශවය යටතේය.

scroll to top