සුව නින්දක රහස කථානායක හෙලි කරයි

Karu_J.jpg

කොච්චර වැඩ කළත් මමත් බිරිදත් නිතරම කල්පනා කළා හැන්දෑවට ගෙදර ඇවිත් අපේ දියණියන් දෙදෙනා දෙපැත්තේ තියාගෙන මේ රටේ දේපල අවභාවිත නොකළ තාත්තෙක් අම්මෙක් හැටියට පිරිසිදු හිතින් නිදාගන්න පුළුවන් වෙන්න ඕන කියලා.

ඒ නිසාම එදා වගේම අදත් අපට සුවසේ නිදා ගන්න පුළුවන් යැයි කථානායක කරු ජයසූරිය මහතා පැවසුවේ ඊයේ පස්වරුවේ ඔහු වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් පිරිනැමුනු විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජන රංජන ගෞරව නාමය ප්‍රදානය කිරීම සඳහා කොළඹ නාරාහේන්පිට නිකාය මූලස්ථානයේ පැවැති විශේෂ උත්සවයක දීය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත නාපානේ පේමසිරි මහා නාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා අමරපුර මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක ආචාර්ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි ඇතුලු ත්‍රෛනිකායික සංඝයා වහන්සේලා විශාල පිරිසක් මෙන්ම අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ, කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ආචාර්ය ජෝන් සෙනෙවිරත්න, වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක, ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, බස්නාහිර හා මහා නගර සංවර්ධන නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මැති ඇමතිවරු සහ නිකායාරක්ෂක සභාවේ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ. සම්මානය පිරිනමමින් ප්‍රධාන අනුශාසනාව සිදු කළ අග්ගමහා පන්ඩිත නාපානේ පේමසිරි මහා නාහිමියන් සදහන් කළේ සසුන බබළවන බෝධිසත්ව ගුණ දම් පුරන මහෝපාසකයෙකු ලෙස කරු ජයසූරිය මහතා හදුන්වා දිය හැකි බවයි. ඔහු මොන තරම් ක්ෂාන්තිය ප්‍රගුණ කර ඇත්දැයි පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුල කටයුතු කළ ආකාරය මනා උදාහරණයක් බව ද සදහන් කළ උන්වහන්සේ පෙන්වා දුන්නේ කවර බාධක හමුවේ වුවද සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ගුණයන් වෙනස් නොවන බවට කරු ජයසූරිය චරිතාපදානය ජීවමාන ආදර්ශයක් බව ය.

තමා වෙත පිරිනැමුනු විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන සම්මානය නිහතමානීව හා ගෞරව භක්තියෙන් යුතුව පිළිගන්නා බවත් කොතෙක් අභියෝග පැමිණිය ද අපහාස උපහාස ලැබුවද තමා පැතූ සාධාරණ යුක්තිගරුක විනයගරුක නීතිගරුක සමාජය වෙනුවෙන් පදවි තානාන්තර නොමැතිව හෝ අවසන් මොහොත දක්වා කැපවන බව ද කරු ජයසූරිය මහතා උත්සව සභාව අමතමින් පැවසීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා :

“ අද දින මෙම සම්භාවනා මාහෝත්සවයට පැමිණ අප වෙත දක්වන ලද ඇගයීම වෙනුවෙන් අපගේ ගෞරවය හා ප්‍රනාමය ගරු සභාවට පලමුවෙන්ම පුද කරනවා.

මගේ ජීවිත ගමන දෙස ආපසු හැරී බලත්දී කිසියම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබේනම් නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලැබූ කෙනෙකු ලෙස රටට යම් ණයක් ගෙවන්නට හැකි වෙලා තිබෙනවානම් මේ සම්මානයේ ගෞරවය ඒ සඳහා මග පෙන්වු /ධෛර්ය දුන්/ආශිර්වාද කල සෑම දෙනාටම හිමිවිය යුතුයි. විශේෂයෙන්ම දෙමාපියන් හැමවිටම පුංචි කාලේ ආගම දහමට,රට ජාතියට පරිසරයට, ගහකොළ සතා සිවුපාවට ආදරය කරන්න අපට කියා දුන්නා.

ඒ වාගේම අප නිතර ආ ගිය මීරිගම ශාසනවර්ධන මහා පිරිවෙන වේවැල්දෙනියේ මේධාලංකාර මහා නායක හාමුදුරුවෝ ඇතුළු එකල විසූ සංඝපිතෘවරුන් ආගමානුකූලව අපේ ජීවිත හැඩගස්සුවා.

මීරිගම කඳන්ගමුව විද්‍යාලයෙන් ආනන්දයට ආවට පස්සේ ආනන්දේ තිබිච්ච දේශානුරාගී අදහස් අපව පෝෂණය කලා එල්.එච්.මෙත්තානන්ද, එච්.ඩබ්ලිව් කරුණානන්ද, එස් ඒ. විජය යන මහත්වරු. විශේෂයෙන්ම අපට ඒ කාලේ ආනන්දයේ සිට පුරුද්දක් තිබුණා නිතරම කුප්පියාවත්තේ ජයසේඛරාරාමයට යන්න එන්න.පාසල වගේම පන්සලත් ජාතික චින්තනයේ මධ්‍යස්ථානයක් වුනා.

තලල්ලේ ධම්මානන්ද 1955/56 අපි නිවාඩු දවස්වල බෞද්ධ කොමිසන් වාර්තාව ඇතුලත් පත්‍රීකා අරගෙන ඒවා බෙදමින් කොළඹ නගරයේ විථිවල ඇවිද්දා.

ගුරුවරුන්ගෙන් අපිට ඊට විශාල ශක්තියක් ලැබුනා. ආනන්දයේ තිබුණ විශේෂ ලක්ෂණයක් තමයි හමුදා නිල ඇදුමට තිබුණු අසීමිත ආදරය

සමහර විට ආනන්දයේ නිර්මාතෘ ඕල්කට් තුමත් හමුදා නිළධාරියෙක් වීම ඊට හේතු වෙන්න ඇති.ඒ අනුව තමයි මටත් හමුදා නිළධාරියෙක් ලෙස ආනන්දයේ සම්ප්‍රදාය රකින්න ලොකු උවමනාවක් තිබුනේ .

ව්‍යාපාරික ලෝකයට අවට පස්සේ කවදාවත් මම කියන්නේ නැහැ මම තනියම සාර්ථක වුනා කියලා.අපි හැම වේලාවෙම වැඩකලේ කණ්ඩායමක් විදියට ඒහිදී පරාජය තනියම භාර අරන් ජයග්‍රහණය කණ්ඩායමේ හැමෝටම බෙදල දීම ඇතුලේ අපිට විශාල ඉලක්කවලට යන්න පුළුවන් වුනා.

ඒනිසා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මාත් සමඟ කටයුතු කල හැමෝටම ගෞරවය හිමි විය යුතුයි.දේශපාලනයට මුලින්ම උන්දුවක් ඇති කලේ එන්.පී.පී පන්ඩිතරත්න එ.ජා.ප සභාපතිතුමා, ඒ වාගේම ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාට අපව නිවැරදිව හඳුන ගන්න පුළුවන් වුනා. ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ මා අතර ඉතා ගැඹුරු එකිනෙකට ගරු කරන මිත්‍රත්වයක් තිබුනා.

ඒවාගේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තිබෙන විශිෂ්ඨ කළමණාකරණ ඥා‍ණය එතුමත් එක්ක වැඩ කරද්දි මට හඳුන ගන්න ලැබුනා. එතුමාගෙන් මට ආරාධනා ලැබුනා.අද ජනාධිපති සිරිසේන මැතිතුමා සමඟින් සහජීවනය සඳහා එක්වන්න පුළුවන් වුනා.එයත් ශක්තියක්.

ඒ සියළු නායකයන්ට මේ සම්මානයේ ගෞරවය හිමි විය යුතුයි. රම අය කවුරුවත් දේශපාලනයෙන් හරිහම්බ කල අය නෙමෙයි.

අප දරපු කිසිම තනතුරකින් කිසිම සුකවිහරනයක් හෝ අපේක්ෂා නොකර රටට වැඩ කරන්න ධ්‍යෛර්ය දුන් මාගේ බිරිදත් දියණියන් දෙදෙනාටත් පවුලේ සාමාජිකයන්ටත් මේ සම්මානය අයිතියි.

මට මතකයි කොළඹ නගර සභාවෙන් පස්සේ කවදාවත් කටවුට්, පොලිතීන් පාවිච්චි කරන්නේ නැහැ කියලා තීරණයක් ගත්තම මාගේ හිතවතුන් බෝහෝ දෙනෙක් මට කිවුවා පවතින දේශපාලනය ක්‍රමය තුල ඒක අවධානම් වැඩක් ‍එහෙම කරන්න එපා කියලා. ඒවාගේම අනුන් විවේචනය නොකර දේශපාලන ශ්‍යෛලන් මා අනුගමනය කරන විට එය අප දේශපාලන සංස්කෘතියට හරි නැහැ කියු අය සිටියා. නමුත් මම ජනතාව ගැන විශ්වාසය තිබ්බා.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් වල ජනතාව දෙලක්ෂ හැත්තෑ දෙදහක් සහ දෙලක්ෂ හැටඑක් දහසක් ලබා දෙමින් පෝස්ටර්,කටවුට්, මඩගැසීම් නැති දේශපාලනයක් වෙනු‍වෙන් මට ශක්තිය ලබා දුන්නා . මෙම සම්මානයේ ගෞරවය ඒ ජනතාවටත් හිමි විය යුතුයි.

දේශපාලනයේදී විවිධ පසුබෑම් වාගේම ජයග්‍රහණ සම සිතින් දරාගන්න මට මග පෙන්වූයේ ත්‍රෙයිනිකායික මහා සංඝරත්නයි

තොරතුරු පනත ,ස්වාධින කොමිසන් සභා,17 වැනි සංශෝධනය වැනි වටිනා ක්‍රියාදාමයන්ට ඉදිරිපත්වීමට හැකි වුයේ සමාජයෙන් අප ලත් ධ්‍යෛර්ය නිසාය.

අප ඒ නිසා ඒ ක්‍රියාදාමය තුල විශාල මානසික තෘප්තියක් ලබානවා

මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවා වාගේම මා‍ ගැන විශ්වාසය තිබීම ගැන උන්වහන්සේලාට මාගේ නමස්කාර පූර්වක ගෞරවය පිරිනමනවා.

අද මේ ගෞරව සම්මානය අපේ අග්‍රමහා පණ්ඩිත මහානායක නාහිමාපාණන් වහන්සේ අතින් ලැබීම වසානාවක් හැටියට සඳහන් කරනවා.

එමෙන්ම අමරපුර මහා නිකායන් සහ ශ්‍යමෝපාලික නිකාය,කෝට්ටේ පාර්ශවයේ මහා නාහිමිපාණන්ලාගේ ආශිර්වාදය ලැබීමත් මට විශාල ශක්තියක් උන් වහන්සේලා ඉතාමත් ධර්මදර,විනයදර, මහාදුර්ලභ ගණයේ චරිත.

මේ සම්මාන උළෙල වෙනුවෙන් නාකායේ මහා නාහිමිපාණන් වහන්සේ අනුශාසනාව පරිදි කැපවී කටයුතු කල අනුනාහිමිපාණන් වහන්සේලා, අධිකරණ සංඝනායක හිමි, ලේඛකධිකාරී නියක හිමි ඇතුළු අනෙකුත් සියළුම මහා සංඝරත්නය නිකායරක්ෂක සභාව මෙහි පැමිණි මැති ඇමති තුමන්ලා අනෙකුත් පින්වතුන් මාධ්‍යවේදීන් ඇතුළු සියළු දෙනාමට මා හිසනමා ආචාර කරනවා.

දෙනු ලැබු ගෞරවය ඉතාමත් නිහතමානීව පිළිගන්නවා.

කථානායකවරයා වෙත ගෞරව නාම සන්නස් පත්‍රය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත නාපානේ පේමසිරි මහා නාහිමිපයන් විසින් ප්‍රදානය කළ අතර, විශේෂ සමරු පලකය පිරිනමන ලද්දේ රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක මකුලෑවේ විමල නායක හිමි විසිනි.

ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන් සහ කොටු ගොඩ ධම්මාවාස මහා නාහිමියෝ ද මෙහිදී අනුශාසනාවන් සිදු කළ අතර, කරු ජයසූරිය සම්භාවනා දෙසුම බුද්ධ ශාසන හා අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පවත්වන ලදී.

මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේ ඉතිහාසයේ පෙර නොවූ විරු බල සංයුතියක් සහිත වර්තමාන පාර්ලිමේන්තුව තුල කරු ජයසූරිය මහතා සමබරව කටයුතු කරන්නේ එතුමා තුල පවතින කාරුණික බව ප්‍රජාතන්ත්‍රවාදී ගුණය, ඉවසීම සහ තපෝ ගුණය නිසාම බවය. ඉතිහාසයේ ප්‍රබලම හඩින් පොදු ජනතාව ඉල්ලා සිටි‍යේ යහපාලනය බවත් කරු ජයසූරිය මහතා එම ජනතා සට‍නේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ බවත් පැවසූ අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය අර්බුද නිමා කර සමගියේ මාවතට ගෙන ඒමට කරු ජයසූරිය මහතා නායකත්ව මන්ඩලය තුලින් ක්‍රියා කළ ආකාරය ද සිහිපත් කළේය.

කෙටි කලකින්ම පක්ෂ මතවාදයෙන් ඔබ්බට ගොස් කථානයකවරයෙකු සතු ස්වාධීන කාර්යභාරය වඩාත් නිවැරදිව ග්‍රහණය කර ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු තරමටම ස්වාධීනව සිය කටයුතු ඉටු කරන කථානායකවරයෙකු ලෙස කරු ජයසූරිය මහතා පිලිබදව පොදු ජනතාව තුල ගෞරවයක් ගොඩ නැගි ඇති බව ද විජයදාස රාජපක්ෂ ඇමතිවරයා කීය.

scroll to top