සිසුන්ගේ වසර 13ක අධ්‍යාපනය අයිතිය අපි මෙවර අයවැයෙන් තහවුරු කළා – අමාත්‍ය ඉරාන්

විභාගවලින් පමණක් සිසුන්ගේ දක්ෂතා මනින අධ්‍යාපන ක්‍රමය අසාර්ථක බැවින්, වසර 13ක් අධ්‍යාපන ලැබීම සිසුන්ගේ අනිවාර්ය අයිතිය මෙවර අයවැයෙන් තහවුරු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි. අසාර්ථකත්වය පවතින්නේ අධ්‍යාපන ක්‍රමය තුළ මිස සිසුන් තුළ නොවන බව අමාත්‍යවරයා ¬පෙන්වා දෙයි. ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියේ 2018 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට ඊයේ එක් වෙමිනි.

එහි දී වැඩි දුරටත් අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය –

“අපි අලුත් වැඩපිළිවෙල තුනක් ඉදිරිපත් කළා. පළමුවෙනි වැඩපිළිවෙළ අවුරුදු 13ක අධ්‍යාපනයක්. අධ්‍යාපනය හැමෝටම අනිවාර්ය කරන දිශාන්තයට අපි ගමන් කරමින් සිටිනවා. අපි දන්නවා, අද තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් ශිෂ්‍යයාව මනිනවා. ශිෂ්‍යයාව මනිනකොට කියනවා, ශිෂ්‍යයා සාර්ථක ද, අසාර්ථක ද කියලා. මේ ක්‍රමය වැරදියි. හැම ශිෂ්‍යයෙක්ම වැදගත්. හැම ශිෂ්‍යයෙකුටම හැකියාවන් තිබෙනවා. ඒ හැකියාවන් කොහොමද මනින්නේ කියන ප්‍රශ්නය තමයි තිබෙන්නේ. අපි ඒ හැකියාවන් අද වෙනකම් මැන්නේ ලකුණුවලින්; මැන්නේ Z-score එකෙන්. එතකොට අපි කිව්වා, අනිත් ශිෂ්‍යයන් අසාර්ථකයි කියලා.

අපේ ව්‍යාවහාරයෙන් ඔය වචනය අයින් කර ගන්නට ඕනෑ. මෙතැන ශිෂ්‍යයා නොවෙයි අසාර්ථක වෙලා තිබෙන්නේ. අධ්‍යාපන ක්‍රමවේදය යම් කිසි විධියකට අසාර්ථක වෙලා තිබෙනවා කියලා කියන්නට ඕනෑ. ලංකාවේ අධ්‍යාපන ක්‍රම‍වේදයේ හොඳ දේවල් තිබෙනවා. නමුත් ශිෂ්‍ය සමූහයම සලකා බලනකොට අපට කියන්න වෙන්නේ ඒක අසාර්ථක වෙලා කියලායි. මොකද, අපේ අධ්‍යාපන ක්‍රමය සැකසී තිබෙන්නේ විභාගයෙන් පමණක් ශිෂ්‍යයාව මැනීමටයි. එම නිසා අවුරුදු 13ක් අධ්‍යාපනයක් ලබා දීමෙන් හැම ශිෂ්‍යයෙකුටම යම් කිසි හැකියාවක් -තාක්ෂණික, කාර්මික, වෘත්තීයමය හැකියාවක්- ලබා දෙන්නට අපට පුළුවන්. මවකට දරුවන් හතරදෙනෙක් සිටිනවා නම්, අද ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වන්නේ එක දරුවෙකුට පමණයි.

අපේ රටේ වසරකට ලක්ෂ තුනකට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. එයින් 125,000ක් එම විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාලවලට යන්න වරම් ලබනවා. නමුත්, පසු ගිය වසරේ රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ සිසුන් 27,000කට පමණයි. එතකොට අනෙක් ලක්ෂයට, ලක්ෂ දෙකට මොකක්ද සිදු වෙන්නේ? ඒ අයට අනාගතයක් නැද්ද? ඒ ශිෂ්‍යයන් වෙනුවෙන් රජයට වගකීමක් නැද්ද? ඒ ශිෂ්‍යයන් වෙනුවෙන් රජයට වගකීමක් තිබෙනවා. මෙපමණ කාලයක් දෙමාපියන් ඒ වගකීම ගත්තා. රජය සෑහෙන දුරට එම වගකීම පැහැර හැරියා. ඒ නිසා අපි අවුරුදු 13ක් ජාත්‍යන්තර මට්ටමේ ඉහළ අධ්‍යාපනයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීමට වැඩ පිළිවෙළ ගණනාවක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. මුදල් ඇමැතිතුමා වෘත්තීය අධ්‍යාපනය ගැන සඳහන් කළා. අපේ රටේ වෘත්තීය අධ්‍යාපනය සඳහා රත්මලානේ සහ කිලිනොච්චියේ ජර්මන් තාක්ෂණික විදුහල් තිබෙනවා. මේ විදුහල්වලට තිබෙන ඉල්ලුම පිළිබඳව අපි දන්නවා. වෙන රටවල වෙළෙඳ පොළවල ජර්මන් තාක්ෂණික විදුහලකින් ලබා දෙන උපාධියට, එහෙම නැත්නම් ඒ සහතිකයට තිබෙන ඉල්ලුම පිළිබඳ අපි දන්නවා. ඒ නිසා ලබන වසර තුන තුළදී ජර්මනිය හා ස්විට්සර්ලන්තය යන රටවල ආයතන සමඟ සාකච්ඡා කර මේ වාගේ මධ්‍යස්ථාන පහක් විවෘත කරන්නට අපි තීරණය කළා. අපි බදුල්ල, නුවර, ත්‍රිකුණාමලය, රත්නපුර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පහ විවෘත කරන්නට සුදුසු ප්‍රදේශ ලෙස හඳුනා ගෙන තිබෙනවා.

මේ පුහුණු මධ්‍යස්ථානවල සත්කාරය, හෝටල් කළමනාකාරිත්වය, ඒ වාගේම ඉංජිනේරු විෂයයන් -සිවිල්, විදුලි, motor mechanical- ඇති කරන්න බලාපොරොත්තු වනවා.

ඒ විතරක් නොවෙයි රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරන්න අපි බලාපොරොත්ත වනවා. මුදල් ඇමතිතුමා සඳහන් කළා, විශ්වවිද්‍යාල තුළ නව තාක්ෂණික පීඨ 7ක් ආරම්භ කරනවාය කියලා. එය තීරණය වුණේ, වෙළෙඳ පොළ ඉල්ලුම අනුවයි. වෙළෙඳ පොළේ තරුණයාට, තරුණියට රැකියාවක් ලබා ගන්න පුළුවන් අධ්‍යාපනයක් තමයි මේ විශ්වවිද්‍යාල පීඨ හරහා අපි ලබා දෙන්නට යන්නේ. රජරට විශ්වවිද්‍යාලයට, රුහුණු විශ්වවිද්‍යාලයට, සබරගමුව විශ්වවිද්‍යාලයට, කැලණිය විශ්වවිද්‍යාලයට, කොළඹ විශ්වවිද්‍යාලයට, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයට මේ තාක්ෂණික පීඨ අලුතින් ලබා දෙනවා.

ඒ විතරක් නොවෙයි. අපි වෛද්‍ය පීඨ 3කුත් ආරම්භ කරනවා. මේ වෛද්‍ය පීඨ 3 ආරම්භ කරන්නේ, රජයේ විශ්වවිද්‍යාලවලින් බිහිවන වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කරන්නයි. මේ ර‍ටේ පුරවැසියා දන්නවා, රජයේ රෝහලකට ගියාම සෑහෙන වෙලාවක් ඉන්නට ඕනෑය කියලා. වෛද්‍යවරයාගේ කාමරය ඇතුළට ගියාම විනාඩියෙන්, විනාඩි දෙකෙන්, විනාඩි තුනෙන් ඒ රෝගියාව පිටත් කරනවා. ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නවත් ඒ වෛද්‍යවරයාට වෙලාවක් නැහැ. මේ ක්‍රමය අපි වෙනස් කරන්නට ඕනෑ.

මුල් තැන දෙන්නට ඕනෑ වෛද්‍යවරයාට නොවෙයි, රෝගියාට. රෝගියාට මුල් තැන දෙන ක්‍රමවේදයක් අපි හදන්නට ඕනෑ. වෛද්‍යවරුන්ගේ අඩුවක් තිබෙනවා නම් අපි ඒක වැඩි කරන්නට ඕනෑ. ඒ නිසා තමයි අපි රජයේ වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කරන්නට යන්නේ; වෛද්‍යවරුන් ප්‍රමාණය වැඩි කරන්නට යන්නේ. එය කරන අතරේදී රජයේ නොවන ආයතනවලට, පෞද්ගලික අංශයට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන්නට පුළුවන් නම්, සේවාවක් ලබා දෙන්නට පුළුවන් නම් අපි ඒකට අවහිර කරන්නේ නැහැ. අපි ඒක දිරිමත් කරනවා. ඒ වාගේම හැම දරුවෙකුටම අධ්‍යාපනයට අවස්ථාව ලබා දෙන්නට ඕනෑ. අම්මා කෙනෙකුගේ, තාත්තා කෙනෙකුගේ අයිතියක් පවුලේ ඉන්න සෑම දරුවෙකුටම උසස් අධ්‍යාපනයක් ලබාදීම. ඒ අයිතිය ආරක්ෂා කරන්නට අපේ රජය ඉදිරිපත් වෙලා තිබෙනවා.

පෞද්ගලික වෛද්‍ය අධයාපනය ගැන වාද විවාද අවුරුදු තිහකට, හතළිහකට ඉහතදීත් තිබුණා. එදා උතුරු කොළඹ වෛද්‍ය පීඨයක් හදන විට අද මේ සභාවේ වාඩි වෙලා ඉන්න සමහර අය ඊට විරුද්ධව පාරට බැස්සා. එම නිසා එදා සිටි රජයට ඒ ක්‍රමවේදය අයින් කර ගන්නට සිදු වුණා. අපේ රජය ඒ අයිතිය ඇති කරලා දෙනවා. ඒක දෙමවුපියන්ගේ අයිතියක්, මව්වරුන්ගේ අයිතියක්. ඒ අයගේ දරුවන්ට රජයේ අධ්‍යාපනය ලබා ගන්නට අවස්ථාවක් නැත්නම්, තමන්ගේ නිවාස විකුණලා, ඉඩම් විකුණලා හෝ දරුවන්ට පෞද්ගලික අධ්‍යාපනය ලබා දෙන්නට ඒ අය සූදානම් නම් රජයට අයිතියක් තිබෙනවාද ඒ නිදහස නැති කරන්නට? රජය සිටින්නේ පුරවැසියාව ආරක්ෂා කරන්නයි. එම නිසා ඒ අයිතිය අපි ආරක්ෂා කර දෙන බව මේ අවස්ථාවේදී කියන්නට ඕනෑ.

අධ්‍යාපනයට මුල් තැන දෙන්නට ඕනෑ. අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනයට සහ වෘත්තීය අධ්‍යාපනයට 2018 අය වැය යෝජනා තුළින් රුපියල් බිලියන 325ක් වෙන් කරලා තිබෙනවා. රුපියල් බිලියන 325ක් අපි වෙන් කරලා තිබෙනවා. අධ්‍යාපනයට අමතරව අපි සෞඛ්‍ය සේවාව වෙනුවෙන් රුපියල් බිලියන 200ක් වෙන් කරලා තිබෙනවා. ඒ වාගේම, අපි පසු ගිය අය වැයෙන් අවුරුදු 5ත් 19ත් අතර පාසල් යන ශිෂ්‍යයන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ඉදිරිපත් කළා. මේ අය වැය වන විට අපි ඒ රක්ෂණ ක්‍රමය දියත් කරලා තිබෙනවා. හැම පාසල් දරුවෙකුටම අද රක්ෂණ ආවරණයක් තිබෙනවා.

මුදල් ඇමතිතුමා අය වැය කථාව ඉදිරිපත් කරන කොට කිව්වා, එවැනි රක්ෂණ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයට යන සිසුන් වෙනුවෙනුත් අපි 2018දී ලබා දෙනවා කියලා. ඒ සඳහා ගරු මුදල් ඇමතිතුමා 2018 අය වැයෙන් මුදල් වෙන් කළා.

ඊට අමතරව, අපේ සමාජයේ කාන්තාවන්ට තිබෙන තැන පිරිමින්ට තිබෙන තැනට වඩා හුඟක් පසු බට වුණු තත්ත්වයකයි තිබෙන්නේ කියලා අපි දන්නවා. දේශපාලනය පැත්තෙනුත් එහෙම වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225දෙනකු සිටියත්, කාන්තා නියෝජනය තිබෙන්නේ සියයට 5යි. ඒ විතරක් නොවෙයි. පළාත් සභාවල, ප්‍රාදේශීය සභාවල, නගර සභාවල කාන්තා නියෝජනය තිබෙන්නේ සියයට 2ක පමණ ප්‍රමාණයක්. අපේ රජය මේ පාර්ලිමේන්තුවේ ඉන්න සෑම පක්ෂයකම එකතුවෙන් මේ සම්බන්ධයෙන් යම් නීති පනවා, පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා හරහා කාන්තාවන් දේශපාලනයෙන් ඉදිරියට ගෙනෙන්න හැකි වන ආකාරයට යම් වෙනස්කම් සිදු කර තිබෙනවා.

ඒ විතරක් නොවෙයි. අපි ආර්ථිකය ගැන කථා කරන විටදීත්, කාන්තාවන්ට මුල් තැනක් නැහැ. අපි දන්නවා, ශ්‍රම බළකායෙන් සියයට 34යි කාන්තාවන් සිටින්නේ. නමුත්, අ.පො.ස. (සා.පෙළ), අ.පො.ස. (උ.පෙළ) හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉදිරියෙන්ම සිටින්නේ අපේ ශිෂ්‍යාවන්. ඒ අයව ශ්‍රම බළකායට එකතු කර ගන්න අපි මේ අය වැයේදී යෝජනා කීපයක් ඉදිරිපත් කළා. “සේවකයන්ගේ ළමයින් බලා ගන්නා, ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කළ යුතුයි” කියලා අපි යෝජනා කළා. සේවකයින් 500ක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එවැනි මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි. එක් ආයතනයක සේවකයන් 500ක් නැත්නම් ආයතන කීපයක් එක්ව හවුලේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ඇති කරන්න පුළුවන්. ඒක දිරිගන්වන්නට අපි මුදල් වෙන් කළා.”

scroll to top