සිව්වන කාර්මික විප්ලවයට අනුකූලව දහම් පාසල නවීකරණය විය යුතුයි – ඇමති චම්පික

People.jpg

අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ හෝමාගම, පිටිපන ශ්‍රී මහින්ද දහම් පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘’දහම් පාසල 19 වන සියවසේ අග භාගයේ ඇති වූ බෞද්ධ ප‍්‍රබෝධයේ ප‍්‍රතිඵලයක් හැටියට, අනගාරික ධර්මපාල මැතිතුමා අතුළු පිරිස් බෞද්ධ අධ්‍යාපනය සඳහා ප්‍රධාන බෞද්ධ පාසල් ඇති කළායින් පසු මේ දහම් පාසල් ආරම්භ උනා. දහම් පාසල ඉරිදා දිනයේම පවත්වන්නට ඒ කාලයේ තීරණය කළේ ක්‍රිස්තියානි පල්ලියට බඳවා ගන්න ක්‍රියාවලිය අධෛර්යමත් කරන්න දරපු උත්සාහයක් හැටියටයි. කොහොම උනත් දහම් පාසල මගින් අපේ සාමාන්‍ය පාසලේ ලබාදෙන්නේ නැති දහම් අධ්‍යාපනයත් ශික්ෂණයත් අපේ දූදරුවන්ට ලැබෙනවා.

ඒ වගේම හැමදේම මුදලට ගිය රටේ දහම් පාසලේ ගුරුවරු පමණක් ස්වේච්ඡාවෙන් තමන්ගේ සේවය අපේ දූ දරුවන්ට ලබාදෙනවා. මම හිතන්නේ අපේ ලෝකය අපි පොඩි කාලේ හිටපු ලෝකය නෙමෙයි, ලෝකය ඉතාම බරපතල විදිහට වෙනස් වෙලා තිබෙනවා. ඒ අලූත් ලෝකයට ගැලපෙන විදිහට අපේ දහම් පාසලත් වෙනස් විය යුතු කාලය, යුගය එළඹිලා තිබෙනවා. මොකද කියනවා නම් අපේ අධ්‍යාපනය සෑහෙන ගැටළු ගණනාවකට මුහුණ දී තිබෙනවා. මේ විභාග මූලික කරගත්ත, රැකියා මූලික කර ගත්ත මේ අධ්‍යාපන ක‍්‍රමය නිසා කොයිතරම් නම් දරුවෝ මානසික අසහනවලට ශාරිරික රෝග පීඩා ආදියට ලක්වෙනවාද කියලා. මෙය ඇති කළේ ජර්මනියේ කයිසර් රජතුමා. මෙහි අරමුණ වූයේ ෆැක්ටරිවලට, සංවර්ධනයට අවශ්‍ය මිනිසුන් බිහිකර ගැනීම. දොස්තරලා, ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු බිහිකර ගන්න. ඒ නිසා ඉංග‍්‍රීසියෙන් මේ අධ්‍යාපන ක‍්‍රමයට කියන්නේ ෆැක්ටරි මොඩල් කියලා. ෆැක්ටරිවලින් භාණ්ඩ නිෂ්පාදනය කරනවා වගේ සමාජයට අවශ්‍ය කරන සේවාවන් සපයන මිනිසුන් නිෂ්පාදනය කිරීම තමයි මේ පාසල්වල විශ්ව විද්‍යාලවල අරමුණ. නමුත් සමහර රටවල් වෙනස් ආකාරයේ අධ්‍යාපනයන් ගෙනිහිල්ලා ඉතා සාර්ථක ප‍්‍රතිඵල ලබාගෙන තිබෙනවා.

කොහොම උනත් දහම් පාසල් අධ්‍යාපනයත්, අද තිබෙන නවීන සමාජ ක‍්‍රමයත් සමග ගැලපිලා ඉදිරියට යා යුතුයි. අද තිබෙන තත්වයට කියන්නේ හරතවෙනි කාර්මික විප්ලවය කියලා. මේ හතරවෙනි කාර්මික විප්ලවයේ ස්වභාවය ටිකක් අමුතු එකක්. අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ ඇතැම් රැකියා ඇතැම් ව්‍යාපාර අපේ කාර්මික විප්ලවයේදී අතුරුදහන් වෙලා යනවා. එදා තිබූ සාප්පු, ස්ටූඩියෝ අද හොයාගන්න නැහැ. මේ විදිහට රට ලෝකය වෙනස් වෙමින් තිබෙනවා. අද ලෝකයේ ලොකුම ටැක්සි සමාගම වන ඌබර් සමාගමට ටැක්සි මිලියන ගණනක් තිබෙනවා. හැබැයි එක ටැක්සියකවත් අයිතිය නැහැ. ඒ වගේම ලෝකයේ ලොකුම හෝටල් සමාගමට එක හෝටල් කාමරයකවත් අයිතිය නැහැ. එය අන්තර් ජාලය මගින් තමයි සේවාව ලබාගැනීමට යොමු විය යුත්තේ. භාණ්ඩ විකුණන සමාගම් උනත් එහෙමයි. ඒ වගේම ඉස්සර පුවත්පත් තිබුණා ඒවාට කර්තෘලා හිටියා, මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා, ඩී.බී. ධනපාල මහත්මයා වැනි ප්‍රසිද්ධ චරිත. දැන් ඉන්න පුවත්පත් කර්තෘලා කවුරුත් දන්නේ නැහැ. අද මාධ්‍ය ලෝකයේ තිබෙන ලොකුම මාධ්‍ය තමයි ෆේස් බුක් එක. ඒකට කර්තෘ කෙනෙක්, අන්තර්ගතයක් නැහැ. හැබැයි නිල අයිතිරුවෙක් නම් සිටිනවා නමුත් හැමෝම එහි කර්තෘවරු, අයිතිකරුවෝ වගේම සෑම අන්තරගතක්ම එහි තිබෙනවා. අලූත් ලෝකයක් අද උදාවෙලා තිබෙන්නේ.

ඒ නිසා අපේ දහම් පාසලත් හතරවෙනි කාර්මික විප්ලවයට අනුව සකස් කරගත යුතුයි. ඒ නිසා තමයි අපි හෝමාගම නව තාක්ෂණ නගරය ඇති කළේ. නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය වගේම අභ්‍යවකාශ තාක්ෂණය ඇතුළු ක්‍රියාවලීන් සඳහා අපේ දරුවන් යොමු කරවීමට. මොකද අපේ කාලයට වඩා අද කාලය වෙනස් අද කාලය වඩා තව වසර 10 කින් ලෝකය වෙනස් වෙනවා. අපට හිතා ගන්නවත් බැරිවිදිහට ලෝකය වෙනස් වෙනවා. ඒ තත්වයට අපේ රට, සමාජය, දරුවෝ වෙනස් කර ගත යුතුයි. අපි කැමති උනත් අකමැති උනත් ලෝකය ඒ ගමන යන නිසා ඒ තත්වයට අපේ දරුවන්, සමාජය මෙන්ම දහම් පාසල සූදානම් කර ගත යුතුයි” යැයි පැවසීය.

scroll to top