සිල් රෙදි ව්‍යාපෘතිය පිළිබදව හිටපු ජනාධිපතිතුමා කරුණු පහදයි…

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 වගන්තියට අදාලව වරදකරුවන් බවට මහාධිකරණය විසින් තීන්දු කර ඇත. මෙහිදී චෝදනාව වූයේ  විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුමකට බැරකර සිල්රෙදි බෙදා දීම සඳහා සාවද්‍ය ලෙස පරිහරණය කර තිබෙන බවයි. මේ සඳහා මෙම නිලධාරීන් දෙදෙනාට ලැබී ඇති දඩුවම වන්නේ බරපතල වැඩ ඇතිව අවුරුදු තුනක සිර දඩුවමක් සහ එක් අයෙකුට රුපියල් මිලියන 02 බැගින් දඩයකි. එයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසමට එක් අයෙකු රුපියල් මිලියන 50 බැගින් වන්දියක් ගෙවිය යුතු  වන අතර එම මුදල ගෙව්වේ නැතිනම් තවත් අවුරුදු 02ක බරපතල වැඩ ඇතුව සිර දඩුවම් නියම වෙනු ඇත. මේ කාරණය ගැන බොහෝ අය මගෙන් විමසා සිටින නිසා මේ සම්බන්ධයෙන් මගේ අදහස් ජනතාව ඉදිරියේ තැබිය යුතු යැයි සිතමි.

 

මේ නඩු තීන්දුවෙන් හා දඩුවමෙන් මුලු රමට විමතියටත් කනස්සල්ලටත් පත් වී ඇත. ලලිත් වීරතුංග හෝ අනූෂ පැල්පිට සිල්රෙදි මිලදී ගැනීම සඳහා යොදවා ඇති මුදල් තමන්ගේ ප්‍රයෝජනයට ලබාගෙන නැති බව නඩු තීන්දුවේම සඳහන් වේ. මගේ දෘෂ්ඨිකෝණයෙන් බලන කල මොවුන් කර ඇත්තේ රටේ ජනාධිපතිවරයා විසින් ඔවුන් වෙත ලබාදුන් නීත්‍යානුකූල නියෝගයක් ක්‍රියාත්මක කිරීම පමණි. මා විසින් ඔවුන්ට මේ සම්බන්ධයෙන් ලබා දී තිබූ වාචික උපදෙස් ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිගොනුවල වෙනත් නිලධාරීන්ගේ දැනගැනීම පිණිස සිය අත් අකුරින්ම තබා ඇති සටහන් වලින් පැහැදිලි වේ. 2014 මාර්තු 20 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අවධානය පිණිස තබන ලද ලිඛිත සටහනක ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුම යටතේ 2014 වසර තුළ ‍සිදුකල යුතු බවට මා විසින් නියෝග දුන් ව්‍යාපෘති අටක් පිළිබඳ විස්තර සටහන් කොට ඇත.

 

මේ ලැයිස්තුවේ 6 වෙනි අංගය වූයේ පෝය දිනවල පන්සල් වල සිල් ගන්නා බැතිමතුන්ට ද්‍රව්‍යමය  ආධාර සැපයීමේ ව්‍යාපෘතියකි. එම ලැයිස්තුවේ තිබුණු සෙසු අංග අතර කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පරිඝනක අංශයට හා කලින් මායිම් ගම්මාන වශයෙන් හැඳින්වූ ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ඉදි කිරීමට ආධාර කිරීම වැනි ව්‍යාපෘති විය. 2014 මැයි 12 වනදා වීරතුංග මහතා සිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට සටහනක් තබමින් පවසා සිටියේ පෝය දිනවල සිල් ගන්නා බැතිමතුන්ට සිල්රෙදි බෙදා දිය යුතු බවට මම උපදෙස් දී ඇති බවයි. මේ ජනාධිපතිවරණය කැඳවීමට බොහෝ කලකට පෙරය. වසරකට රුපියල් මිලියන 1,000 ක මුදල් ප්‍රතිපාදනයක් සහිතව 2012 දී ආරම්භ කරන ලද ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමේ කාර්යභාර්ය වූයේ වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වල වැඩසටහන් වල හිඩැස් පිරවීම හා ජනාධිපතිවරයාට ඍජුව කෙරෙන ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමයි. මේ යටතේ ආරම්භ වූ සිල්රෙදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් ධූරය දැරෑ වටිනාපහ සෝමානන්ද හිමියන්ය.

 

සෝමානන්ද හිමිගේ ඉල්ලීම පරිදි සමෘද්ධි නිලධාරීන් මාර්ගයෙන් රටපුරා පන්සල් වලින් සිල්රෙදිවල අවශ්‍යතාවය සමීක්‍ෂණය කරනු ලැබුවේ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසිනි. සිල්රෙදි සපයන පුදගලික කොන්ත්‍රාත්කරුවන් එක් එක්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නම් කරන ලද එක් ප්‍රධාන පන්සලකට මේ සිල්රෙදි භාර දෙනු ලැබූ අතර, සෙසු පන්සල් මේ ප්‍රධාන මධ්‍යස්ථානයෙන් තමන්ට අදාල සිල් රෙදි ප්‍රමාණය ලබා ගැනීම මෙහි  ක්‍රමවේදය විය. මෙය පන්සල් 11,021 ක සහභාගීත්වයෙන් දීපව්‍යාප්තව සිදුකරන ලද ව්‍යාපෘතියකි. මෙකී සිල්රෙදි සපයන ලද්දේ පන්සල්වලට මිස ඡන්ද දායකයන්ට නොවේ. සිල්රෙදි පන්සලට ලැබුණු පසු එම සිල්රෙදි බෙදා දෙන්නේ කවදාද, කේසේද, කාටද යන්න තීන්දු කරනු ලැබුවේ විහාරාධිපති හිමිවරුන්ගේ අභිමතය පරිදිය. අසවල් දිනට පෙර මේ සිල්රෙදි බෙදා දිය යුතු යැයි පන්සල් වලට කිසිදු උපදෙසක් ලබාදී තිබුනේ නැත. විහාරාධිපති හිමිවරුන්ගේ අභිමතය පරිදි එම සිල්රෙදි එක්කෝ එවෙලේම නැතිනම් අවුරුද්දකට පසුව වුවද බෙදා දිය හැකි විය.

 

බෙදා හැරීමේ ක්‍රමවේදය තුළ දේශපාලන කාරණා මත සිල් රෙදි ලාභීන් තේරීමට කිසිඳු අවස්ථාවක් නොවීය. පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතිය යටතේ නිල ඇඳුම් බෙදා දෙන්නේද අවුරුද්දේ අන්තිමට වන අතර ඡන්දයක් තිබුණත් එය නැවැත්විය නොහැක. ඡන්දයක් පවතින අතර පාසල් නිල ඇඳුම් බෙදා දීමෙන් ඡන්දයේ ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබෙනවා යැයි කිසිවෙකුවත් කියන්නේ නැත. මෙම සිල් රෙදිද පාසල් නිල ඇඳුම් මෙන්ම බෞද්ධ බැතිමතුන්ට පොදුවේ බෙදා දෙනු ලැබූ රාජ්‍ය ආධාර විය. මේ සිල්රෙදි ව්‍යාපෘතිය සඳහාද යොදාගනු ලැබුවේ ආන්ඩුවේ පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතියේ පුද්ගලික සැපයුම්කරුවන්ම බවද සැලකිය යුතුය. වැඩිහිටියන්ට පමණක් නොව පෝය දිනවල සිල් ගන්නා දහම් පාසල් සිසුන්ටද සිල්රෙදි ලබාදෙනු ලැබීය. මෙකී සිල්රෙදි පැකැට්ටුවේ, “මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට අනුව යමින් කරන දහම් පඞුරක්” කියමින් ලේබලයක් තිබුණු බව මෙම නඩු තීන්දුවේ සඳහන්ය.

 

නමුත් මෙය මේ සිල්රෙදි ලැබෙන්නේ කොතනින්දැයි පෙන්වන ලේබලයක් පමණක් මිස 1981 අංක 15 දරණ ජනාධිපති මැතිවරණ පනතේ ඡන්ද සමයේ මුද්‍රිත පත්‍රිකා ප්‍රදර්ශනය කිරීමට අදාල 72 හා 68 (1)(ඉ) වගන්ති උල්ලංගනය කරන්නක් නොවේ. ජනාධිපති මැතිවරණ පනතේ ඡන්ද දායකයන්ට ‘සංග්‍රහ’ කිරීමට අදාල 77 වන වගන්තියද මීට අදාල නොවන්නේ මේ සිල්රෙදි සපයනු ලැබුවේ පන්සල් වලට මිස ඡන්ද දායකයන්ට නොවන නිසාය. එමෙන්ම මේවා බෙදා හැරීමට කිසිඳු කාල වකවානුවක් ලබාදී නොතිබුණු අතර දේශපාලන භේද නොතකා සියලු පන්සල් හා බෞද්ධ බැතිමතුන් ආවරණය වන පරිදි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. මෙය ඡන්ද සමයේ පොදු දේපල අවභාවිතය සම්බන්ධ නඩුවක් හැටියට හුවා දැක්වීමට ඇතැම් අය උත්සාහ ගත්තද ලලිත් වීරතුංගට හා අනුෂ පැල්පිටට එරෙහිව ඡන්ද නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ගොනුකරනු ලැබුව නැත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ අංක  164(4) වගන්තිය අනුව, යම් චූදිතයෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී ඔවුන්ට දඩුවම් පැමිණවිය හැකි වරදට අදාල නිතිය පැහැදිලිව සඳහන් විය යුතුය. නමුත් එවැන්නක් මෙහිදී සිදුවී තිබෙන බවක් නොපෙනේ.

 

මේ ව්‍යාපෘතිය සඳහා මුදල් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබා ගැනීමට සිදුවුයේ ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමේ මුදල් වෙනත් කටයුත්තකට යෙදවීමට සිදුවීම නිසාය. 2014 ඔක්තෝබර් 14 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලලිත් වීරතුංග මහතාට සටහනක් යොමු කරමින් පවසා සිටියේ 2014 වසර සඳහා ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමට ලබා දී ඇත්තේ රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදනයක් බවත්, එයින් රුපියල් මිලියන 400 ක් කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයේ ව්‍යාපෘතියකට දීමට සිදු වී ඇති නිසා සිල්රෙදි ව්‍යාපෘතියට ප්‍රමාණවත් මුදල් නොමැති බවයි. මෙයට පිළිතුරු දෙමින් 2014 ඔක්තෝබර් 15 වන දා සටහනක් තැබු ලලිත් වීරතුංග පවසා සිටියේ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට යැවිය යුතු මුදල් ඔවුන්ට ලබා දිය යුතු බවත්, සිල්රෙදි ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් පසුව ප්‍රතිපූර්ණ කිරීමේ පදනම මත විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබා ගන්නා බවයි. 2014 ඔක්තෝබර් 30 වනදා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලිපියක් ලියමින් වීරතුංග මහතා පවසා සිටියේ මේ සිල්රෙදි ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබා ගැනීමට තීන්දු කර ඇති බවයි.

 

ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට එදිනම මාණ්ඩලික පත්‍රිකාවක් සකස් කරමින් මේ සඳහා විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට කටයුතු කලේය. මේ මාණ්ඩලික පත්‍රිකාවෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අවසරය ඉල්ලා සිටිනු ලැබුවේ, (1) ආර්ථික ප්‍රතිපාදනයක් හැටියට විදුලි සංදේශ නියාමන කොමිසමේ සමාජසේවා ගිණුමට රුපියල් මිලියන 600ක් වෙන් කිරීමටත් (2) මෙකී රුපියල් මිලියන 600 ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමට ලබා දීමටත් (3) මෙකී මුදල් විදුලි සංදේශ නියාමන කොමිසමේ සමාජ සේවා ගිණුම හරහා වැය කිරීමටත් යන කාරණා තුන සඳහාය. මෙකී මාණ්ඩලික පත්‍රිකාව 2014 දෙසැම්බර් 15 වනදා පවත්වනු ලැබූ අධ්‍යක්‍ෂක මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ අතර එම යෝජනා තුනම කොමිසම විසින් ඒකමතිව සම්මත කරන ලදී. 2014 දෙසැම්බර් 5 වනදා අදාල මුදල විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුමට යවා තිබුණි. 2014 දෙසැම්බර් 29 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයාට සටහනක් ලියමින් ලලිත් වීරතුංග මහතා පවසා සිටියේ 2015 වසර සඳහා මුදල් ප්‍රතිපාදන ලැබුණු විගස අදාල මුදල විදුලි සංදේශ නියාමන කොමිසමට ප්‍රතිපූර්ණ කල යුතු බවත් 2015 පළමු කාර්තුව ඇතුලත අඩුම වශයෙන් රුපියල් මිලියන 200ක් වත් එසේ ලබාදීමට කටයුතු කල යුතු බවයි.

 

1996 අංක 27 දරණ පනතින් සංශෝධිත 1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 22ඊ(3) වගන්තියට අනුව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට එම කොමිසමේ ඕනෑම වියදමකට අනුමැතිය දීමට බලය ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුදල් රෙගුලාසිවල අංක 218,115,65,66,68,93 හා 94 යන වගන්ති වලට අනුව ඒ ඒ අමාත්‍යංශ වල ‘ප්‍රධාන ගිණුම් තබන නිලධාරීන්ට’ තමා යටතේ තිබෙන එක් ආයතනයකින් තවත් ආයතනයකට ප්‍රතිපූර්ණ කිරීමේ පදනම මත මුදල් ලබා දීමට බලය ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගිණුම් තබන නිලධාරියා වූයේ ලලිත් වීරතුංග මහතාය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයාට හා ජ්‍යෙෂ්ඨ සහාකර ලේකම්වරයාට ලලිත් වීරතුංග මහතා ලියා තිබුණු සටහන් උසාවියට ඉදිරිපත් කර තිබුණද තීන්දුව දීමේදී ඒ ලිඛිත සාක්‍ෂි මහාධිකරණය විසින් සැලකිල්ලට ගෙන නැත.

 

පැමිණිලි පාර්ශවය විසින් චූදිතයන්ට එරෙහි නඩුව ඔප්පු කිරීමට සාක්‍ෂි කරුවන් 21 දෙනෙකු උසාවියට ඉදිරිපත් කරන ලදී. මෙසේ පැමිණිල්ල විසින්ම ගෙන එන ලද සාක්‍ෂිකරුවන් ගණනාවක්ම, එනම්, පිළිවලින් අංක 13,20,15,04,14 හා 5 දරණ හේවගේ එමාලි ප්‍රියංකර, රුවනි සෞම්‍යා ගුණරත්න, වටිනාපහ සෝමානන්ද හිමි, සපුතන්ත්‍රිගේ චන්ද්‍ර ජගත්, මල්ලිකා කංකානම්ගේ ජයන්ත හා අමරසිංහ ලේකම්ලාගේ දොන් ගුණරත්න යන පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් මේ නඩුවේ චූදිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලය හා විදුලි සංදේශ නියාමන කොමිසමේ සේවය කර ඇති බවත්, ඔවුන් මේ සිල්රෙදි ව්‍යාපෘතියටද සම්බන්ධ බවත්, ඔවුන් චූදිතයන්ට ලැදියාවක් ඇතුව සාක්‍ෂි ඉදිරිපත් කර ඇති බවත් කියමින් මහාධිකරණය  ඔවුන් දුන් සාක්‍ෂි සැලකිල්ලට ගෙන නැත. මේ සාක්‍ෂිකරුවන් විත්තිය විසින් ගෙන එනු ලැබූ සාක්‍ෂි කරුවන් නොව පැමිණිල්ලේ සාක්‍ෂි කරුවන්ම වීම මෙහිදී සුවිශේෂ වෙයි.

 

මේ පූර්වාදර්ශය සියලුම රාජ්‍ය සේවකයන්ට ගැටළුකාරී තත්වයක් ඇති කරයි.  උදාහරණයක් වශයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සේවකයකු ක්‍රියාපටිපාටි උල්ලංගනය කිරීමේ චෝදනාවක් මත උසාවියට ඉදිරිපත් කරනු ලැබුවහොත්, එවැනි චූදිතයෙකුට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීමට නැතිනම් නිශ්ප්‍රභා කිරීමට හැකි වන්නේ රේගු දෙපාර්තමේන්තුව තුලින්ම ලබා ගන්නා ලිඛිත හා වාචික සාක්‍ෂි වලට අනුවයි. රේගු දෙපාර්තමේන්තුවේ ක්‍රියාපටිපාටි හා භාවිතයන් පිළිබඳ විස්තර වෙනත් ආයතන වලින් ලබාගත නොහැක. මෙවැනි අවස්ථාවල, පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් පවා සපයන සාක්‍ෂි, ඔවුන් වූදිතයන් සමඟ එකට සේවය කර තිබෙනවාය, එම නිසා ඔවුන් චූදිතයන්ට ලැදියාවක් දක්වනවා විය හැකිය යන පදනම මත එම සාක්‍ෂි සැලකිල්ලට ගැනීමෙන් වැලකී සිටිනවා නම්, මෙවැනි නඩුවල චූදිතයන්ට කිසිදා තමන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කිරීමට නොහැකිවෙනු ඇත. ලලිත් වීරතුංග මහතා එකල රටේ සිටි ඉහලම රාජ්‍ය නිලධාරියා වුවද, ඔහු තමා යටතේ සිටි නිලධාරීන්ට තම අත් අකුරින්ම ලියූ සටහන් හා නියෝග උසාවිය විසින් සැලකිල්ලට නොගෙන තිබීමද කාගෙත් අවධානයට යොමු වෙනු ඇත.

 

මෙය පූර්වාදර්ශයක් බවට පත්වුවහොත් යම් චෝදනාවක් මත උසාවියකට ඉදිරිපත් කරනු ලබන කිසිදු රජයේ සේවකයකුට තමාගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමට ක්‍රමයක් නැතිවනු ඇත. විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් අනන්‍ය හා සම්පූර්ණ බලය ඇත්තේ එම කොමිසමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට වුවත්, 2014 දෙසැම්බර් 15 වැනි දින අනූෂ පැල්පිට මහතාගේ මාණ්ඩලික පත්‍රිකාවට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී තිබීමද උසාවිය සැලකිල්ලට ගෙන නැත. මේ හේතුවෙන් අධ්‍යක්‍ෂ මණ්ඩල හරහා පාලනය වෙන පුද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ ආයතනවල කටයුතු දැඩි අවිනිශ්චිතතාවයකට ලක්වීම වැලැක්විය නොහැක.

 

ලලිත් වීරතුංගට හා  අනුෂ පැල්පිටට දැඩි දඩුවම් පනවා ඇත්තේ ඔවුන්  අල්ලස් ලබාගත් නිසාවත්, දූෂනයේ යෙදුණු නිසාවත් නොව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහම ආරක්‍ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට අදාල 9 වන වගන්තිය යටතේ ආණ්ඩුවට පැවරෙන වගකීම් ඉටුකිරීම සඳහා පන්සල් වලට සිල්රෙදි බෙදා දිමට රාජ්‍ය නායකයා විසින් දෙනු ලැබූ නියෝගයක් පිළිපැදීම නිසාය. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ආණ්ඩුව මෙහෙයවනු ලබන්නේ ජනාධිපතිවරයාද ඇතුලත් කැබිනට් මණ්ඩලය විසිනි. රජයේ සේවකයන් විසින් සිදුකරනු ලබන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සද්භාවයෙන් කටයුතු කිරීමයි. තමන් හොබවන තනතුර භාවිතා කර පුද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ චෝදනා නැතිනම් ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරන රජයේ සේවකයන් ආරක්‍ෂා කිරීම සෑම ආණ්ඩුවකම පොදු ප්‍රතිපත්තිය විය යුතුය.

scroll to top