සියවසක කසළ ගැටළුව විසඳන්න සියළු කටයුතු සූදානම්

Garbage-1.jpg

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, අද (17) දින කරදියාන කසළ අංගනයේදී පැවති ‘නිකසළ ජවය’ කසළින් විදුලිය නිපදවීමේ වැඩසටහනේ තෙවන ව්‍යාපෘතියේ ඉදිරිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිකිරීම් ආරම්භ වූ අතර ෆෙයාවීල් හෝල්ඩින්ග්ස් ආයතනය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරයි. දිනකට කසළ ටොන් 500 කින් විදුලිය මෙගා වොට් 10 ක් නිපදවීමට මෙමගින් බලාපොරොත්තු වන අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය අධික්‍ෂණය කරනු ලබයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘2007 දී මම පරිසර ඇමතිවරයාව සිටියදී මේ කරදියාන පිළිබඳව මට මුලින්ම ලැබුණේ පැමිණිල්ලක්. මෙම වටිනා පරිසර පද්ධතියක් හිමි ස්ථානයට කසළ ගෙනවිත් දමා විශාල ව්‍යසනයක් සිදු වෙමින් පවතිනවා යැයි පරිසර සංවිධාන ගණනාවක් විසින් මට දැනුම් දීමක් කළා. ඒ අනුව මා මෙහි පැමිණ සොයා බැලීමේදී මෙම ඉඩම් හි අයිතිය තිබුණේ පුද්ගලයින් කිහිප දෙනෙකුට. ගෝල්ඩන් සන්රයිස් නම් සමාගම විසින් තමයි මෙම කසළ කළමනාකරණය එම කාලයේ සිදුකරනු ලැබුවේ. එහිදී මට පෙනී ගියා අපේ ප‍්‍රදේශවල කසළ දැමීමට තැනක් නොමැතිවීම නිසා මෙම ගැටළු පැන නැගී ඇති බව. එම තත්වයම බ්ලූමෙන්ඩල්වලත් තිබුණා. මධ්‍යම පරිසර අධිකාරියත් මෙම ස්ථානවලට කසළ ගෙන එන සමාගම්වලටත් නඩු පවරන ලෙස තමයි එම පරිසර සංවිධාන විසින් මාගෙන් ඉල්ලා සිටියේ. එනමුත් පැවති තත්වය මත අපි තීරණය කළා කසළ කළමනාකරණය පිළිබඳව විධිමත් වැඩසටහනක් සෑදිය යුතුයි කියලා. මධ්‍යම පරිසර අධිකාරියට තිබුණේ නඩු දැමීමේ බලය පමණයි. නමුත් අපි නිර්මාණය කරනු ලැබුවා පිළිසරු නමින් ව්‍යාපෘතියක්. එම ව්‍යාපෘතියට රජයේ අරමුදල් ලැබුනේ නැහැ. එම අවස්ථාවේදී මා විසින් ප්ලාස්ටික් වලින් බද්ධක් අය කිරීමට යෝජනා කළා. එම බදු මුදලින් පිළිසරු ව්‍යාපෘතිය අපි දියත් කළා. මෙරට ප‍්‍රාදේශීය සභා නගර සභා 338 ක් තිබෙනවා. වසර දෙකක පමණ කාලය තුළ ඒවයින් 70ක පමණ පිළිසරු ව්‍යාපෘතිය දියත් කළා. අද වනවිට එම ප‍්‍රමාණය 130 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. කණගාටුවට කාරණය නම් අපේ ආණ්ඩු අධිවේගී මාර්ග හදන්න ඒ වගේම ජලාශ හදන්න නගර හදන්න වියදම් කලාට කසළ කළමනාකරණයට මුදල් ලබාදුන්නේ නැහැ. ඒ නිසා මේ ගැටලූව ඉදිරියට ගෙනයන්න මේ පිළිබඳ ශක්තිමත් විසඳුම් සොයන්න ප‍්‍රධාන බාධාවක් ඒ තුළින් ඇති වුණා.

අමාත්‍යාංශයේ දී අප සැලසුම් කරනු ලැබුවා කසළ කලමණාකරණය පිළිබඳව අන්තර් ජාතික වශයෙන් ටෙන්ඩර් කැඳවා ඒ සඳහා සුදුසු සමාගම් කැඳවන්න. ඒ අනුව පළමුවෙන්ම අපි ඒ ගැන විශ්ලේෂණය කරන්න නිලධාරී කමිටුවක් පත් කළා. අපේ අමාත්‍යාංශයේ ලේකම්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා, පළාත් සභාවේ එම කාලයේ සිටි ලේකම්තුමිය ඇතුළු පිරිස එයට ඇතුළත් උනා. ඊ ළඟට මේ සම්බන්ධව තාක්ෂණික දැනුම ඇති විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසකගේ මූළිකත්වයෙන් ප‍්‍රධාන තාක්ෂණික කමිටුවක් පත් කළා මේ කටයුතු පිළිබඳව සොයා බලා කි‍්‍රයා කරන්නට. පසුව අපි ලෝකය පුරාම ටෙන්ඩර් කැඳවීමක් සිදු කලා. ඒ අනුව ෆෙයාර්වේ ආයතනය ඇතුළු 113 දෙනෙක් තමන්ගේ ටෙන්ඩර් පත් ඉදිරිපත් කළා. ඒ අය අතරින් තරඟකාරී පදනමකින් තමයි මේ ෆෙයාර්වේ ආයතනයට මෙය ලබාදුන්නේ. ඒ අනුව ඉදිරි 18 මාසය තුළ මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කරදෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අයට එම කටයුත්ත සිදු කිරීමට නොහැකි වුවහොත් රාජ්‍ය සමාගමක් මගින් එම කටයුතු නිම කිරීමට අපට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

වරාය නගරය ඉදිකිරීමට මා වෙත නීත්‍යානුකූල බලය ලබාදුන්නා. ලංකාවේ සිදුවූ විශාලතම පෞද්ගලික ආයෝජනය තමයි වරාය නගරය. පරිසරවේදීන්, ධිවරයින්, සමාජ කි‍්‍රයාකාරීන් විසින් එය නතර කරන ලෙස ඉල්ලා සිටියා. ඒ හැම කෙනා සමගම සාකච්ඡා කර ඒ හැමෝගේම අදහස් ඇතිව කඩිනම් ව්‍යාපෘතියක් ලෙස එය අප කි‍්‍රයාත්මක කර තිබෙනවා. ගොඩනැගෙන මුල්‍ය නගරය තුළිනුත් විශාල කැළිකසල ප‍්‍රමාණයක් නිර්මාණය වීමට නියමිතයි. ඒ සියල්ල ගැන සලකා බලා තමයි අවශ්‍ය උනොත් රජයේ ව්‍යාපෘතියක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ පෞද්ගලික අංශ සාර්ථකව මෙම කටයුත්ත සිදු කළහොත් තවදුරටත් ව්‍යාප්ත කිරීමට අප කටයුතු කරන බව සඳහන් කළ යුතුයි.

මේ වන විට ස්ථාවර කර ඇති මීතොටමුල්ල ඉදිරි වසර තුන තුළදී නාගරික උද්‍යානයක් ලෙස සකස් කිරීමට කටයුතු කරන අතර බ්ලූමෙන්ඩල් කසළ කන්ද තිබෙන ප‍්‍රදේශයත් වරාය අධිකාරියත්, රේගුවත් සමග එකතු වී විධිමත් සංවර්ධනයකට ලක්කරනවා. කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ විධිමත් කසළ උද්‍යානයක් ඉදිකරගෙන යනවා. කොළඹ නගරයේ තිබෙන සියළුම කැළි කසළවලින් එම ස්ථානයේදී විධිමත් ප‍්‍රයෝජනයක් ගන්න විදිහට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ මාසය අගදී අපි බලාපොරාත්තු වෙනවා කොළඹ නගරයේ කසළ වලින් නිපදවන කාබනික පොහොර අලෙවි කිරීමට කටයුතු කරන්න. ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළදී ඉතා සීග‍්‍රයෙන් සකස් කළා. ඒ වගේම පුත්තලමේ හිරිගල් වලවල් නිසිලෙස භාවිත කළහොත් මෙම සියවස ඇතුළේ මුළු රටේම උත්පාදනය වන කසළ ගෙනිහින් දැම්මත් ඒ හිරිගල් වලවල් පුරවන්න බැහැ. එපමණ විශාල හිරිගල්වලවල් ප‍්‍රමාණයක් එතන තිබෙනවා. නමුත් අප එම ප‍්‍රදේශවල ආගමික නායකයෝ, ප‍්‍රජා නායකයෝ සමග සාකච්ඡා කරගෙන යනවා. පරිසර අධ්‍යනය මේ වන විට අවසන් කර මහජන අදහස්වලට යොමුකර තිබෙනවා. එම ව්‍යාපෘතිය ඔක්තෝම්බර් මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා සියලූ දෙනාගේම අදහස් යෝජනා කැටිකරගෙන. එමගින් මේ සියවසක ගැටළුව විසඳීමට අවශ්‍ය කරන ශක්තිය රටට ලැබෙනවා.එය බාධා නොකරන ලෙස දරුවන්ගේ නාමයෙන් සියළු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ඩයලොග් ආයතනය හරහා විශේෂ ඇප් එකක් අප නිර්මාණය කර තිබෙනවා. ඒ හරහා ඕනෑම කෙනෙකුට කසළ තිබෙන තැන් ඡායාරූප ගත කර අපට ලැබෙන්න සැලැස්වීම මගින් අදාල බලධාරීන් වෙත යොමුකිරීම මගින් අපට කටයුතු කිරීමට පුළුවන්.

මේ කරදියාන අංගනය භාරව තිබෙන්නේ පළාත් සභාවේ කසළ කළමනාකරණ අධිකාරියට, ඒ වගේම මෙම ව්‍යාපෘතියත් අප ඇගයීමට ලක්කර කසළ කළමනාකරණ අධිකාරියට ලබාදුන්නා. එය විධිමත්ව අවසන් කරයි කියා අප බලාපොරොත්තු වෙනවා. එමගින් මෙරට කසළින් තොර නිකසළ ජවය උපදවන රටක් බවට මෙරට පත් කරන්න, මෙරට අනාගතයට සූදානම් කරන්න හැකියාව අවස්ථාව ලැබේවා’ යයි පැවසීය.

scroll to top