සිංහල, දෙමළ ජාතික පාසලක් ප‍්‍රමුඛතාවය මත මැද කොළඹට පිහිටුවන්න – ඇමති චම්පික

Champika-1.jpg

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප‍්‍රදේශ, සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ‘ලක්සෙත සෙවණ’ මහල් නිවාස සංකීර්ණය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අද දින (13) ජනතා අයිතියට පැවරුණු අවස්ථාවට සහභාගී වෙමිනි.

රුපියල් ලක්ෂ 21,600 ක ආයෝජනයකින් ඉදිකළ ‘ලක්සෙත සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක 480 කින් සමන්විතය. නිවසක් වර්ග අඩි 550 කින් යුක්ත වන අතර, නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුලූතැන් ගෙයක්, සඳළුතලයක් සහ සනීපාරක්‍ෂක පහසුකම්වලින් සමන්විත වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘අපි පියවරෙන් පියවර කොළඹ නගරය විධිමත් පිළිවලක් සහිත ස්ථානයක් බවට පත් කරන්න කටයුතු කරගෙන යනවා. 2015 වසර අපට තරමක් අමාරු වසරක් උනා. හුඟ දෙනෙක් චෝදනා කළා රටේ වැඩ නතර උනා, කොන්ත‍්‍රාත් කරුවන්ට වැඩ නැතිවුණා. ඒ වගේම මේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ජනතාවට නිවාස ලැබීමට තිබූ අවස්ථාව නතර උනා කියලා. ඇත්තටම මේ නාගරික පුනර්ජීවන ව්‍යපෘතිය තිරසර ව්‍යාපෘතියක්. පවතින්න ඉදිරියට යන්න කි‍්‍රයාත්මක කරපු ව්‍යාපෘතියක් නෙමෙයි. මේ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කළේ නිවාස 50,000 ක් හදන්න. ඒ නිවාස 50,000 හදන්න බිලියන 200 කට ආසන්න අතිවිශාල ධනස්කන්ධයක් ඕනෙ. හැබැයි නාගරික සංවර්ධන අධිකාරිය තිබුණේ ණයවරයක් නිකුත් කිරීම මගින් ලබාගත් බිලියන 10ක් පමණයි. එයින් තමයි මේ බිලියන 200 ක වැඩකරන්න ගියේ. ඒ නිසා අපිට 2015 වර්ෂය අවසානයේදී විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදු උනා. නාගරික සංවර්ධන අධිකාරියට මේ ඉදිකරන ලද නිවාසවලට බිලියන 39 ක් දෙන්න උනා. ඒ වගේම මේ කොන්ත‍්‍රාත් ලබාදුන් ව්‍යාපෘතිවලින් 8 දෙනෙක්ම එම ව්‍යාපෘති දාලා ගිහින් තිබුණා. මේ කොන්ත‍්‍රාත් කරපු අපේ ආයතන කොන්ත‍්‍රාත් නොමැති කමින් විශාල අර්බුදයකට පත්වෙලා තිබුණා. අපි රජයෙන් යම් යම් සහන ඉල්ලූවත් ඒ අවස්ථාවේදී අපට සහන ලබාදීමට පුළුවන් තත්වයක හිටියෙත් නැහැ. සමහරුන්ට සහන ලබාදීමට ඕනකමක් තිබුණෙත් නැහැ. කෙසේ නමුත් අපි ධෛර්යෙන් යුතුව ඉදිරියට ගිහිල්ලා 2016-2017 වසර වල අපේ ගැටළු විසඳගන්න කටයුතු කළා. අපට මේ වසරේදී ආණ්ඩුව වශයෙන් ජනාධිපතිතුමත් අගමැතිතුමත් උදව් කළා මේ කටයුත්ත ඉදිරියට ගෙනයන්න. අපේ මේ දුගී බවේ පත්ලේ වැටී සිටින ජනතාව සංස්කෘතික අතින්, කාන්තාරයක අතරමං වී සිටින ජනතාව ගොඩනගන්නට ඒ අත්වැල සැපයීම පිළිබඳව අප ස්තූතිවන්ත වෙනවා.

මේ රටේ ආර්ථිකය අද ඉදිරියට ගෙනයන්නේ, ඉස්සරහට පිම්මක් පැනලා තිබෙන්නේ රටේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය නිසයි. විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරලා රටට අවශ්‍ය කරන ඉදිරි පිම්ම මෙම වසර දෙක තුළ ලබා දුන්නා. විශේෂයෙන්ම 2016 වසර තුළ අපේ රටේ ආර්ථිකයේ සමහර ක්‍ෂෙත‍්‍ර හැකිලිලා යද්දි, 2017 අවුරුද්දේ කෘෂි කාර්මික ක්‍ෂෙත‍්‍රය වගේ ඒවා හැකිලිලා යද්දි ඉදිිකිරීම් ක්‍ෂෙත‍්‍රය අඛණ්ඩව 12% කට වැඩි වේගයකින් වර්ධනය වෙන තත්වයක් අතිකර ගන්න අපට හැකියාව ලැබුනා. ඒ හැකියාව අප ලබා ගත්තේ රජයේ ආයෝජනයකින් නෙමෙයි නාගරික සංවර්ධන අධිකාරිය පුද්ගලික අංශයත් තමන්ගේම අරමුදල් ඇතිකරගෙන ඉදිරියට යාමෙන්.

ඒ වගේම අපි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රජයේ ආයෝජනයකින් තොරව රටේ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය වන වරාය නගරය ඉදිකරගෙන යනවා. ඒ වරාය නගරයේ අවස්ථා අපේ මේ දූ දරුවන්ට ලැබෙන බවට අපි සහතික කරනවා. කොළඹ නගරයේ දරුවන්ගේ රැුකියා ප‍්‍රශ්නය විසඳීම සඳහා මූළාරම්භය අපි එයින් ලබා ගන්නවා. ඒ නිසා අපේ දෙමාපියන්ගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා දරුවෝ පාසල් යවල ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙන්න නැතිනම් අපේ දරුවා හැමදාම ත‍්‍රීවිල් එකයි, පේමන්ට් එකයි උරුම කරන්න එපා. ඔවුන්ට පැහැදිලි අනාගතයක් තිබෙනවා ඒ සඳහා ඔවුන් යොමුකරවන ලෙස. අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ මැද කොළඹ ලක්‍ෂ 2 කට ආසන්න ජනතාවක් ජීවත්වෙනවා, විශාල පාසල් ප‍්‍රමාණයක් තිබෙනවා. නමුත් අපේ දරුවන්ට යන්න පහසුකම් සහිත පාසලක් නැහැ. ඒ නිසා වහාම සිංහලෙන්, දෙමළෙන් ජාතික පාසලක් මැදකොළඹට ප‍්‍රමුඛතාවය මත පිහිටුවන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. මොකද අපේ දරුවන්ගේ අනාගතය ගොඩනැගෙන්නේ අධ්‍යාපනය හරහායි. අපි ගමන් කරමින් තිබෙන්නෙ දැන උගත් මිනිසුන්ගේ දැනුම් ආර්ථිකයක් කරායි. ඒ දැනුම් ආර්ථිකයට යන්න නම් රටේ එක ජන කණ්ඩායමක් නෙමෙයි මේ සෑම ජන කණ්ඩායමක්ම ඒ මාවතේ ගමන් කළ යුතුයි. රටේ ආසනයට එක බැගින් ජාතික පාසල් ගොඩනැගෙන විට මැද කොළඹටත් පාසලක් දෙන්න කටයුතු කරයි කියා අපි විශ්වාස කරනවා. අද වැලිකඩ සිරගෙදර 70% ක් ඉන්නේ අපේ මේ ජනතාවගේ දරුවෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා. ඒ වැලිකඩ හිරගෙදර වෙනුවට අපි පාසල් ටිකක් ගොඩනැගුවා නම් මේ නගරය ඉහළට ගොඩනැගෙද්දි එය ඉන්දියානු සාගරයේ බලගතු නගරයක් ලෙස පත්වෙද්දි ඒ විශ්වය ජයගන්නා දූපුතුන් බවට, වැලිකඩ හිරගෙදර හෙරොයින්වලට, අපරාධවලට කල්ලි ගැහිලා ඉන්න අපේ දරුවෝ අපට පරිවර්ථනය කරන්න පුළුවන්. එය තමයි අපි දේශපාලනයකදී කරගන්න වැදගත්ම පුණ්‍ය කර්මය බව අපි මේ අවස්ථාවේදී අවධාරණය කරන්න ඕනේ.

ඒ වගේම මේ කොළඹ නගරයේ කැලි කසළ කළමනාකරණය කරන කොට අපි දැක්කා, ඇල මාර්ග නැහැ. වතුර බැහැලා යන්න ක‍්‍රමයක් නැහැ. ඉතාම අපිරිසිදු තත්වයක පවතින්නේ. ඒ නිසා මේ ප‍්‍රදේශ පවිත‍්‍රව විධිමත්ව ඉදිරි කාලයේ පවත්වාගෙන යන්නට අපට ඔබගේ සහයෝගය අවශ්‍යයි. අද ඉන්දියාවේ අගනගරය දිල්ලිය අද වහලා දාලා. පාසල් වහලා. සියළුම ඉදිිකිරීම් කටයුතු නතර කරලා. වාහන පැමිණීම ඔත්තේ ඉරට්ටේ ක‍්‍රමයටයි සිදුවෙන්නේ. නගරය වායු දූෂණයෙන් පිරිලා. එය කොපමණද කියනවා නම් සෑම පුද්ගලයෙකුම දිනකට සිගරට් 44ක් බොන තත්වය මිනිසෙකුට බලපානවද, අද දිල්ලියේ වායු දූෂණය එම තැනට පත්වෙලා. 2008 වසරේ කොළඹත් ඔය කි‍්‍රයාවලිය ඇතිවෙමින් තිබුණා. අපි ඒ අවස්ථාවේදී පරිසර අමාත්‍යාංශය යටතේ වායු විමෝචනය පාලනය කිරීම සඳහා අපි පියවර ගත්තා. එහි ප‍්‍රතිඵලයක් හැටියට මේ දකුණු ආසියාවේ නගරවලින් වායු දූෂණය එන්න එන්නම අඩුවෙලා තිබෙන එකම නගරය බවට කොළඹ නගරය පත්වෙලා තිබෙනවා. එහෙම නම් මේ නගරය විධිමත්ව, ලස්සනට, පිරිසිදුව, වටිනා ජලතීරයන් සහිතව ගොඩනැගුවහොත්, ඒවගේම අහස පිරිසිදුව තිබුණහොත් විදේශිකයෝ දහස් ගණනක් මෙරටට පදිංචියට එනවාට සැකයක් නැහැ. අද ඉන්දියානු ධනය ඇති අය ඩුබායි, අබුඩාබිවලට ඇදෙනවා වගේ කොළඹට ඇවිල්ලා ඒගොල්ලෝ ජීවත්වන කාලය වැඩි ඈතක නෙමෙයි. මේ නගරයේ සෑම ජල බිංදුවක්ම, පාංශු බින්දුවක්ම, වායු බිංදුවක්ම රැුක ගැනීම අපටත් අපේ දරුවන්ටත්, අපේ අනාගතයටත් ඉතාම අත්‍යාවශයයි.

මේ නගරය පහුගිය ජූලි මාසයේ කුණු උනා කැලි කසළ වලින්. ඉතාම බරපතල ප‍්‍රශ්නයක් මතු උනා. අද අපි කියන්න සතුටුයි දකුණු ආසියාවේ වැඩිම දොඹකර ගණනක් වර්ග කිලෝමීටරයකට තිබෙන ගොඩනැගෙන නගරයත්, පිරිසිදුම නගරය කොළඹ බවට අපි පරිවර්තනය කරන්න ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ නායකත්වයෙන් හැකිවුණා. ඒ වගේම අද ඩෙංගු මර්ධනය කරන්න බැහැයි කියලා කතා කළා. අද ඩෙංගු පහළටම ඇවිත් තිබෙනවා. මේ සඳහා අපට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන්න සිදු උනා. මේ මාස 7 ට පාරට, ඇළවල්වලට කුණු දාපු අය 10,000 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිසා ඒ නරක සිරිත්වලින් අපි අයින් වෙමු. අයින් වෙලා මේ පස, වතුර, අහස්කුස අපේ දරුවන්ට උරුම කර දෙන්න වැදගත් මිනිසුන් හැටියට උගත් මිනිසුන් බවට අපේ දරුවන් පත් කිරීමේ අරමුණකට අපි පෙළගැසෙමු කියා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

අපේ තරුණයෙක් කිව්වා වගේ ඇඩ‍්‍රස් නැතිවෙලා හිටපු ඇපල්වත්තේ ජනතාවට උගත් වැදගත් අනාගතයක් සඳහා නව ඇඩ‍්‍රස් එකක් මෙමගින් ලැබෙනවා. එම ඇඩ‍්‍රස් එක පාවිච්චි කර ඔබේ දරුවන්ව විශ්වය ජයගැනීමට හැකි ඉහළම තැනකට ඔසවා තබන ලෙස සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා යයි පැවසීය.

scroll to top