සෑම ආගමකටම අමාත්‍යාංශයක් අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

Thalatha-Athukorala.jpg

“මේ නත්තල් ගස නිර්මාණය කරද්දී නොයෙකුත් බාධක ආවා. මේ හැමදේම සිදුවෙන්නේ පසුගිය කාලයේ වගේ රජයේ මුදල් භාවිත කරමින් කියලා ඇතැම් අය පැවසුවා. නමුත් රජයේ මුදල් නිකරුණේ නාස්ති කරන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් අපිට නැහැ. එවැනි දේ කරන ආණ්ඩුවක් අපිට නැහැ. අපේ ආණ්ඩුව නාස්තිය උපරිමයෙන්ම අඩු කළ ආණ්ඩුවක්. ඒ නිසා තමයි මේ නත්තල් ගස රජයේ මුදල් යොදා නොගෙන පෞද්ගලික පරිත්‍යාග මත සිදු කර තිබෙන්නේ. සමහරු රුපියල් පනහ, සියයෙන් පවා  ආධාර කළා. මේක තමයි අපේ බලාපොරොත්තුව. සියලුදෙනා එක්ව වැඩ කළොත් අපිට රටක් හැටියට ජයග්‍ර‍හණය කිරීම ඉතාම  සුළු දෙයක් යන වැදගත් පණිවුඩය මේ කටයුත්ත තුළින් මුළු රටටම ගෙන යනවා…..”  යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන පිළිබඳ ගරු අමාත්‍ය තළතා අතුකෝරළ මැතිනිය පවසයි. එතුමිය මේ බව කියාසිටියේ ඊයේ (28) ලොව විශාලතම කෘත්‍රීම නත්තල් ගස පස්වැනි දිනට විවෘත කිරීමේ උත්සවයට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

“අපි යහපාලනය වෙනුවෙන් කැප වුණු ආණ්ඩුවක්. අපේ දේශපාලන භේද නැහැ. වෛරය, කුහකකම නැහැ. රටේ  ඉතිහාසයේ මිනි මරාගත්ත, ගහගත්ත පක්ෂ දෙකක් පළමු වතාවට අද ආණ්ඩු කරනවා.  අපිට අවශ්‍ය සියලුම ශ්‍රී ලාංකිකයින්ට හොඳින් ජීවත්වීමේ අයිතිය ලබාදීමයි. යහපාලනය වෙනුවෙන් කැපවූ අප සියලු දෙනාගේ බලාපොරොත්තුවත් එයයි. කිසිම ආගම් භේදයක්, ජාති භේදයක් නැතිව ජීවත් වීමේ නිදහස ඇති කරන්න ජනාධිපතිතුමත් අගමැතිතුමත් ගන්නා වූ ඒ උත්සාහය මල්ඵල දරන්නේ  මෙවැනි කටයුතු නිසා. මේ රට පාලනය කළ ජනාධිපතිවරුන් බෞද්ධ කටයුතු, ඉස්ලාම් කටයුතු, හින්දු කටයුතු,  ක්‍රිස්තියානි කටයුතු විදියට අමාත්‍යාංශ පවා ඇති කළේ හැම කෙනෙකුටම එක සේ සැලකිය යුතු නිසා. සියලුම ජාතීන් සමගියෙන් ජීවත් වන අපේ රටේ මෙවැනි කටයුත්තක් සිදුකිරීම සම්බන්ධයෙන් අපි ප්‍ර‍ශංසා කළ යුතුයි. අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ මඟපෙන්වීම ඇතිව මෙය නිර්මාණය කිරීම ලොකු ශක්තියක්. එතුමා මේ රටට කීර්තිය ගෙන ආවා වගේම මේ රටේ ජයග්‍රහණය සඳහා හැම අතකින්ම කැපවූ පුද්ගලයෙක්. ක්‍රීඩාපිටියේදීත් එහෙමයි, දේශපාලනයේදීත් එහෙමයි. පසුගිය ජනවාරි 08 වැනිදා ජයග්‍ර‍හණය වෙනුවෙන් එතුමා එළියට එනවිට විශ්වාස කළ දේ තමයි පක්ෂ, පාට, ආගම්, ජාති භේදයන්  නැතිව, කුහකකම වෛරය නැතිව ශ්‍රී ලාංකිකයින් ලෙස සිතා අප සියලුදෙනා ජීවත් විය යුතුයි කියන අදහස. අද එය ඉටු වෙමින් පැවැතීම සතුටට කරුණක්..” යනුවෙන්ද ගරු අමාත්‍යතුමිය ප්‍ර‍කාශ කළාය.

scroll to top