සැප ආසන භාවිතය බුදු දහමට පටහැනිද?

උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන ශික්ෂාපදය ඔබ හොඳින් අසා ඇතිවාට සැකයක් නැත.පෝයදාට පන්සල් ගොස් සිල් සමාදන්වීමේදී අපි මේ ශික්ෂාපදය සමාදන් වෙමු.අටසිල් දස සිල් යන සීල දෙවර්ගයේම මේ ශික්ෂාපදය දක්නට ඇත.බොහෝවිට අපි සිල්සමාදන්ව එදින බිම වාඩිවී දහම් අසමින් භාවනා කරමින් කාලය ගත කරන්නෙමු.මන්ද නිවසේදී මෙන් පුටුවල,සෝපාවල මෙලෙස සිල් සමාදන්ව අසුන් ගැනීම නුසුදුසු බව අප සිතන බැවිනි.උච්චාසයන නමින් හැඳින්වෙනුයේ උස් අසුන්ය.ඇඳන්,සෝපා,පුටු ආදි සැපපහසුකම් ඇති ආසනයි.මහ අසුන් නම් හිඳගත්විට හෝ සයනය කරන විට සිරුර ඒ අසුන් හෝ සයනතුළට ගිලාබස්වන අයුරින් විල්ලුද ආදියෙන් නිමාවූ ඉතා සුවපහසු සුඛෝපභෝගී විශාල ප්‍රමාණයේ ආසන,පුටු,සෝපා,ඇඳන්,කවීචි ආදි හිඳිමට,සයනයට භාවිතාවන සැප පහසු උපකරණයි.සාමාන්‍ය නිවසක පුටු,ඇඳන්,සෝපා,කවීචි ආදියෙහි මේ ලක්ෂණ අඩුවැඩි වශයෙන් දක්නට ඇත.ගිහි නිවෙස්වල ඔවුනට ඇති වත්පොහොසත්කම්වල ප්‍රමාණයට මේවායේ සුඛෝපභෝගී බවේ අඩුවැඩිකම් තිබේ.මිල මුදල් යහමින් ඇති නිවෙස්වල දක්නට ලැබෙන පුටු,සයන,කවිචී,සෝපා ආදියෙහි ඇති සුඛෝපභෝගීත්වය එසේ මිල මුදල් නොමැති නිවෙස්වල ඇති එබඳු දේවලට වඩා වැඩි බව දැකගත හැකිය.මෙසේ හිඳීමට,සයනයට භාවිතාකරන උපකරණවල සුඛෝපභෝගීත්වය උපරිමව තබාගැනීමට ඒ සඳහා මිනිසුන් මෙලෙස යහමින් මිලමුදල් වියපැහැදම් කරන්නේ මන්ද?ස්පර්ශකාමය කෙරෙහි ඇති තෘෂ්ණාව මීට හේතුවයි.මානව සිරුරේ සම පිහිටි සෑම ස්ථානයකම සංවේදී ස්නායුතන්තු ඇත.සමට ස්පර්ශවන සෑම දෙයක්ම වේදනා (senses)ලෙස මොළයට සංඥා යවනුලබන අතර මානව මොළය මෙය හඳුනාගෙන එය කුමන ස්වරූපයක වේදනාවක්දැයි ක්ෂණිකව සංජානනය කරනු ලබයි.

මානව ස්නායුපද්ධතියේ කාර්යභාරය වේදනාදැනීමේ ක්‍රියාවළිය (sensing) වේදනා සංජානනය ලෙස (sense perception) හැඳින්වේ.මේ වේදනා දැනීම ඇසීම,ආඝ්‍රාණය,රසදැනීම,පෙනීම,ස්පර්ශය,සිතීම ආදී සය අයුරකින් සිදුවේ.ඒ අනුව ස්පර්ශය යනු වේදනාදැනීමේ සමස්ත ක්‍රියාවළියේ 1/6ක කොටසකි. එම කුඩා 1/6ක කොටස තෘප්තකරනු පිණිස මෙලෙස මනුෂ්‍යයෝ වියපැහැදම් කරති.කාම යන පාලි වචනයේ අර්ථය කැමති වේ යන්නයි.කැමැත්ත,රුචිකත්වය,ආශාව මෙලෙස වර්ධනයවීමෙන් තෘෂ්ණාවද තෘෂ්ණාව වැඩිදියුණුවීමෙන් උපාදානයද, උපාදානය වැඩිදියුණුවීමෙන් පරිලාහයද ඇතිවේ.ලෝකය සමඟ බැදීම් ඇතිවීමේදී ඒ බැඳීම ක්‍රමිකව වර්ධනයවනුයේ කාමයේ සිට පරිලාහය දක්වා වේදනාව දැඩිව රසවිඳීමේ වුවමනාව ඇතිවීම නිසාය.සීලය නම් විරතියයි.හෙවත් විරමණයයි.කායික හා වාචසිකව විරති ඇතිකර ගැනීම සීලයෙන් සිදුවේ.හේතු සහිතවම මේ විරතිය ඇතිකරගනියි.අහේතුකව නොවේ.ස්පශය ඇතිවීම හැමවිටම සැප සහගත නැත.ඇතැම්විට කටුක,දුක් ස්පර්ශද ඇතිවේ.වඩා නිවැරදිව කිවහොත් එලෙසට මොළය යම්යම් ස්පර්ශ වේදනා වටහාගනු ලැබීමයි.මේ අයුරින් ඇතැම් ස්පර්ශ වේදනා දුක්,කටුක සේද තවත් ස්පර්ශ වේදනා සැප,සුඛ සහගත ලෙසද, ඇතැම් ස්පර්ශ වේදනා මේ දෙවර්ගයටම අයත්නොවන බැවින් මධ්‍යස්ථ උපේක්ෂා වේදනා ලෙසද මොළය විසින් වටහාගනු ලැබේ.සෑම ස්පර්ශයක්ම මොළය වෙත ස්නායුපද්ධතිය මඟින් ලැබෙනුයේ සංඥාවක් ලෙස පමණකි.එම සංඥා විග්‍රහකරන මොළය ඉන් පසු ඒ සංඥා,සැප,දුක්,උපේක්ෂා ලෙසට වර්ගීකරණය කරනු ලැබේ.එසේ වර්ගීකරණය කරගැනීමෙන් පසුව ඊට අදාළ ප්‍රතිචාර දක්වනු ලබයි.ඒ අනුව සැප වේදනාවට ආකර්ශණීය ලෙසද,දුක් වේදනාවට විකර්ශණීය ලෙසද උපේක්ෂා වේදනාවට මධ්‍යස්ථ ලෙසද ප්‍රතිචාර දැක්වේ.මෙසේ තෙවදෑරුම්ප්‍රතික්‍රියා දැක්වීමට හේතුව අපගේ මනස කාලයක් තිස්සේ වැරදි ආකල්ප පද්ධතියකට හුරුකරවනු ලැබ තිබීමයි.

කාලයක් තිස්සේ වැරදි ආකල්ප දත්ත ලෙස ලබාදෙමින් අපගේ මනස ක්‍රමලේඛනය (programming) කිරීම මෙසේ ස්පර්ශ ඇතුළු සියලු වේදනා වර්ගීකරණය කිරීමටද ඒ අනුව ප්‍රතිචාර දැක්වීමටද හේතුවයි. මෙසේ වර්ගීකරණයකරගැනීමේ හා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවළිය අඛණ්ඩව සිදුවීම වැරදි ආකල්පවලට මනස හුරුවීමට හේතුවයි.මෙය මෝහය නමින් හැඳින්වේ.මෝහය බැහැරින් ඇතිවන දෙයක් නොව ඒ සමස්ත ක්‍රියාකාරීත්වය වරදවාවටහා ගැනීමයි.මෙලෙස හේතුඵල ක්‍රියාකාරීත්වයක ඵලය හා ඵලසමූහය යළිත් හේතුසමූහයක් ලෙස ඵලසමූහයක් හටගැන්වීමට සාධකය ලෙස ඉදිරිපත්වේ. චක්‍රීයක්‍රියාවලියක් ලෙස මෙය හැඳිනගත හැකිය.පටිච්ච සමුත්පාදයතුළ විග්‍රහවනුයේ මේ චක්‍රීයක්‍රියාවළියයි.හේතුප්‍රත්‍යවල ක්‍රියාකාරීත්වය සූවිසිපට්ඨානයේ වඩා ගැඹුරින් විග්‍රහකර ඇත.පටිච්චසමුප්පාදය හා පට්ඨාන ඉගැන්වීම් තුළ ෂඩ් සංවේදන ක්‍රියාකාරීත්වය පමණක් නොව ඒ ඇසුරින් සත්වයා,භවගමන,එහි නිරෝධයද විග්‍රහ කර ඇත.මේ ඉගැන්වීම් ගැඹුරුය.විද්‍යාත්මකය.මේ සුක්ෂම විශ්ලේෂණය ගණිතයේ,ශුද්ධවිද්‍යා විෂයන් වලද විද්‍යමානය.බුදු දහම කලාවිෂය ධාරාවට අයත් වුවද බෞද්ධ ඉගැන්වීම් නිසි අයුරින් අවබෝධකර ගැනීමට පාලි වචන කටපාඩම්කර තාලයකට සජ්ඣායනා කිරීමෙන් කළනොහැකිය.මේ පරම ගැඹුරුවූ ඉගැන්වීම් නිසිපරිදි අවබෝධකරගත හැක්කේ ඊට අවශ්‍ය විශ්ලේෂණ හැකියාව සහිත ජීවවිද්‍යාත්මකව බුද්ධිමත් අතලොස්සකට පමණකි.ත්‍රිහේතුක පටිසන්ධිය ලබා ඇතිඅය පමණක් මාර්ගඵල අවබෝධයට පත්වනබව බුද්ධදේශනාවේ සඳහන්වනුයේ එබැවිනි.ගිහිපැවිදි බොහෝදෙනෙකු මෙකල බුදුදහම යැයි සිතනුයේ කලාවිෂයධාරාවට අයත් ඉහතකී ජනප්‍රියලක්ෂණවලින්යුතු නොගැඹුරු කටපාඩම් බුද්ධාගමයි.

වේදනා දැනීම්ක්‍රියාවලිය ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ඇසුරින් නිවැරදිව විග්‍රහකර විශ්ලේෂණයකර අවබෝධ කිරීමට වෑයම් කිරීම විදර්ශනා භාවනා වැඩීමයි.එය හුදකලා ස්ථානයක බද්ධපර්යංකගතව දෙනෙත්වසා සිදුකළද මෙබඳු ලිපියක් කියවමින් සිදුකළද උගත්ධර්මධර අය හා සාකච්ඡා කරමින් සිදුකළද යමෙකු සිදු කරන දේශනයකට සවන්දෙමින් සිදුකළද කිසිදු වෙනසක් නැත.වඩා වැදගත්වනුයේ ක්‍රමය නොව අවබෝධය ලැබීමයි.එකම තැනකටයාමට පාරවල් බොහෝගණනක් ඇති සේ අවබෝධයලැබීම පිණිස ක්‍රම විශාල සංඛ්‍යාවක් තිබේ.තමාට ගැලපෙනක්‍රමය තෝරාගෙන ඒ අනුවකටයුතුකර අවබෝධය ලැබීම තමන්ගේ රාජකාරියයි.එක් අයෙකුට ගැලපෙන ක්‍රමය තවත් අයෙකුට ඒ අයුරින්ම සාර්ථක නොවේ.ඒ නිසා අනුගමනය කරන ක්‍රම පිළිබඳ වාදවිවාද තර්කකරමින් කාලය නාස්තිකිරීම තේරුමක්නැති දෙයකි.

වේදනා දැනීම් ක්‍රියාකාරීත්වය නිසි ලෙස අවබෝධකර ගැනීමට නම් පළමුව ඒ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම පහසුවකි.ඒ අරමුණ ඉටුකරගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම්වල සීල විරතිය දක්වා ඇත.ඒ අනුව ස්ර්ශ වේදනා ක්‍රියාකාරීත්වය අවබෝධ කරගැනීම පහසුවීම පිණිස කායික සුඛය ඇතිවන දේ පරිහරණය කිරීමෙන් වැලකීම ශීල ශික්ෂාවක් ලෙස දක්වා තිබේ.මේ ලිපියට මාතෘකාවූ උස් අසුන් මහඅසුන් භාවිතා කිරීමෙන් වැලකීම සීල ශික්ෂාවක් ලෙස ගිහිපක්ෂය සිල්සමාදන්වීමේදී අනුගමනය කරනු ලබයි.ගිහියන් පමණක් උස් අසුන් මහ අසුන් පරිහරණයෙන් වැලකීම පමණක් සෑහේද?නැතහොත් පැවිදිපක්ෂය ඉහත කී සීල ශික්ෂාවෙන් නිදහස් කර තිබේද?බුදුරදුන් ගිහියන්ට වෙනම නිවනකුත් පැවිද්දන්ට වෙනම නිවන් අවබෝධයකුත් දේශනා කර තිබේද?නිවැරදි බුදු දහමේ නිවන් අවබෝධය පිණිස ප්‍රතිපදා දෙකක් නැත. නිවන් අවබෝධය පිණිස ඇත්තේ එකම ප්‍රතිපදාවයි.එය සමථවිපස්සනා,ආර්ය අෂ්ටාංග මග්ග,මධ්‍යම ප්‍රතිපදා,සප්තවිශුද්ධි වැඩීම ආදී වශයෙන් දක්වා ඇත.ගිහිපැවිදි භේදය ඇතිවනුයේ මේ එකම ප්‍රතිපත්තිය අනුගමනයකරන වේගයේ ඇති වෙනස මත පමණකි.පැවිද්දා එකම ප්‍රතිපදාවේ හංසයා මෙන් වේගවත්ව ගමන්කරන අතර ගිහියා මොණරා මෙන්ද මන්දගාමී ගමනය නිරතවන බව දක්වා ඇත.බුද්ධකාලයේ දී මෙය අකුරටම මේ අයුරින්ම ක්‍රියාත්මකවූ බැවින් එකල සසුන රහතුන්ගෙන් පිරිපැවතින.අනාගාමීඵලය ලැබූ ඡත්තපාණි,චිත්ත ආදී ගිහිඋපාසකයෝද විසූහ.නමුදු මෙකල දෙපක්ෂයම බෙහෙවින් පිරිහී සිටිති.ඒ අතරින් ගිහියෝ අඩුම තරමින් පොහෝදිනයට හෝ සිල්සමාදන්ව උස් අසුන් මහ අසුන් පරිහරණයෙන් වැලකී මහරහතුන් අනුගමනය කරති.නමුදු පැවිද්දෝ වසරේ තුන්සිය හැටපස් දවසේම උස්අසුන් මහ අසුන් පරිහරණය කරති.මෙය දක්වනුයේ කිසිවෙකු ගැන ද්වේෂයෙන් නොව කාරුණිකව වරද පෙන්වා දී නිවැරදිකර ගැනීමේ කාරුණික සද්චේතනාවෙන් බව සලකනු මැනවි.කවුරු සිදුකළත් වරද වරදමය.

අද මෙරට සෑම තැනකම ඇති පන්සල්වල බෞද්ධ භික්ෂූන්ගේ පරිහරණය පිණිස ඇති උච්චාසයන මහා සයන ආදිය පිළිබඳව කල්පනා කර බලන්න.පන්සලක බෞද්ධ භික්ෂූන් අසුන් ගන්නා ස්ථානයත් ගිහි අය අසුන් ගන්නා ස්ථානයත් පිළිබඳව සලකා බලන්න.දුප්පත් පොහොසත් භේදයකින් තොරව අද සෑම පන්සලකම පාහේ හිඳගත් විට මුළු පංචස්කන්ධයම සුවදායිව යටට ගිලා බසින ඉස්තරම් වර්ගයේ අති සුඛෝපභෝගී සෝපාසෙට්,කුෂන් පුටු,කවිචී,ඇඳන් ආදිය දැකගත හැකිය.ගිහියා යම්තම් පශ්චාත්භාගය පමණක් තබාගත හැකි පටු කුඩා බංකුවක ඉතා අපහසුවෙන් හිඳ සිටිනවිට හෝ සිටගෙන සිටින විට හෝ බිම හිඳ සිටිද්දී පැවිද්දෝ ඊට ඉදිරියෙන් සුඛෝපභෝගී සෝෆාවල සිරුර සතපවමින් කාමභෝගීව හිඳිති. ටයිල් අතුරනලද සුවපහස් මාළිඟාබඳු පන්සල්වල දෙපයට වැලි ඇටයක්වත් නොපෑගෙන සේ වැඩහිඳිති. අල්පේච්ඡතාව හැරදා මහෙච්ඡතාව,අධිපාරිභෝජනවාදී පැවැත්ම ප්‍රදර්ශනය කරන පැවිදිපක්ෂය දුටුවිට මෙරට බුදුදහමේ පැවැත්ම පිළිබඳ කණගාටුවක් අවංකවම සිතට නැඟේ.සාමණේර දශසීලයද,උපසම්දා සීලයද තුළ උච්චාසයනමහාසයනා වේරමණී ශික්ෂාව ඇතත්,එය වචනයට සීමාකර පිළිවෙත කඩකරති.

බ්‍රහ්මචරිය ප්‍රතිපදාවතුළ නෙක්ඛම්මයට මූලිකත්වය හිමිව තිබේ.කාමයෙන් නික්මීම බාහිරව,අභ්‍යන්තර ලෙස සිදුවීම අත්‍යවශ්‍යය.කාමයේ ප්‍රබලම ස්ථානය ස්පර්ශ කාමයයි.කාමාශාව ඉස්මතුවනුයේ ස්පර්ශයට ඇති තෘෂ්ණාව නිසාමය.උස් හා මහ අසුන් ආසන පරිහරණයෙන් සිදුවනුයේ ස්පර්ශ කාමය විඳීමට සිත්හි තෘෂ්ණාව වර්ධනයවීමයි.ලිංගික තෘෂ්ණාවද ස්පර්ශ කාමයමැයි.ගිහිප්‍රතිපදාවතුළ ස්පර්ශකාමය විරතියට මුලුමනින්ම යොමුනොවුනද පැවිදි ප්‍රතිපදාවතුළ ස්පර්ශකාම විරතිය අනිවාර්යය.එබඳු පැවිද්දෙකු විරතිය අත්හැර ස්පර්ශකාමය විඳීමට උස්අසුන් මහඅසුන් පරිහණයට යොමුවීමතුළ බෞද්ධ ප්‍රතිපදාවෙන් ඉවත් වීම පැහැදිලිව සනිටුහන්වේ.පැවිද්දා මෙලෙස මෙයට යොමුවීමට ප්‍රබල සමාජ හේතුවක් පැවතිය යුතුය. මෙයට ප්‍රධාන හේතුව බුද්ධ චීවරයට මෙරට ලැබී ඇති ගරුත්වයයි. ඒ ගරුත්වය අනුව තමාගේ පැවැත්ම සකසාගැනීම වෙනුවට ඒ ගරුත්වය අවභාවිතයට ගැනීමට යොමුව තිබීම අදදින බුදු දහමේ පරිහානියට ප්‍රබල හේතුවක්ව තිබේ.ඒ ගරුත්වය ඕනෑ දෙයකදී ගැලවීම ලැබීමට,සැඟවීමට භාවිතාකරන ඉබිකටුවක් බවට පත්කරගෙන ඇත.පාලි ත්‍රිපිටක අධ්‍යයනයට යොමුවී ඒ පිළිබඳ ගැඹුරු දැනුමක් ලැබීමට භික්ෂූහු යොමු නොවෙති.බුදුදහමේ මතුපිට ඔපයේ ජනප්‍රිය ලක්ෂණ හුවා දක්වා චීවරය උපයෝගීකරගමින් මිනිස් සිතේ ජාගරහැඟීම්වන ආවේගශීලිත්වය ඉස්මතුකරවීමට මෙකල ඔවුන් බහුලව යොමුවනුයේද එබැවිනි. සත්‍යාවබෝධය පිණිස සැබෑ බුදු මඟට ප්‍රවේශවීමට ඔබට ශක්තිය ලැබේවා.ඔබසැමටතෙරුවන් සරණයි!

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top