සැප්තැම්බර් 17 ට අවුරුදු දෙකයි. මහානගර ව්‍යාපෘතියට රජය රුපියලක්වත් අයෝජනය කර නැහැ

Champika-5.jpg
  • ඉදිරි වසර 3 දී කිරිමණ්ඩල මාවතේ කොටසක හරිත නගරයක්.
  • 2018 මුලදී හොරණ, මීරිගම සහ ඒකල ආශ‍්‍රිතව නව සංවර්ධන සැලැස්මක්.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩබිම බවට පත්ව තිබූ කිරිමණ්ඩල මාවතේ භූමි භාගය සහ ඒ ආශ‍්‍රිත කොටසක් සංවර්ධනය කරමින් සුවිශේෂ හරිත නගරයක් නිර්මාණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව ඇමති චම්පික රණවක පවසයි. කොළඹ හා කෝට්ටේ ආශ‍්‍රිතව පවතින නාගරික තදබදය සඳහා විකල්ප ස්ථානයක් වශයෙනුත් පාසල්, රෝහල්, සාප්පු සංකීර්ණ සහ කාර්යාල සහිත නව නිවාස යෝජනා ක‍්‍රමයක් එම සුවිශේෂී හරිත නගරය ආශ‍්‍රිතව ඉදිරි වසර 3 ඇතුළත ඉදිකරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ ආශි‍්‍රතව නව දුම්රිය මාර්ගයක් මෙන්ම නාරාහේන්පිට වැදගත් දුම්රිය මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කිරීමටත් පියවර ගැනේ. මහාමාර්ග පද්ධතිය, ජල අපවහණය සහ හරිත නගරයේ කසළ කළමනාකරණය පිළිබඳවද අවධානය යොමු කරමින් සංවර්ධන කටයුතු සිදු කෙරෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කිරිමණ්ඩල මාවතේ ඉදිකෙරෙන නව හරිත නගරය නිසාවෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩබිම කෙරවළපිටිය ආශ‍්‍රිත නව ප‍්‍රවර්ජන නගරයේ ඉදිකිරීම සඳහා අද උදෑසන ඇමති චම්පික රණවක විසින් මුල්ගල තැබිණ. එම අවස්ථාවට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල, ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂ රොෂාන් ගුණවර්ධන, සමාන්‍යාධිකාරී ශ‍්‍රීමතී සේනාධීර ඇතුළු ඉංජිනේරු කාර්ය මණ්ඩලය සහභාගී විය.

එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, අතීතයේදී කෙරවලපිටිය හැමෝගෙම කුණු ගොඩගැසුණු තැනක් බවට පත් වූවත් මේ වන විට ක‍්‍රමාණුකූලව මෙම ප‍්‍රදේශය වරායට, ගුවන්තොටුපලට සේවය සපයන සේවා සහ ප‍්‍රවර්ජන නගරයක් බවට පත් කරමින් තිබෙන බවයි. ඒ සඳහා නව අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප‍්‍රවේශ මග ඉතා වැදගත් සාධකයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වසරේ සැප්තැම්බර් 17 වන දිනට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වසර 2 ක් පිරුණත් මහානගර ව්‍යාපෘතීන්ට රජය විසින් රුපියලක්වත් ආයෝජනය කර නොමැතිවීම ඉතා කණගාටුදායක තත්වයක් බව ඇමති චම්පික පවසයි. එමෙන්ම බස්නාහිරට කිසිදු අධිකාරී බලයක් පවරා නැතැයි ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. අතීතයේ ආණ්ඩුවේ සල්ලිවලින් මහාපරිමාණයෙන් සිදු කෙරුණු මහවැලි ව්‍යාපෘති සිදු කිරීමටත්, පවත්වාගෙන යාමටත් බලගතු නීත්‍යානුකූල මහවැලි අධිකාරියක් බිහි කළා. ඒ වගේම විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපලවල් සහ මහාමාර්ග ඉදිකරන්නත් රජය විශාල වශයෙන් අයෝජනය කර තිබෙනවා. එහෙත් ගොඩනැගෙන මහානගර සංවර්ධන වැඩපිළිවෙලට රජය රුපියලක්වත් ආයෝජනය කරලා නැහැ. හැමෝගෙම විරෝධතා තිබූ වරාය නගරය, පරිසරවේදීන්ගේ, වෘත්තීය සමිති කණ්ඩායම්වල වගේම නිලධාරීන් සමග සාකච්ඡා කර එකඟතාවයෙන් රටට වාසිදායි අයුරින් අපි සංවර්ධනය කරලා තිබෙනවා. ඒකටවත් රජය වියදම් කර නැහැ.

ආණ්ඩුව ආයෝජනය නොකර මෙතරම් ව්‍යාපෘති ගණනාවක් එකවර රටතුළ කි‍්‍රයාත්මක කරපු ඉතිහාසයේ කිසිඳු කාලසීමාවක් නැහැ. අපේ නිලධාරීන් හොඳ හිතින් අනෙක් අමාත්‍යාංශ සමග ඉතා හොඳ සහයෝගයකින් අපේ ව්‍යාපෘති සියල්ලම පාහේ ඉතා හොඳින් කරගෙන යනවා.

ඒ වගේම මේ වන විට ඉදිවන හෝමාගම තාක්ෂණ නගරය, ඒ වගේම වෘත්තීයවේදීන්ගේ නවෝත්පාදන නගරය සහ 2018 වර්ෂයේ ආරම්භයේදී හොරණ කේන්ද්‍ර කරගත් කර්මාන්ත පුරයක්, මීරිගම කේන්ද්‍ර ගත් කර්මාන්ත නගරයක්, කටුනායක ඒකල කේන්ද්‍රකරගත් ගුවන් නගරයක් ස්ථාපිත කිරීම සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම් කර හමාරයි. නීත්‍යානුකූල ආයතනයකුත් නැතිව, භාණ්ඩාගරයේ හයියක් නැතිව මහා දැවැන්ත ව්‍යාපෘති රැසක් අපි රටට ගෙනල්ල තිබෙනවා. ඊට කැපවූ සියළු තරාතිරම්වල නිලධාරීන්ට අපේ ස්තුතිය අපි පිරිනමනවා. ඒ වගේම රටේ  ඕනෑම ඉංජිනේරු ආයතනයක් සමග තරඟ කළ හැකි සවිමත් රාජ්‍ය ඉංජිනේරු ආයතනයක් බවට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සවිමත් කරන බවට ද ඇමති චම්පික රණවක මහතා පවසයි.

scroll to top