සාම්පූර් ගල් අඟුරු බලාගාරයට පරිසර අනුමැතිය ලැබේ; ඉදිකිරීම් කඩිනමින්

sampur-1.jpg

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක දායකත්වයක් ලබාදීමට නියමිත, සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරයේ පළමු සහ දෙවන අදියර ඉදිකිරීම් කටයුතු ඉදිරි මාස කිහිපය තුළදී කඩිනමින් ආරම්භ කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් දෙන ලදී.

අමාත්‍ය සියඹලාපිටිය මහතා විසින් මෙම උපදෙස් සපයන ලද්දේ ඊයේ (18) සාම්පූර් බලාගාර පරිශ‍යේ වර්ථමාන තත්ත්වය සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සංවිධානය කර තිබූ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ අජිත් පී. පෙරේරා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරුන් සහ විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූහ.

මෙහිදී අමාත්‍යවරයා විසින් බලාගාරය ඉදිකිරීම සඳහා යෝජිත භූමියත්, ඒ සඳහා වන පිවිසුම් මාර්ගයත්, බලාගාරයේ දත්ත ඇතුළත් සැලසුමත් පරීක්ෂා කළ අතර ව්‍යාපෘතිය සම්බන්ධ නිලධාරීන් සමග සාකච්ඡුාවක්ද පවත්වන ලදී. අනතුරුව ප‍්‍රදේශවාසීන් සමගද සුහද කතාබහක යෙදුන අමාත්‍ය සියඹලාපිටිය මහතා, විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමා නිරන්තරයෙන් උත්සාහ දරන්නේ, විදුලි පාරිභෝගිකයාට අවම මිලක්, අවම පරිසර හානියක් යටතේ අඛණ්ඩ සහ ගුණාත්මක විදුලිබල සැපයුමක් ලබාදීමට බව පැවසීය. එසේම ජාතික සත්කාරයක් ලෙස සිදුකෙරෙන මෙම බලාගාර ඉදිකිරීම් වලදී, ඒ සඳහා ජනතාවගේ සහයෝගයද උපරිමයෙන් අපේක්ෂා කරන බව පැවසීය.

අක්කර 500 ක භූමි ප‍්‍රමාණයක් යොදාගනිමින් ඉදිකෙරෙන සාම්පූර් ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 600 ක් පමණ වියදම් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. විදුලි බලාගාරය ඉදිකිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන පරිසර සංවිධාන මෙන්ම ප‍්‍රදේශවාසීන් ආදි සියලූ පාර්ශවයන්ගේ අවසරය, අනුමැතිය සහ සහයෝගය ලබාගනිමින්, බලාගාරය ඉදිකිරීම සහා අවශ්‍ය ගිවිසුම් සහ නීතිමය කටයුතු නිමවා ඇති බවත්, බලාගාරය සඳහාවන පරිසර අනුමැතියද මේ වසරේ පෙබරවාරි 02 දින හිමිවූ බැවින්, අනාගතයේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට ස්ථිරසාර පිළියමක් වශයෙන්, ඉදිරි මාස කිහිපය තුළදී සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරයේ පළමු සහ දෙවන අදියර ඉදිකිරීම් කටයුතු අරඹන බවත් අමාත්‍යවරයා පැවසීය, එසේම ඉදිකිරීම් කඩිනමින් නිමවා විදුලි ජනන කටයුතුද හැකි ඉක්මනින් ඇරඹීමට තමා බලාපොරොත්තු වනබවත්, විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ පැවති නිරීක්ෂණ චාරිකාවේදී වැඩිදුරටත් අවධාරණය කළේය.

sampur-2

scroll to top