ස්ථාන 06 ක මධ්‍යම පාන්තික වෘත්තීය නිවාස 5,000ක් ඉදිකරනවා – අමාත්‍ය පාඨලී

Maligawatte-Flats.jpg

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප‍්‍රදේශ සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා මහනගර අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් කි‍්‍රයාත්මක කරනු ලබන දිවිසරු පුරවර ව්‍යාපෘතියට සමගාමීව මාලිගාවත්තේ ඉදිකරන ලද නිවාස ඒකක 192 කින් සමන්විත ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය විවෘත කෙරුණි.

මාළිගාවත්ත ‘ලක්හිරු සෙවණ’ මහල් නිවාස ව්‍යාපෘතියේ සමස්ථ නිවාස ඒකක ප‍්‍රමාණය 768 කි. නිවාස 192 බැගින් ගොඩනැගිලි 4 ක් ඉදිකිරීම සැලසුම් කර ඇති අතර ඉන් නිවාස 384 ක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස ලෙස ලබාදීමට නියමිතයි. ඒ අනුව පළමු නිවාස 192 අද (28) දින අතිගරු ජනපතිතුමාගේ සුරතින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදි. එහිදී භාරදුන් සමස්ථ නිවාසයන් හි වටිනාකම රුපියල් ලක්ෂ 6, 270කි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යාවරයා, ‘‘අද ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ඉතා වැදගත් දවසක්. මේ නගරය විධිමත් නගරයක් බවට පරිවරථනය කරන්න, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන් සහ කොළඹ දුම්රිය සේවයට තමන්ගේ ජීවිත දිය කර හැරපු, දහදිය මහන්සිය හෙළපු අපේ කම්කරු වැඩකරන ජනතාවට මේ නිවාස පද්ධතිය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවාස පද්ධතියක් ලෙස ලබාදීමට හැකිවීම අපි විශාල ජයග‍්‍රහණයක් ලෙස සලකනවා.

මේ කොළඹ නගරයේ විවිධ දේශපාලන නායකයින් විසින් විවිධ වැඩසටහන් දියත් කළා නාගරික නිවාස ගැටළුව විසඳීමට. පීටර් කෙනමන් මැතිතුමාගේ සිට රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ නායකයින් වැඩසටහන් ගණනාවක් දියත් කළා. පසුගිය 2013 වර්ෂය කාලයේ ආරම්භ කළ වැඩසටහන්වල අඩුපාඩු බොහොමයක් නිසා 2015 වන විට අඩපණව ගියා. එයින් එක් ව්‍යාපෘතියක් තමයි මෙම ව්‍යාපෘතියත්. ව්‍යාපෘති 20 ක් දියත් කළා, එම ව්‍යාපෘති 20 ට බිලියන 70ට වඩා වියදම යනවා. නමුත් නාගරික සංවර්ධන අධිකාරියට තිබුණේ බිලියන 10යි. එයත් ණයවර නිකුත් කිරීමක් මගින් උපයාගත් ධනයක්. ඒ නිසා කොන්ත‍්‍රාත් කරුවන්ට ඒ අවස්ථාවේදී නිසි ගෙවීම් කරන්න බැරිව කිසිම තිරසරත්වකින් තොරව තමයි බිලියන 10 ක් අතේ තියාගෙන බිලියන 70 ක වැඩසටහනකට අත ගැහුවේ. දෙවනුව කොන්ත‍්‍රාත් කරුවන් තෝරා ගැනීමේදී විධිමත් පටිපාටියක් අනුගමනය කළේ නැහැ. ඒක නිසා ඉතාම දුර්වල, වංචාකාරී පිරිස්වලට නාගරික සංවර්ධන අධිකාරියේ කොන්ත‍්‍රාත් ලබාදීම සිදු කර තිබුණා. අපට මේවා මෙහෙම කියන්න වෙලා තියෙන්නේ සමහර අය කියනවා අපි හදපු ගෙවල් විවෘත කරගෙන යන එක විතරයි ආණ්ඩුව කරන්නේ කියලා. මම එතුමන්ලට මතක් කරන්න කැමතියි ඒ යෝජනාවලි ඇතැම් දේවල් සාර්ථක උනත් බහුතරය අසාර්ථක උනා. මෙවැනි ව්‍යාපෘති 12 ක් අපි 2015 නොවැම්බර් මාසයේදී හඳුනාගත්තා. ව්‍යාපෘති 12 ගෙවල් 6,600 ක් මේ කොළඹ නගරයේ සම්පූර්ණයෙන්ම අත්හැර දමා තිබෙන බව අපට තේරුණා. ඒ නිසා අපට සිදු උනා ආරම්භයේ ඉඳන්ම නැවත ගොඩනගන්න. අරමුදල් සම්පාදනය කරගන්න. කොන්ත‍්‍රාත් කරුවන් සොයා ගන්න. ඒ වගේම වංචාකාරී පිරිස් ඉවත් කරන්න අපට සිදු වුණා. ඒ ආකාරයට තමයි නැවතත් මේ පුනර්ජීවන ව්‍යාපෘතිය නැවත පුනර්ජණනය කරලා ඉදිරියට ගෙනයන් කටයුතු කරලා තියෙන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් නොගන්නා රජයට පාඩු කරන්නේ නැති ලාබ ලබන ආයතනයක් ලෙස අපි පවත්වාගෙන යනවා. මේ නිවාස හැදීමේ මහා ජාතික කර්තව්‍යයටත් එනිසා අපි අත තබා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් නැවතත් ඉල්ලා සිටිනවා අපට ලබන වසරේදීත් මේ කටයුතු ඉදිරියට ගෙනයාමට අත්‍යවශ්‍ය වෙනවා. ඒ සහයෝගය ලබාදෙන ලෙස. අගමැතිතුමාගේ මූලිකත්වයෙන් මධ්‍යම පාන්තික නිවාස සහ පැල්පත්වාසීන්ගේ නිවාස ඉදිකිරීම සඳහා විශේෂ වැඩසටහනක් අපේ අමාත්‍යාංශයත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියත් පදනම් කරගෙන දැන් කි‍්‍රයාත්මකයි. ඒ සඳහා අපට අරමුදල් ශක්තිය අවශ්‍යයි. අපි නාගරික සංවර්ධන අධිකාරිය පොරොන්දු වෙනවා. ඒ අරමුදල් නැවත ගෙවලා මේ රටට ශක්තිමත් ජන ජීවිතයක් අපේ ජනතාව තුළින් ගොඩනගන්නත් අපි පොරොන්දු වෙනවා.

ඒ වගේම අපි මේ වසරේ ස්ථාන 6ක මධ්‍යම පාන්තික වෘත්තීය නිවාස 5,000 ක් ඉදිකිරීමේ වැඩ ආරම්භ කරනවා. දැනටමත් අපේ බොරැල්ලේ නිවාස සංකීර්ණයේ වැඩ ඉතා හොඳින් කරගෙන යනවා. විශාල පිරිසක් ඒ සඳහා ඉල්ලීම් කර තිබෙනවා. සමහරුන්ගේ බියක් තිබෙනවා. එය අපේ මහබැංකු අධිපතිතුමත් පමුණුවා තිබෙනවා. මේ නිවාස වේගයෙන් ඉදිකරගෙන ගිහින් මෙය ආර්ථීක පෙන බුබුලක් බවට පත්වෙයි ද කියලා. අපට පේන හැටියට මේ නිවාස ක්‍ෂෙත‍්‍රයේ තිබෙන ඉල්ලුම තවමත් ප‍්‍රමාණවත් නැහැ. අපට 2022 වෙනකන් මේ ශක්තිමත් ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයක් හැටියට ඉදිරියට යාමේ හැකියාව මේ ක්‍ෂෙත‍්‍රයට තිබෙනවා. ඒ වගේම අපේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයත් මේ හරහා විශාල ඉදිරි පිම්මක් ළඟා කරගත්ත බවත් ප‍්‍රකාශ කරන්න ඕනේ. අද ඕනම නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ ශක්තිය දේශීය කර්මාන්ත කරුවන් තිබෙනවා. ඕනම විදේශීය සමාගමකට වඩා හොඳින් ඉදිකිරීමේ හැකියාව අපේ ඒ සමාගම් අත්පත් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් 2020 වන විට කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ ඉරණම විසඳීම සඳහා අවශ්‍ය කරන නිවාස 25,000 ක වැඩකටයුතු ශක්තිමත්ව නිම කරලා අවසන් කරනවා පමණක් නෙමෙයි නිවෙසකට අමතරව පරිපූර්ණ ජීවිතයක් අපේ ජනතාවට ලබාදීම සඳහා අප කි‍්‍රයාකරන බව ප‍්‍රකාශ කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අනුව මේ නිවාස සංකීර්ණවල මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා, අපි දැඩිව ඍජුව කි‍්‍රයා කරනවා. ඒ වගේම මේ නිවාස සංකීර්ණවල අපේ දරුවන් පාසල් යැවීම සඳහා විශේෂයෙන්ම විද්‍යාව, ගණිතය, ඉංග‍්‍රීසි, සිංහල සමත් දරු කැළක් අපේ මේ ප‍්‍රදේශවලින් බිහිකර ගැනීම සඳහා ශක්තිමත් අධ්‍යාපන වැඩපිළිවෙලක් දියත්කරනවා. ඒ වගේම ශක්තිමත් සංස්කෘතික වැඩසටහනක් දියත් කරනවා. අපේ දරුවන්ගේ සංස්කෘතික කුසලතාවයන් ඔප් නංවන මහ උළෙලක් අපි මේ ඔක්තෝම්බර් මාසයේදී අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වනවා. එදාට මේ රටේ බොහෝ දෙනෙකුට බලා ගන්න පුළුවන්, මේ වීදියේ පැල්පතේ ජීවත් වූවා යැයි කියන මේ දරුවන් ජාතික මට්ටමේ ඕනෑම පාසලක දරුවන් සමග තරඟ කරන්න පුළුවන් ශක්තිමත් භාවයක් තිබෙන බව. ඒ වගේම මේ පවුල්වල කාන්තාවන් ඉලක්ක කරගෙන ස්වයං රැකියාවන් මගින් ඔවුන්ගේ ජීවිත අපේක්‍ෂාවන් ඉහළ නංවන්න ඔවුන්ට ජීවිතය තරඟකාරීත්වයට ගෙනයාම සඳහා වැඩසටහනකුත් අපි දියත් කරනවා.

අනාගතයේ මේ කොළඹ නගරයේ සිදුවන මූල්‍ය නගරයේ සංවර්ධනය වේවා, පරිපාලන නගරයේ සංවර්ධනය වේවා, වරාය නගරයේ සංවර්ධනය වේවා ඒ හැම දෙයකින්ම ජනනය වන ප‍්‍රතිලාභයන් අපේ ජනතාවට ලබාදීම සඳහා අපි ක‍්‍රියා කරනවා. ශක්තිමත්ව සමාජයට මුහුණ දෙන්න පුළුවන් ආත්මගරුත්වයෙන් යුතු දරු පරපුරක් අපේ ජනතාව තුළින් බිහිකර ගැනීමට මේ කොළඹ නගරය දැන් සූදානම් බවත් ප‍්‍රකාශකරනවා. අපේ රජයට එදා 2015 ජනවාරි 08 වෙනිදා ලබාදුන් ජනවරමින් ශක්තිමත්ම ජනවරමක් ලබාදුන් කොළඹ ජනතාවට මේ රජය කෘතවේදීව ප‍්‍රතිඋපකාර කරන්න සැමවිටම බැඳී සිටින බව’ පැවසීය.

scroll to top