සංකේත වන්දනය, යටි අරමුණු හා සැබෑ දහම

වෛද්‍යවරයෙකුවීමට නම් වෛද්‍ය උපාධියක් ලැබීම අත්‍යාවශ්‍යය. ඉංජිනේරුවෙකුවීමට අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ඉංජිනේරු උපාධියක් ලැබීම අත්‍යවශ්‍යය. වෙනත් ඕනෑම වෘත්තිකයෙකු සම්බන්ධව ද මේ කාරණය එසේම අදාළය. නමුදු බුදු දහම පිළිබඳ එලෙස පුහුණුවක් හෝ දැනීමක් ලැබීම අවශ්‍යය යන කරුණ මෙකල සමාජයේ වැඩි දෙනෙකු අතර නැත. ගිහි පිරිස තබා භික්ෂූන්වහන්සේලා තුළ වුවද මේ පිළිගැනීම මෙකල නැත. මෙය සමාජයේ පවතින විශාල හිඩසකි. ඒ හිඩසෙන් ප්‍රයෝජන ගන්නා සට කපට කෛරාටිකයන්ගෙන්ද සමාජයට කිසිදු අඩුවක් නැත. ඔවුහු බුදු දහම විවිධ කාර්යන් සඳහා භාවිතා කරති. වාණිජ වටිනාකම් ඉපයීම සඳහා බුදු දහම යොදා ගැනීම මේ අතරින්ද වඩාත් ප්‍රමුඛ වේ. සුදු පැහැති ජාතික ඇඳුම, බුද්ධ චීවරය මේ රටේ සංස්කෘතිය, සමය ආදී ක්ෂේත්‍රතුළ විශාල වටිනාකම් ලැබූ සංකේතයි. බුද්ධ ප්‍රතිමාව, ථූප, බෝධිය, විහාරාරාම ආදිය බුදු දහමේ සංකේතයි. යමෙකුගේ සිත තුළ බුදු දහම පිළිබඳව කිසියම් අදහසක් හෝ ආකල්පයක් කුළුගැන්වීම, අභිවර්ධනය සඳහා මෙබඳු වූ සංකේත භාවිතා වේ. නිවස බුදු දහමේ සංකේතයක් නොවේ. නමුදු පන්සල බුදු දහමේ සංකේතයකි. එබැවින් ආගමේ වත්පිළිවෙත් ඉටුකිරීම සඳහා නිවසේ සිට පන්සල වෙත අපි සැදැහැ සිතින් යන්නෙමු.

දහම් පාසල් අවසාන, බෞද්ධ ධර්මාචාර්ය, ප්‍රාචීන පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටකවේදී උපාධිය, පාලි හා බෞද්ධ විෂය ක්ෂේත්‍රය යටතේ වූ ශාස්ත්‍රවේදී උපාධිය යන සහතිකවලට වාණිජ, අධ්‍යාපන, සමාජ හා සාමයික වටිනාකම් කිසිවක් විද්‍යා, තාක්ෂණ විෂය ධාරා, ඉංග්‍රීසි හා සෙසු ජාත්‍යන්තර භාෂා ක්ෂේත්‍ර පිළිබඳව පමණක් උනන්දුව දක්වන මේ සමාජයෙහි නැත. ඉහත කී සහතිකවලට සමාජයේ වටිනාකම් ලබාදීම යනු හුදෙක් චන්ද සමයට ලබාදෙන දේශපාලන පොරොන්දුවලට පමණක් සීමාවූ දෙයක්බවට පත්ව තිබේ.බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, අනුරාධපුර බුද්ධ ශාවක භික්ෂු විශ්වවිද්‍යාලය ආදී විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලින් පිටවන උපාධිධාරීන්ගෙන් පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයේ දියුණුවට උපකාරීකරගැනීම සඳහා සැකසූ එකඳු අධ්‍යාපන වැඩසටහනක්,යෝජනාවක්වත් මෙරට අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය භාර අංශ සතුව නැත.මෙරට පිරිවෙන් අධ්‍යාපනය ගරාවැටීමට හා අභාවයට යාමට හේතුවූ ප්‍රධානතම කාරණය නම් එයින් පිටවන උගතුන් බුද්ධිමතුන් ජාතික තලයෙහි ප්‍රයෝජනවත් සංවර්ධන කාර්යයන්වලට සාර්ථක ලෙස අනුගත කරවීම පිණිස සැකසූ වැඩසටහන් හා ප්‍රතිපත්ති නොමැතිකමයි.මෙරට ජාතික කාර්යන් සඳහා ප්‍රතිපත්ති සකසා ඇත්තේ මෙරටට ණයදෙන ලෝක බැංකුවේ කොන්දේසිවලට අනුකූලව මිස මෙරට ජාතික අවශ්‍යතා සැලකිල්ලට ගෙන නොවේ.

අද මෙරටට නායකත්වය ලබාදෙන තැන්වල ආකල්ප ක්‍රියාත්මකවනුයේ විදේශීය අවශ්‍යතා තෘප්තිමත් කරවීම සඳහා බව සමරිසි විවාහයට නීතිමය පිළිගැනීම ලබාදීමට උත්සුකවීම බඳු දේවලින් පැහැදිලිව දක්නට ලැබේ. විෂම ලෝභය පහළවීම අනුව විකෘති, විකාරරූපී කාමුකත්වය පුද්ගලයාතුළ පහළවන බව බුදු දහමේ පැහැදිලිවම පෙන්වාදී තිබේ.සත්ව ලෝකය අසත් ධර්මයන්ගෙන් පිරීයත්ම විෂමලොභ ආකල්ප,ආශාවන් පහළවන බව බුදු හිමියන් පෙන්වාදී ඇත. බුදුරදුන් ධරමාන කාලයේද කලාතුරකින් එබඳු පුද්ගලයෝ සිටි බව විනය පිටකයට අයත් පරාජිකා පාලියේ සඳහන්ය.නමුදු එබඳු අයට අද මෙන් මුල්පුටු හිමි නොවීය.පැවිදි නොකළයුතු අය වශයෙන්ද මෙබඳු අය විනය අනුව පැහැදිලිවම පෙන්වා දී ඇත.යම්කිසි අයුරකින් පැවිද්දෙකු තුළ එබඳු චර්යා,ආකල්ප,හැගීම් ඇතිවීම පැවිදිබව අහිමිවීමට හේතු වන වරදක් ලෙසද පෙන්වාදී තිබේ.පුරාණ සමාජයතුළද එබඳු අය අල්ප ලෙස සිටිය හැකි වුවද ඔවුන්ට සමාජ පිළිගැනීම අහිමිවිය.සමාජයතුළ එබඳු කතිකාවත් යළි ගොඩනංවා නීරෝගී සමබර සිත් ද දූෂ්‍ය කිරීමට කිසිවෙකු පුරාණ සමාජයතුළ නූතනයේදී මෙන් උත්සාහ ගත්තේද නැත.අද රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය අනුග්‍රහය මත ඇතැම් සන්නිවේදන මාධ්‍ය හරහා එබඳු දූෂිත කතිකාවත් සමාජගත කිරීමට වෑයම් දරනුද පැහැදිලිව ඉස්මතුව පෙනේ.මෙකල මුදලට මූලිකත්වය පිරිනැමීම නිසා සාරධර්ම වෘත්තීය ආචාරධර්ම කෙලෙසී ඇත.වෛද්‍ය,ඉජිනේරු,කථිකාචාර්ය,මහාචාර්ය,ආචාර්ය බඳු වෘත්තීන් වල තිබූ ආදීකාලීන සම්භාවනීය බව මෙකල මුදල නිසා කෙලෙසීමට පත්ව තිබේ.එබඳු වෘත්තීන්ට හිමි සමාජ අගය නිසා මුදල් විසිකර එබඳු වෘත්තිකයන් බිලිබා ගැනීමට තරම් අද රාජ්‍ය නොවන සංවිධාන දියුණුව තිබේ.මුදලට බිලිබා ගැනෙන එබඳු වෘත්තිකයන් ලවා තමන්ට අවශ්‍ය විකාරරූපී අදහස් සමාජ ගතකිරීමට මෙකල රාජ්‍ය නොවන සංවිධානවලට මේ හේතුව නිසා ඉතාහොඳින් හැකියාව ලැබී තිබේ.

රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය නිසා බොහෝ ආසියාතික රටවල සංස්කෘති විනාශවී ඇත. මෙරට දේශීය වීවර්ගවලට,සිංහල වෙදකමට,දේශීය පිරිවෙන් අධ්‍යාපනයට,පරිපාලන රටාවට සිදුකළ හානිය බඳු විනාශයක් බුදුදහමටද බෞද්ධ සංස්කෘතියටද සිදු කිරීමට බොහෝ බටහිර සංවිධානවලට අවශ්‍යව තිබේ.ඒ සඳහා මුලින්ම ඔවුහු බෞද්ධ සංකේතවලට ඇති අධ්‍යාත්මික අගය විනාශ කරති. ඊට පසුව විදේශීය මුදල් පොම්පකිරීමෙන් සම්භාවනීය වෘත්තිකයන් බිලිබා ගනිති.ඔවුන් ලවා රිසිසේ තම මත වාද,ආකල්ප සමාජගත කරති.මුදල් ඉදිරියේ කොඳුනාරටි කශේරුකා සිඳබිඳගත් මහාචාර්යවරුන් ඇතුළු සම්භාවනීය වෘත්තීකයන් නූතන සමාජයේ විද්‍යමානවීම මෙකල අරුමයක් නොවන්නේද මේ හේතුව මතමය.ගුරු සිසු සබඳතා,දෙමාපිය දූදරු සබඳතා,ගිහි පැවිදි සබඳතා බඳු ආචාර ධර්ම පද්ධතීන් මත පැවතිය යුතු සමාජ සබඳතා විකාරරූපී,විකෘති හැඩතල ඔස්සේ ගොඩනැංවීම ආරම්භවී ඇත්තේද මේ හේතුව මතමය.අතීත සමාජයේ රැකියාව,වෘත්තිය කුලය මත පදනම්විය.කුලයට අනුව සිතිවිලි,මත වාද,හැගීම්,ආකල්ප සකස්විය.පෙරකළ පින්පව් උසස්පහත් කුලවල ඉපදීමට හේතුව බව බුදු දහමේ සඳහන්ය.පහත් ආකල්ප,ආශා,චර්යා පහත්කුලවල අය සතුවද උසස් ආකල්ප,හැඟීම්,චර්යා උසස් කුලවල අය සතුවද තිබීමට මෙය ප්‍රධාන හේතුවකි.පුරාණ සමාජයේ ඉහළ ස්ථරය උසස්,ප්‍රභූකුලවලට හිමිවිය.මෙකල ප්‍රභූ සමාජය ආකල්පවලින්ද පොහොසත්ව සිටීම නිසා එය ගැටලුවක් නොවිණ.නමුදු පසුකාලයකදී වැඩවසම් යුගය බිඳ වැටීමත් සමඟ රැකියාව,වෘත්තිය කුලක්‍රමය අනුව නොව අධ්‍යාපනය ඉගෙනීම,මුදල ආදී වෙනත් සාධක මත පදනම්විය.මේ සාධක මත සමාජයේ උසස් ස්ථාන කුලහීනයන් වෙතට ලැබිණ.නමුදු ඔවුන් සතු පහත් ආකල්ප,හැඟීම්,චර්යා නිසා මුලු මහත් සමාජයම කණපිට හැරවී තිබේ.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ,නීති විරෝධී කළු සල්ලි මඟින් ඉතා කෙටි කලක්තුළ පොහොසත්බව ලැබූ අය මුදල් බලයෙන් මෙකල සමාජයේ ඉහළම ස්ථරයේ වැජඹෙති.අධ්‍යාපන, සන්නිවේදන මාධ්‍ය ආදී විවිධ ආයතන පවා මේවන විට ඔවුන් සතුව ඇත.සමාජයේ සම්භාවනීය වෘත්තිකයන් මුදලට මිලදී ගැනීමේ හැකියාව පවා ඔවුන් සතුවේ.කලාව,සාහිත්‍ය නිර්මාණ ආදී දේ පවා සකස්වනුයේ ඹවුන් සතුව ඇති ආකල්ප,හැගීම්,චර්යාවලට සරිලන ලෙසය.මන්ද ඒවාට වියපැහැදම්කරනුයේද ඔවුන් වන නිසාය.

පන්සලට ගිය විට නිවසේ නැති බුද්ධාලම්බන ප්‍රීතියක් නිරාමිස සතුටක් අප තුළ ඇති වේ. එය ස්ථානය වෙනස් කිරීමෙන් ලැබෙන සතුටකි. ස්ථානය සමඟම පරිසරයද වෙනස් වේ. විහාරස්ථානයක වෙසෙන හිමිවරු, උපාසක උපාසිකාවන්, පිරිත් හඬ, ගාථා උච්චාරණ හඬ, තෙල්මල් පහන්, සුවඳ දුම්, ආගමික පරිසරය ඇසුරේ සිත තුළ ආගම පිළිබඳව පහන් සංවේගයක් ඇති කිරීමට ඉවහල්වන සෙසු සාධක සේ හැඳිනගත හැකිය. මඳක් විමසිලිමත්ව සිතනු මැනවි. මේවා සියල්ලම බුදු දහමේ සංකේත නොවේද? ඒ සංකේතවලට සාර්ථකව දහම සමඟ බාහිරව අපව සම්බන්ධ කළ හැකිය. එය මානසික සමෝධනය ඇති කරගැනීමටද ඉවහල් වේ. ඉහත කී සියලු බාහිර ප්‍රබෝධක වැදගත්වනුයේ මානසික සමෝධානය ඇති කර ගැනීමට ඒවා උපකාරී වන බැවිනි. බාහිර සංකේත ප්‍රබෝධක හෝ උත්තේක ලෙස යොදා ගැනීම සඳහා මූලික මෙවලමක් ලෙස පමණක් ඉහත කී බෞද්ධ සංකේතවල වැදගත්ය. එසේම මෙබඳු ආගමික සංකේත බාහිර උතේතේජක ලෙස භාවිතා කළ හැකි නිසා මෙකල ඒවාවලට සුවිශාල වාණිජ වටිනාකමක් ලැබී තිබේ.වාණිජත්වය පෙරදැර කරගෙන විවිධ වාණිජ ආයතන ඒවාට අනුග්‍රහක්තවයද දක්වනු ලැබේ. ආගමතුළ පෞරාණිකව මේවාට සුවිශාල ආධ්‍යාත්මික පිළිගැනීමක් හිමිව තිබිණ.නමුදු අද මේ සංකේතවලට හිමිව ඇති වාණිජ වටිනාකමතුළ ඒවාට හිමි ආධ්‍යාත්මික අගය ගිලිහිගොස් ඇත.

කතෝලික,ඉස්ලාම්,හින්දු ආදී සෙසු ආගම්වල පූජකපක්ෂයට ඒ ආගම් පිළිබඳ දැනුම පූජකවරය ලැබීමට අනිවාර්යය.නමුදු චීවරයට ලැබීඇති ඉහළ සමාජඅගය නිසා බෞද්ධභික්ෂූහු පාලිත්‍රිපිටක දහම ඉගෙනීමට මෙකල නොපෙළඹෙති. අද බොහෝ පැවිදි සිසුහු උපාධියට නියමිත විෂයන් ලෙස පාලි ත්‍රිපිටක ක්ෂේත්‍රයට අයත් සියලු විෂයන් අත්හැර දමා ඒ වෙනුට ජනසන්නිවේදනය, පුස්තකාල විද්‍යාව වැනි වෘත්තියාභිමුඛ විෂයයන් හැදෑරීමට මෙකල පෙළඹෙන බව උපාධි අපේක්ෂක ගිහිපැවිදි සිසුන්ට ඉගැන්වීමේදී ලැබූ ප්‍රායෝගික අත්දැකීම් මත මාහට දැකගත හැකිවිය.මෙසේ විෂයන්මාරු කිරීම පිළිබඳ එබඳු පැවිදි සිසුන්ගෙන් විමසූ බොහෝවාරවල පිළිතුර ලෙස ලැබෙනුයේ රජයේ හෝ පුද්ගලික අංශයේ උසස් රැකියාවක් ලබාගැනීම සඳහා එලෙස කළබවකි.ගිහියන් දහමෙන් ඈත්වනවිට පැවිද්දන් ඊටත් වඩා දහමෙන් ඈත්වන කලියුගයක අද ජීවත්වීමට සිදුව ඇත.රැකියාවක නියැලීම ගිහියන්ගේ කාර්යක් මිසක පැවිදි කෘත්‍යයක් නොවේ.නමුදු අද බොහෝවිට සිදුවනුයේ උපාධි සමත්ව ගුරුපත්වීමක් බඳු රැකියාවක් ලදවිගස උපැවිදිවීමේ ප්‍රවණතාවයකි.එකලද ගිහියෙකුවූ මා සමඟ සමකාලීනව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ විශේෂවේදී ප්‍රථම පංති සහිත උපාධි ලැබූ අප තිදෙනා අතරින් සෙසු භික්ෂූන් වහන්සේලා දෙදෙනාමද මේ වන විට උපැවිදිව රජයේ උසස් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල ඉහළ නිලතල ඇතිව රැකියාවල නිරතව දූදරුවන් සහිතව සාර්ථක පවුල් ජීවිත ගතකරන දයාබර පියවරු බවටද පත්ව සිටිති.

බුදු දහම පිළිබඳ ප්‍රමාණික අවබෝධයක්, උගත්කමක්,දැනුමක් නැති ඕනෑ අයෙකුට බුද්ධචීවරයක් දැරූ පමණින් විශාල සමාජ වටිනාකමක් හිමිවීමේ සාධකය බුදු දහමේ නිර්මලත්වය විනාශ කිරීමටම අද දින පාරා වළල්ලක් බවට පත්ව තිබීම කණගාටුදායකය.බුදු දහම යනු කොන්ක්‍රීට් ඉදිකිරීම් නොවේ. ඒවා සියල්ල ජනප්‍රිය බුදු දහමේ ලක්ෂණ පමණකි.සැබෑ බුදු දහම යට යන තරමට ජනප්‍රිය බුදු දහමේ මතුපිට ඔපයේ නොගැඹුරු වඩවඩාත් ඉහළට ඉස්මතු වේ. පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් බෝක්කුවක් බෝක්කුවක් ගානේ බුදු පිළිම පිළිම ඉදිවීමත්, එලෙස ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරවීමත් අද මෙරට ජනප්‍රිය බුදු දහමේ තවත් ලක්ෂණ බවට හැඳිනගත හැකිය. බුදු දහම පිරිහෙමින් පවතින මෙකල බුද්ධ කාලීන මුල්යුගයේ වත් නොතිබුණු අයුරින් මෙසේ ධාතූන්වහන්සේලා විද්‍යමාන වීම එක්අතකින් විස්මයානූකූලය.ධාතූන්වහන්සේලාට හිමිව තිබූ සංකේතමය වටිනාකම උපයෝගීකර ගනිමින් වාණිජ මට්ටමින් ධාතූන්වහන්සේලා නිපදවීමේ ක්‍රියාවලීන්ද වර්තමාන සමාජයේ ඇතිබව මේ පිලිබඳව හෙළිදරව් වන විවිධ ජන සන්නිවේදන මාධ්‍ය වාර්තා අනුව දැකගත හැකිය.බහුතර ප්‍රජාවගේ ඇති ආගමේ සැබෑහරය පිළිබඳ ඇති නොදැනුවත්කම අද යහමින් මුදල් සෙවීමට උපයෝගී කරගැනේ.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top