ෂරියා නීතිය හා බුදු දහම

දැනට සමාජයේ බහුලව කතාබහ වන දෙයක් නම් මැදපෙරදිග රටවල ක්‍රියාත්මක වන ෂරියා නීතියයි. ෂරියා නීතිය අනුව මැදපෙරදිග සේවය යන මෙරට ගෘහ සේවික සේවිකාවන්හට බිහිසුණු දඩුවම්වලට මුහුණ පෑමට සිදුවීම පිලිබඳව මෙරට සාමාන්‍ය ජන සමාජයතුළ කතිකාවතක් ඇති වී තිබේ. විවිධ අවස්ථාවලදී මෙරටින් මැදපෙරදිග සේවය සඳහා යන ශ්‍රී ලාංකික පුරවැසියන්හට පමණක් නොව සෙසු රටවල්වල ජනයාහට ද මැදපෙරදිග රටවලදී මෙසේ අති දරුණු ම්ලේච්ඡ දඬුවම් ක්‍රමවලට මුහුණපෑමට සිදුවී ඇත. මේ හේතුව නිසාම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර මැදපෙරදිග ඉස්ලාම් ආගම පවතින රටවල ඇති ඉස්ලාමීය ආගමික නීති මූලධර්ම මත පදනම්ව සකස් වූ ෂරියා නීතියේ ම්ලේචඡත්වය පිළිබඳව වත්මන් යුගය තුළ බහුලව සාකච්ඡාවට ලක්වී ඇත.ඉස්ලාම් නීතිය සම්පූර්ණ වශයෙන්ම පදනම් ව ඇත්තේ ඉස්ලාම් ධර්මය මතය.එම සමස්ත නීතිය ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇති බව ඉස්ලාම් නීතියේ මූලික පිළිගැනීමයි. ක්‍රි.ව. 06 වැනි සියවසේ අවසාන භාගයේ අරාබි අධිරාජ්‍යයේ මක්කමදී උපත ලැබූ ශුද්ධවූ නබිතුමා මඟින් අල්ලාහ් දෙවියන් විසින් හෙළිදරව්කළ ඉස්ලාම් ආගමික නියම ග්‍රන්ථාරූඪ කිරීමෙන් කුරානය නිර්මාණය වී ඇත.මක්කම පසුබිම වූ ඉස්ලාම් දහම පසුව මුළු ලොව පුරා ව්‍යාප්ත වී ඉස්ලාම් අධිරාජ්‍ය බිහිවිය. අවිආයුධ බලයෙන් මේ අධිරාජ්‍යයට අයත්රටවල්හි ඉස්ලාම් දහම පැවැත්වීමට මේ දක්වා පියවර ගෙන තිබේ.

ෂරියා නීතිය යටතේ මුස්ලිම් අධිකරණ මගින් නියම කරන දඬුවම්ක්‍රමවූ අත්පා කපා ඉවත් කිරීම ප්‍රසිද්ධියේ කස පහරදීම උල තැබීම වරදකරුගේ බෙල්ල වෙන්වනතෙක් ඉතා සෙමින් කැපීම සියල්ල රැස් වී ඇති තැන බිම හොවා හිසට වෙඩි තබා හෝ ගල් ගසා මරා දැමීම වැනි ඉතා දරුණු දඩුවම් පණවනු ලැබේ. රටක සදාචාර සම්පන්නබව රදාපවතිනයේ ඒ රටේ නීතිය සියලු දෙනාට සමානව ක්‍රියාත්මකවීම තුළිනි. රටේ විනයානුකූල පැවැත්ම තීරණය වන්නේ නීතිය නිසිසේ ක්‍රියාත්මකවීම මතය.වරදකරුවන්ට දඬුවම් පැමිණ වීමෙන් වුවද වරදකට දඬුවම ලෙස මනුෂ්‍යත්වයට නොගැලපෙන අයුරින් ම්ලේච්ඡ වධහිංසා පැමිණවීම හෝ මරාදැමීම ලෝකයේ කිසිදු දියුණු රටක අධිකරණ නීති පද්ධතිය තුළින් අපේක්ෂා නොකෙරෙයි.පුරාණයේ නොදියුණු කාලයේ නිතිපද්ධතිය ආරම්භක කාලවකවානුවතුළ මෙබඳු ම්ලේච්ඡදඬුවම්ක්‍රම පැවති තිබේ.ලොව මුල්ම ලිඛිත නීති සංග්‍රහයවූ හබුරාබි නීති සංග්‍රහයේ දඬුවම් ක්‍රමය වන්නේ ඇසට ඇසක් යන නියමයයි. මිනීමැරුමක් සිදුකරන අපරාධකරුට දඬුවම් ලෙස මරණීය දණ්ඩනය ලබාදීම ඇරැඹෙන්නේ ඒ අනුවය.නමුදු බුදු දහමේ භික්ෂු විනය ශික්ෂාතුළ දණ්ඩය හුදෙක් මානසික දඬුවමකට පමණක් සීමාවී තිබේ.කායික දඬුවම බෞද්ධ ප්‍රතිපදාවතුළ මුලුමනින්ම බැහැරකර තිබේ.නමුදු බෞද්ධ භික්ෂු විනයශික්ෂා වුවද හුදෙක් විනයනීති මිස රටේ පොදුනීතිය නොවේ.නීතිය නම් අධිකරණ ක්‍රියාවළියකින් දඬුවම් කළහැකි බවයි.සංඝයාවහන්සේ නමකට විනය ශික්ෂා කඩවීමකදී රටක පවතින පොදු නීතිය යටතේ අධිකරණ ක්‍රියාවළියකට පමුණුවා දඩුවම් ලබාදිය නොහැකිය.හුදෙක් රටක පවතින පොදුනීතියට සාපේක්ෂකව බෞද්ධ විනයශික්ෂා හුදෙක් නීතිනොව රීතියක් ලෙස දැක්වීමට හැකිය.රීතිකඩවීමකදී රටේ පොදුනීතිය අනුව අධිකරණ ක්‍රියාවළියකට පමුණුවා දඬුවම්ලබා දිය නොහැකිය.ඉස්ලාම් ආගමික රීති හැර සෑමආගමික රීතියක් පිළිබඳව මේ කියමන වලංගුය.එනම් කිසියම් ආගමක නීතියක් රටක පොදුනීතීය බවට පත්වීමේ අවාසනාවන්ත ඛේදවාචකය ෂරියා නීතිය පිටුපස තිබේ.

අමානුෂික නොවූ ආගමිකරීති ඇතුලත් ආගමක් ලොව තිබෙන්නේනම් ඒ හුදෙක් බුදුදහම පමණක් විය යුතුය. මන්දයත් පංචශීල ප්‍රතිපදාවතුළ සෑම අයෙකුගේම ජීවත්වීමේ අයිතිය,පුද්ගල දේපළ හිමිකම,නිරර්බුද විවාහ දිවිය,සන්නිවේදන නිරවද්‍යතාව,මනා සිහිනුවණින් දිවිගෙවීම යන මානව අයිතිවාසිකම් ස්ථාපිත කර තිබේ.ඒ තුළ පුද්ගල හා සමාජ ජීවිතය අතර සමූපාකාර පැවැත්ම සහතික කර ඇත.එබඳු රීතිපද්ධිතියක් කිසියම් රටක පොදුනීතිය ලෙස සම්මත කරගැනීම ෂරියා නීතිය වැනි අමානුෂික රීතියක් රටේ පොදු නීතිය බවට පත්කිරීමට වඩා සියදහස් ගුණයකින් යහපත්ය.බහුතර බෞද්ධ පිරිසක් ජීවත්වන මෙරටතුළ පවා තවමත් බුදුදහමට නිසි තැන ලැබී නොමැත.ඊට හේතුව මෙරට බහුතර ජනතාවතුළ බුදුදහම පිළිබදව නිවැරදි ගැඹුරු අවබෝධයක් නොමැතිකම බව කණගාටුවෙන් වුවද පැවසීමට සිදුව තිබේ.පිටඔපය මිස හරය ගැන වැඩිදෙනෙක් නොදනිති.

පුරාණකාලයේ විදුලි පුටුවේ තබා මැරීම වෙඩි තබා මැරීම එල්ලා මැරීම රසායනික විෂ එන්නත් කර මැරීම වැනි ආකාරවලින් මෙන්ම ගල් ගසා මැරීම ගෙල සිඳ මැරීම වැනි අමානුෂික ආකාරවලින්ද විවිධ රටවල් මරණීය දණ්ඩනය ක්‍රියාත්මකකර ඇත.මුස්ලිම්වරු දඬුවම් පමුණුවන තැතැන්තා වෙනුවෙන් ශෝකවීම යාඥා කිරීම පමණක් සිදුකරන අතර එම දඬුවම් පැමිණවීම හෙළා නොදකිති.ඊට හේතුව නම් ෂරියා නීතිය ඉස්ලාම් භක්තිකයන්ට අල්ලාහ් දෙවියන් විසින් පනවා ඇති දේව නීතිය ලෙස සැලකීමයි. අල්ලාහ් දෙවියන්ගේ එම නීති පද්ධතිය ක්‍රි.ව. 07 වැනි සියවසේ ශුද්ධ වූ කුරානයේ ග්‍රන්ථාරූඪ කර ඇති අතර එදා මෙදා තුර දෙවියන් වහන්සේ පැනවූ ෂරියා නීතියද දඬුවම් ක්‍රමද මිනිසුන් විසින් වෙනස් නොකළ යුතු යැයි ඉස්ලාම් භක්තිකයන් විශ්වාසකිරීම නිසා ෂරියානීතිය හෝ දඬුවම් කාලානුරූපීව වෙනස්වීම්වලට ලක්වී නැත.බටහිර අධිරාජ්‍යවාදීන් මෙරට යටත් විජිතයක් බවට පත්කරගත් පසු ඉංග්‍රීසි නීතිය,රෝම ලන්දේසි නීතිය වැනි නීති මෙරටතුළ ස්ථාපිත විය.මුල්කාලවකවානුව තුළ එම නීති පද්ධියතුළ මරණීය දණ්ඩනය හා දරුණු වධබන්ධන පැණවීමක් සිදුවූ අතර පසුකාලීනව බුදුදහමේ හා බෞද්ධ සංස්කෘතියේ ආභාෂය නොලැබෙන්නට ශ්‍රී ලංකාවේද එබඳු අමානුෂික දඬුවම් ක්‍රම පැවැතිය හැකිව තිබිණි. බුදු දහමේ ගිහි පක්ෂය විෂයෙහි පැණවී ඇති පංචශීල ප්‍රතිපදාව හා පූජ්‍ය පක්ෂ විෂයෙහි පැණවී ඇති විනය ශික්ෂා මඟින්ද ප්‍රකටවනුයේ සාධාරණ යුක්තිගරුක පිළිවෙතකට අනුව පුද්ගල සදාචාරය ඇතිකිරීමයි. භික්ෂූවිනය ශික්ෂාතුළින් පවා බලාපොරොත්තුවනුයේ සාමූහිකත්වය හා සමූපාකාර පැවැත්ම මඟින් අපේක්ෂිත ආධ්‍යාත්මක නිෂ්ටාව කෙරෙහි එහි පැවිදි සාමාජිකයන් යොමුකරවීමයි.

ෂරියා නීතිය කාලානුරූපීව වෙනස් කරගත යුතුද නැද්ද යන්න එම නීතියට යටත් ඉස්ලාම් භක්තිකයන් විසින් තීරණය කළ යුතු දෙයක් ලෙස මිස බාහිර ලෝකයට එයට මැදිහත් වීමට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් ඒ නීතිය තුළ ලබාදී නැත.එම නීතිය ක්‍රියාත්මක වන රටවලට රැකියා සඳහා යන විදේශිකයන් එම නීති පද්ධතිය පිළිබඳ දැනුම්වත් වී ඒ නීතියට අනුගතව විසීමහැර ඔවුන්ට එම නීතිය වෙනස් කිරීමේ හැකියාවක් නැත.මේ වනවිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ලක්‍ෂ ගණනක් පමණ මැදපෙරදිගරටවල රැකියාවල නියුතුව සිටිති. ශ්‍රී ලාංකික විශාල පිරිසකට සෞදිඅධිකරණය මඟින් මරණීයදඬුවම ඇතුළු විවිධ අමානුෂික දඬුවම්ක්‍රම රැසක් ලබාදී ඇත. එපමණක් නොව මැදපෙරදිග ෂරියා නීතිය ඇති රටවල් ගණනාවක බන්ධනාගාරවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් විවිධ වැරැදි සඳහා රඳවා ඇති බවද වාර්තාවේ. රටක ආගමික රීතියක් එම රටේ පොදු අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරවන නීතියබවට පත්වීමේ අතිභයානක තත්වය ෂරියානීතිය ක්‍රියාත්මකවන කෘරහැඩය අනුව පැහැදිලිවිය යුතුය.මැදපෙරදිගට මෙරටින් ශ්‍රමිකයන්යැවීම අත්හිටුවේ තීරණයද මේ අනුව වැදගත්ය.
ෂරියා නීතිය යටතේ පාලනයවන රටක පාලකයාට ඒ නීතිය සංශෝධනයකිරීම හෝ ඒ නීතියේඅධිකරණ ක්‍රියාවලියට මැදිහත් වීමක් පවා සිදුකළ නොහැකිය. එබැවින් ක්වාසි අධිකරණයක නඩු තීන්දුවක් හෝ දඬුවම් නියමයක් වෙනස් කිරීමට සෞදි රජුට මැදිහත්වීමක් සිදුකළ නොහැකි වීම ෂරියා නීතියේ සාමාන්‍ය ස්වභාවයයි. අපරාධ අධිකරණයකින් වරදකරුවී අභියාචනාධිකරණය මඟින්ද එය තහවුරුවී මරණදණ්ඩනයට, දීර්ඝ කාලීන සිර දඬුවම්වලට ලක්වනඅයට මානුෂික පදනම මත ජනාධිපති සමාවලැබ නිදහස් විය හැකිසේ ව්‍යවස්ථාපිත නීතිය සකස් කර තිබීම අයුරින් ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සුවිශේෂී ලක්‍ෂණයකි.

ෂරියා නීතිය යටතේ විනිසුරුවරු ලෙස ක්වාසි විනිසුරුවරු පත්කරනු ලබන්නේ අධ්‍යාපනික සුදුසුකම් මත නොව ඉස්ලාම් දහම පිළිබඳ දැනුමත් දැඩි ආගමික භක්තිය මතවූ කැපවීමත් සැලකිල්ලට ගැනීමෙනි. එසේම එම විනිසුරුවරුන්ගේ ස්වාධීනතාවට පාලකයන්ට කිසිදු බලපෑමක් සිදුකළ නොහැකිය. ෂරියා නීතිය අනුව විනිසුරුවරයකුට නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පාලකයන් ලබාදී ඇති ස්වාධීනතාව හා බලය අසීමිතය. ෂරියා නීතියේ අපරාධ වර්ග තුනකි. එනම් දෙවියන්ට විරුද්ධ කාරණා වැරැදි ලෙස ගැනෙන අනාචාරය,ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම්,ව්‍යාභිචාරය,කාමමිථ්‍යාචාරය වැනි අපරාධවලට වැරැදිකරු බවට කළ විට පනවන දැඩිදඬුවම් කුරානය මඟින්ම නියමකර ඇත.එම දඬුවම් විනිසුරුවරුන් විසින් වැරැදිකරුවන්ට අනිවාර්යයෙන් ම පැනවිය යුතුය. ඉහත කී අපරාධ වර්ග දෙකටම නොගැනෙන රජයට විරුද්ධව කරනු ලබන වැරැදි සඳහා ඊට වඩා අඩු දඬුවම් නියම කෙරේ. අපරාධ නඩුවලදී පරීක්‍ෂණ පවත්වන පොලිසියටත් නඩු මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් කිරීමට මෙන්ම අධිකරණය විසින් නඩු විභාග කර වරදකරු කර දඬුවම නියම කළ පසුව එම අපරාධකරුට සමාව ලබාදී නිදහස් කිරීමට මෙරට පාලකයාට ව්‍යවස්ථාවෙන් ඇති අසීමිත බලය වැනි බලයක් ෂරියා නීතිය යටතේ සෞදි රජුට නැත.මේ හේතුව නිසා ෂරීයා නීතියෙහි අමානුෂික කෘරබව දැඩි ලෙස කැපී පෙනෙයි.නමුදු බෞද්ධ විනයනීති යටතේ ඇති සංඝාධිකරණ විනිශ්චයක්‍රමයන්හි බහුතර කැමැත්ත ධාර්මිකත්වය පදනම්කර බලාත්මක කිරීමතුළ මානුෂිකබව ඉස්මතු කර තිබේ.යම් හෙයකින් මෙරට අධිකරණ ක්‍රියාවළිය දැනට විද්‍යමාන රෝමලන්දේසී නීතික්‍රමය මත නොව බෞද්ධ විනයනීති අනුව සිදුවනුයේ නම් ඉතා ධාර්මික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අපගේ නීතිපද්ධතියතුළ දැකගත හැකිය.මන්ද රෝමලන්දේසී නීතියටද වඩා බෞද්ධ විනයනීති පද්ධතියතුළ උතුම් මානුෂික හරපද්ධතීයක් ගැබ්ව ඇති බැවිනි.බෞද්ධ විනය ශික්ෂා රටක පොදු නීතිය බවටපත්කළ නොහැකිය.මන්ද එය භික්ෂූන්වහන්සේලා ශික්ෂණයකිරීම සඳහා පැණවී ඇතිබැවිනි. මේ විනය නීති අමුඅමුවේම රටක ව්‍යස්ථාපිතනීතිය බවට ඒ වූ අයුරින් පත්කළ නොහැකිවුවද එහි ගැබ්වපවතින ධාර්මික, ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අනුව රටක ව්‍යස්ථාපිත නීතිය සකස්කිරීමේ හැකියාවක් තිබේ.බෞද්ධ විනය නීතිවල පවතින සුවිශේෂීතම ලක්ෂණය නම් බහුතර කැමැත්ත අධාර්මිකවූ විට ඒ අධාර්මික බහුතර කැමැත්ත නොතකා සුළුතරයවුවද ධාර්මිකබව ඉස්මතුවන ලෙස අධිකරණ කටයුතුකිරීමට බුදුරදුන් විසින් පණවා ඇති නියමයයි.සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී නීතිපද්ධතියක වුවද තිබියහැකි අයහපත් ලක්ෂණ මේ පැණවීම නිසා දුරුවී යයි.

බෞද්ධ භික්‍ෂූන්ගේ පැමිණිලි විභාග කිරීමට ක්‍රම සතරක් සංඝාධිකරණ නමින් දක්වා ඇත. එනම් පරිපූරක සංඝ සභාවක් මඟින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමයි, එම ආවාසයේම කොමිටියක් පත් කරගෙන එයට තීන්දු ප්‍රකාශ කිරීමට බලය ලබාදීම, වෙනත් ආරාමයක භික්‍ෂූන්ට පැමිණිල්ල ඉදිරිපත් කොට තීන්දුව ලබා ගැනීම හා සංඝ සභාවේ බහුතර ඡන්දයෙන් තීරණ ගැනීම යන්නයි. සංඝාධිකරණ ක්‍රමය යටතේ දක්නට ලැබෙන ප්‍රජාතාන්ත්‍රික ලක්‍ෂණයක් අධිකරණ සමථ පෙන්වා දියහැකිය.එනම් විවාදාධිකරණය,අනුවාදිකරණය, ආපත්‍යාධිකරණය හා කිච්චාධිකරණයයි.මේ අධිකරණ ක්‍රමතුළ විද්‍යමානවනුයේ ස්වාධීනත්වය හා අපක්‍ෂපාතීත්වයයි.( චුල්ලවග්ගය සමථකඛන්ධකය,සමගාමී සූත්‍රය)ඉහතින් සඳහන් කළ නඩු වර්ග විසදන ක්‍රම සතක් චුල්ලවග්ගයේ දක්වා ඇත. එනම් සම්මුඛාවිනය,සති විනය,අමුල්හ විනය, පටිඤ්ඤාතකරණ විනය, යෙහය්‍යසිකා විනය, තස්සපාපිය්‍යසිකා විනය හා තිණවත්ථාරක විනය යනුවෙනි. මෙම පැමිණිලි වර්ග විසදන ක්‍රම 07 ප්‍රජාතන්ත්‍රවාදය,ධාර්මිකබව හා නිරවද්‍යතාව ආදී කරුණුවලට අවධානය දැක්වීම ප්‍රාතිමොක්ෂ විනයශික්ෂාවල විද්‍යමාන සුවිශේෂී ලක්ෂණයයි.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top