ශෝක පණිවුඩය – ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායකශ්‍රී දවුල්දෙණ ඥාණිස්සර මහා නායක නාහිමිපාණන්වහන්සේ

Karu-Jayasuriya-2.jpg

නූතන භික්ෂුවංශාවලිය අතිශයින්ම ශෝභමාන කළ පුරා ශතවර්ෂාධික කාලයක් ස්වකීය පින්බර පූජනීය දිවි පෙවෙත ශාසනාභිවෘද්ධියත් ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිසත් කැප කළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක සාහිත්‍යශූරි, සාහිත්‍ය චක්‍රවර්ති, භාෂාන්තර විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජනීය ශ්‍රී දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන්වහන්සේගේ  අපවත්වීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම දැරිය නොහැකි පාඩුවකි.  ශීලයෙන් අග තැන්පත් ධර්මධර විනයධර පරමාදර්ශී මහා තෙර නමක් වූ අප නාහිමියෝ පාණ්ඩිත්වයෙන් අද්විතීය වූහ.

“චරථ භික්ඛවේ චාරිකං” “බහුජන හිතාය බහුජන සුඛාය” යන බුදු වදනට අනුව අනලස්ව ලෝකයේ විවිධ ප්‍රදේශවලට වැඩම කරමින් ශාසනික මෙහෙවරෙහි යෙදුනු අප නාහිමියෝ ස්වකීය කීර්ති කදම්භය දේශ දේශාන්තරයන්හිද පැතිරවූහ.  විශේෂයෙන්ම ධර්ම ග්‍රන්ථකරණය උන්වහන්සේගේ පාණ්ඩිත්‍ය ඔප් නැංවූ අතර,  සංස්කෘත භාෂා දැනුමෙහි උන්වහන්සේ හා සම කළ අන් පඩිවරයෙකු අප යුගයෙහි දක්නට නොවූහ. සංස්කෘත චක්‍රවර්තී, ග්‍රන්ථ විශාරද , භාෂාන්තර විශාරද, ජින ශාසන කීර්ති, ශ්‍රී සද්ධර්ම ජෝතික ධජ ආදී සම්මානයන්ට පාත්‍ර වූ උන්වහන්සේ බහුශ්‍රැතභාවයෙන් සසුන්කෙත බැබළවූහ.

උන්වහන්සේගේ පුරෝගාමීත්වයෙන් වෙහෙර විහාරස්ථාන සහ ධර්මාධ්‍යාපන ආයතන රැසක් ස්ථාපනය කෙරුණු අතර, අප නාහිමියෝ ඒ සියල්ලෙහි වගකීම් ස්වකීය ශිෂ්‍යානු ශිෂ්‍ය පිරිසට  භාර කර ශාසනික සේවයෙහිම යෙදුණහ.  ආදර්ශමත් සරල දිවි පෙවෙතක් ගත කළ උන්වහන්සේ තුල තිබූ ප්‍රසන්න බවත්, නිහතමානී ගුණයත්,  පරිත්‍යාගශීලිත්වයත් නිසාම ගිහි පැවිදි සියළු දෙනාගේම ආදර ගෞරවයට නිරන්තරයෙන් ලක් වූහ.  සියවසක් ඉක්මවා ආයු වින්දනය කිරීමේ පුණ්‍ය මහිමය ලැබූ උන්වහන්සේ නිතර හමුවෙමින් අවවාද අනුශාසනා ලැබීමේ භාග්‍යය මා හට ලැබුනු අතර, අවසන් මොහොත දක්වා ම උන්වහන්සේ තුල තිබූ සම්මා සතිය විශ්මය දනවන සුළුය.

විශේෂයෙන්ම ත්‍රෛනිකායික නායක ස්වාමීන්වහන්සේලා සමග ඉතාම සුහදව කටයුතු කරමින් සංඝ සාමග්‍රිය වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ දැක්වූ දායකත්වය සුළු පටු නොවේ.  උන්වහන්සේ ස්වකීය පරම පූජනීය දිවි පෙවෙත නිමා කරමින් දැයෙන් සමුගන්නා මේ මොහොතේ මෙවන් කෙටි සටහනක් එම ශ්‍රේෂ්ඨ චරිතාපදානය ඇගයීමට ප්‍රමාණවත් නොවුන ද අප නාහිමියන්ගේ අපවත් වීම පිලිබදව මාගේ බලවත් සංවේගය මෙයින් ප්‍රකාශ කරමි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක සාහිත්‍ය ශූරී සාහිත්‍ය චක්‍රවර්තී අග්ගමහා පණ්ඩිත ශ්‍රී දවුල්දෙණ ඥාණිස්සර මහා නායක නාහිමිපාණන්වහන්සේගේ අතිශය සමීප දායකයෙකු ලෙසත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසත් උන්වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

කරු ජයසූරිය | කතානායක, ශ්‍රී ලකා පාර්ලිමේන්තුව

scroll to top