“ශී‍්‍ර ලංකා නීල හරිත යුගයක්” වැඩසටහනේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිදුකළ කතාව

“නීල හරිත යුගයක් – තිරසාර සංවර්ධනය” මුල් කරගනිමින් ඔබේත් මගෙත් මතෘ භූමිය වන ශී‍්‍ර ලංකාවේ හෙට දවස වෙනුවෙන් අද දවසේ සුදානම් වීම සදහා පවත්වන පුළුල් ජාතික වැඩසටහන් තුළ තවත් එක් අවස්ථාවක් විදියට හදුන්වන්න පුළුවන්. මේ දෙදින සමුළුවත් ඒවගේම සම්මාන ප‍්‍රදානයන් ඇතුළුව මේ වැඩසටහන කි‍්‍රයාත්මක වීම පිළිබදව මා ඉතාමත් සතුටු වෙනවා.

මේ සදහා සහයෝගය දක්වන ඔබ සියලූ දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. විශේෂයෙන් මේ දෙදින සමුළුව සාර්ථක කිරීම සදහා කලාපීය වශයෙන් පරිසර සංරක්ෂණයට අදාළ විෂය කේෂ්ත‍්‍රයේ දැනුම බෙදා හදා ගැනීම සදහාත්, තාක්ෂණික වශයෙන් මෙන්ම අනෙකුත් ශාස්තී‍්‍රය කරුණු මුල් කර ගනිමින් පැවැත්වෙන මේ සමුළුවට සහභාගි වන සාර්ක් රටවල, දකුණු ආසියාතික රටවල අපේ මිත‍්‍රරාජ්‍යයන්හි සියලූම විද්වතුන්, නියෝජිතයින් ඒ සෑම කෙනෙක් වෙනුවෙන් ශී‍්‍ර රජය සහ මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් මම විශේෂ ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා.

“නීල හරිත යුගයක්” පිළිබදව තිරසාර සංවර්ධන ප‍්‍රතිපත්තිය යටතේ රජය ගෙන යන වැඩපිළිවෙළ ඔබ දන්නවා එය අපිට පමණක්, රටට පමණක් සීමා වු දෙයක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සදහා ප‍්‍රමුඛත්වය අරන් තිබෙනවා. ඒ සියලුම සමාජීක රටවල් බැදී සිටිනවා එම ප‍්‍රඥප්තීන්, අත්සන් කරන ප‍්‍රකාශයන් එකගතාවයන් අනුව කටයුතු කරන්න.
මෙහිදී 2015 වර්ෂයේ අවසානයේ පැවති පැරිස් සමුළුව අපේ මතකයේ තිබෙනවා. පැරිස් සමුළුව තුළ ඇති කරගත් එකගතාවයන් අනුව ගිවිසුම් අත්සන් කළ මුල් රටවල් කිහිපය අතරින් එක් රටක් තමයි අපි. ඒ වගේම ආසියාතික රටක් වශයෙන් මුලින්ම එම එකගතාවයට, ගිවිසුමට අපි අත්සන් කරනු ලැබුවේ අපයි.

පැරිස් සමුළුවට මම සහභාගි වුණා වගේම රාජ්‍ය නායකයින් 150 කට වඩා එදා පැරිස් සමුළුවට සහභාගි වෙලා හිටියා ඉන් පසුව මාස තුනකින් සමාජික රටවල වල අත්සන් කිරීමේ විශේෂ සමුළුවට මා වෙනුවෙන් සහභාගි වුණේ ගරු සුසිල් පේ‍්‍රමජයන්ත ඇමතිතුමා. ඒ මහතා නිව්යෝක් වලට ගිහින් මා වෙනුවෙන් ඒ ගිවිසුම් වලට අත්සන් කළා. පරිසර සංරක්ෂණයේදී මිනිසා වගේම සියලූ සත්වයන්ගේත් ස්වභාව දහමේත් පැවැත්ම සදහා ප‍්‍රමුඛත්වය දී ඇති බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා.
අද අපේ රටේ එක් පැත්තක අවුරුදු එක හමාරක විශාල නියගයක් තිබෙනවා. අපි පවුල් ලක්ෂ 8 කට වියළි ආහාර සලාක මාස දෙකක ඉදලා ලබා දෙනවා. ඔබ දන්නවා අපේ රටේ විශාල ගංවතුරින් ඇති වූ හානිය ඉතාමත් බරපතළයි. මේ දිනවලත් රත්නපුර, කලූතර දිස්ති‍්‍රක්ක වල තිබෙන කාලගුණ තත්ත්වය යහපත් නොවන බව ඔබ දන්නවා.සබරගමුව, බස්නාහිර පළාත් වලට අධික වර්ෂාපතනයක් මේ දිනවල ඇති වුණත් වියළි කලාපය විශේෂයෙන් උතුර, උතුරු මැද දැඩි ජල හිගයකින්, ජල අර්බුදයකින් පෙළෙනවා. එක් පැත්තකින් කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය නැහැ. තවත් පැත්තකින් පානීය ජලය නැහැ.

මේ තත්ත්වය අපට පමණක් සීමා වූ දෙයක් නොවන බව ඔබ දන්නවා. මෙහි පැමිණ සිටින සාර්ක් කලාපීය මිත‍්‍ර රටවල්වල, ඒ සහෝදර රටවල්වල හිතවත් නියෝජිතයින් සෑම කෙනෙක්ම දන්නවා තම තමන්ගේ රටවල්වල කාලගුණික, දේශගුණික විපර්යාසයන් සහ ගෝලීය උෂ්ණත්වය නිසා ඇතිවී තිබෙන ස්වාභාවික ව්‍යසනයන් මොනතරම් ප‍්‍රබලද කියන කාරණාව.
පසුගිය දින කිහිපයේ ඔබ මාධ්‍ය තුළින් දකින්නට ඇති, ඇමෙරිකාවේ කැලිපෝනියා ප‍්‍රාන්තයේ හටගත් ලැව් ගින්න. දින පහකට වඩා ගියා එම ගින්න නිවා දමන්නට. මෙවර එක්සත් ජාතීන්ගේ සමුළුවට මා සහභාගි වීමට ගිය අවස්ථාවේදී ඇමෙරිකාවේ එක් ප‍්‍රදේශයක බරපතළ ලෙස ජල ගැලීම්, සුළි සුළං. සෑම රටකම කාලගුණික, දේශගුණික විපර්යාසයන් තුළ බරපතළ අර්බුදයක් ඇතිවී තිබෙනවා.

ඒ අනුව අපි සෑම කෙනෙක්ම මේ තත්ත්වයන් සදහා මුහුණ දිය යුතු වෙනවා. එහිදී පරිසර සංරක්ෂණය සදහා අපේ රට තුළත් ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම අපි ගන්නා බව ප‍්‍රකාශ කරන්නට ඕන. හෙට දවස වෙනුවෙන් අනාගතය වෙනුවෙන් වඩා යහපත් යුගයක් ඇති වෙන්න යහපත් අනාගතයක් ඇති කරන්න. ඒ සදහා වගකීම් සහ යුතුකම් අප විසින් ඉටු කළ යුතු වෙනවා.

මේ වැඩසටහන තුළ සම්මාන ලබාදීමෙන් කර්මාන්ත සහ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සෑම කෙනෙක්ම ශක්තිමත් කරනවා වගේම මේ තුළ අපි විශාල ආදර්ශයක් දෙනවා. පසුගිය 11 වනදා අපි දීවනරෝපාv ජාතික වැඩසටහන පැවැත්වුවා. ඒ තුළ රට පුරාම පැළ සිටුවීමේ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔක්තෝබර් 11 වනදා වනරෝපා වැඩසටහන අපි ආරම්භ කළේ එක්සත් ජාතීන් විසින් ලෝක ගැහැනු දරුවන්ගේ දිනය නම් කළ දවසේ. පැළයක් සිටුවන කෙනෙකුට වගේම පැළයක් දකින පෙනෙන සැම කෙනෙකුටම ගස කොළ වෙනුවෙන් අපි කරන ඉල්ලීම වන්නේ, ගැහැනු දරුවෙක් රකින්නේ කෙසේද ආරක්ෂා කරන්නේ කෙසේද සුරක්ෂිත කරන්නේ කෙසේද පෝෂණය කරන්නේ කෙසේද සමාජය තුළ ගැහැනුු දරුවා පිළිබදව තිබෙන අභිමානය ආරක්ෂා කරන්නේ කෙසේද ඒ ආකාරයටම පැළයක් ආරක්ෂා කළ යුතුයි කියන එක.

අප කවුරුත් දන්නා පරිදි අතීතයේ සිට, මිනිසාගේ පරිණාමයත් සමග ස්වභාවධර්මයාට වන්දනා කිරීම පුද පූජා පැවැත්වීම ආරම්භ වුයේ, ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සදහායි. ඇතැම් වේලාවට ගස්වලට වැදීම, පැළවලට වැදීම, ගල්වලට වැදීම, කදුවලට වැදීම අපි ව්‍යවහාරයේදී විග‍්‍රහ කළා නොදියුණු මිනිසුන්ගේ ගති, සිරිත් සහ සංස්කෘතීන් කියා. මේ වන විට අපිට පෙනී යනවා තිබෙන සංස්කෘතික වැදගත්කම සහ ආදී මිනිසා මේ සියල්ල වන්දනා කළේ ඒ තුළ ඇතිවන ස්වභාවධර්මයාගේ ආශිර්වාදය ආරක්ෂා කිරීම සදහා බව.

නව තාක්ෂණික ලෝකයේ කොන්ක‍්‍රීට් නගරවලින්, කොන්ක‍්‍රීට් වනාන්තරවලින් බැහැරව පෝෂණය වූ ගස් වැල්, ඇළ දොල වැනි ස්වාභාවික සම්පත් ආරක්ෂා කරමින් වඩාත් වාසනාවන්ත අනාගතයක් අපේ රටටත් මුළු මානව සමාජයටත් දීමට අප සියලූ දෙනා එක්වී එම වගකීම් ඉටු කරමු කියා ඔබ සියලූ දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ දෙදින වැඩමුළුව සියලූ ආකාරයෙන් සාර්ථක වේවා කියා මා ආශිර්වාද කරනවා. සුබ පතනවා. මේ සමුළුව සාර්ථක කිරීමට එක්වූ ඔබ සියලූ දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුදකරමින් පරිසර සංරක්ෂණයේදී අප සියලූ දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටුකරමින් ඒ සදහා කළ යුතු කාර්යයන් ප‍්‍රමාදයකින් තොරව ඉටු කරමු කියන ඉල්ලීම කරනවා. පරිසර සංරක්ෂණයට අදාළ නීති රීති තව තවත් ශක්තිමත් කරමින් අවශ්‍ය නම් තව නීති සම්පාදනය කිරීමට අපි රජය විදියට බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලය තුළ අපි පොලිතින් තහනම සිදුකළ අවස්ථාවේ ඒ පිළිබදව අභියෝග රාශියක් ආවා. පොලිතින් තහනම් කළ අවස්ථාවේදී, පොලිතින් නිෂ්පාදකයින් තමන්ගේ සේවකයින් සමග ඊට විරුද්ධව පෙළපාලි ගියා. උද්ඝෝෂණ කළා. පොලිතින් තහනම් කළාට පසු ඊට විරුද්ධව පෙළපාලි ගිය රටක් තිබෙනවානම් මම ලෝකයේ දැකපු එකම රට ඒ අපේ රටයි. මම මේ පිළිබදව ඉතාමත් කනගාටු වෙනවා. කුමනාකාරයෙන් එවැනි විරෝධතාවයන් පැමිණියත් ප‍්‍රශ්න සහ අභියෝග පැමිණියත් පරිසර සංරක්ෂණය වෙනුවෙන් නීල හරිත යුගයක් ගොඩනගන්න තිරසාර සංවර්ධන ප‍්‍රතිපත්තිය තුළ අපි සෑම කෙනෙක්ම කැපවෙමු කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා. ස්තූතියි. තෙරුවන් සරණයි.

scroll to top