ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය තුමා අතින්

PM.jpg

ලබන තෙවසර තුළ අපනයන ආදායමට මූලිකත්වය දෙන, ශීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකයකයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. රැකියා බිහිකිරීමට, ආදායම වැඩි කිරීමට එමෙන්ම සාමාන්‍ය ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි.

වසර 40 කට පෙර එනම් 1977 වසරේ නොවැම්බරයේ අප මෙරටට විවෘත ආර්ථිකයක් හඳුන්වා දුන්නා. එම නිසා නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳ කටයුතු වැඩි වුණා. චීනය, ඉන්දියාව, වියට්නාමය විවෘත ආර්ථිකයට පිවිසුණේ අපෙන් පසුවයි. යුද්ධය නිසා අපේ සංවර්ධන වේගය අඩු වුණා. සෙසු රටවල සංවර්ධන වේගය අඩු වුණේ නැහැ. අපිට සමාන මට්ටමේ සිටි මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල් ද අපට පිටුපසින් සිටි චීනයත්, පසු ඉන්දියාවත්, වියට්නාමයත් දැන් අප පසු කරගෙන ඉදිරියට ගොස් තිබෙනවා. දැන් අපට පිටුපසින් සිටින්නේ මියන්මාරය, කාම්බෝජය, ලාඕසය, ඇප්ගනිස්ථානය පමණයි.

අප අපනයන ආර්ථිකයකට ගමන් කිරීමේ වේගය අඩු වුණත්, පසුගිය දශකයේ දී විපර්යාසයක් ඇති වුණා. අපගේ ආර්ථිකය වෙළෙඳ නොවන කටයුතු සඳහා වැඩි වශයෙන් අවධානය යොමු වුණා. රටේ වර්ධනය ඇති වුණේ වෙළෙඳ නොවන අංශවලිනුයි. ආර්ථිකයේ අපනයන නිෂ්පාදනයටත් ඊට සම්බන්ධ ආයෝජනකරුවන්ටත් අහිත කරවූ ප්‍රතිපත්ති එම යුගයේදී ක්‍රියාත්මක වුණා. එකළ ජීඑස්පී ප්ලස් ඇඟළුම් තීරු බදු සහනයෙන් ලැබෙන්නට තිබූ වාසිය ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කළා. බංගලාදේශය එහි වාසිය ලබාගත්තා.

අපනයන අඩුවීමත් සමග සංවර්ධනය සඳහා එවකට රජය යටිතල පහසුකම් ඉදිකිරීම ආරම්භ කළා. යටිතල පහසුකම් ඉදිකිරීමට තම ආදායම් නොතිබූ නිසා ණය ලබාගත්තා. ලංකාවේ වෙළෙඳපොළින් පමණක් නොව පළමුවරට විශාල වශයෙන් විදේශ වෙළෙඳපොළෙන් මුදල් ලබාගත්තා. එකළ යුරෝපයේ තිබූ ආර්ථික අර්බුදය නිසා විදේශ මුදල් ලංකාවේ රැඳුණේ කෙටි කාලයක් පමණයි. එම මුදල් ආපසු යන්නට පටන් ගත්තා. ඒ අනුව සම්පූර්ණයෙන්ම යටිතල පහසුකම් ඉදිකරන්නට පටන් ගත්තා.

උදාහරණ වශයෙන් ගතහොත් හම්බන්තොට වරාය, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව ආදිය දැක්විය හැකියි. මේ ආයතනයේ අය ක්‍රිකට් ගහන්න කැමැති නම් අපට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය දෙන්න පුළුවන්. මේ සියලූම ඉදිකිරීම් සඳහා අප විශාල වශයෙන් ණය ලබාගත්තා. අන්තිමට සිදුවූයේ කුමක්ද? මෙරට තරුණ තරුණියන්ට රැකියා තිබුණේ නැහැ. සමහරුන් මැදපෙරදිග රටවල්වලට ගියා. එම නිසා සමාජ ව්‍යුහය වෙනස් වුණා. පවුල් කැඩුණා. බොහෝ විට තරුණයන් ත්‍රීරෝද රැකියාවට යොමු වුණා.

අවසාන යුගය වන විට ණය නොව පොලියවත් ගෙවා ගන්නට නොහැකි තත්ත්වයකට රට ඇඳවැටී තිබුණා. 2015 වසර වන විට රට විශාල ආර්ථික අවුලකට යන බවට බොහෝ දෙනා මත පළ කර තිබුණා. ඒ යුගයේ මහබැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ මා දන්නා අයට කතා කළ විට ඔවුන් ගෙන් සුබවාදී පිළිතුරක් ලැබුණේ නැහැ. එවැනි අර්බුදයක් එන්නට පෙර වේලාසනින්ම ජනාධිපතිවරණයක් පැවැත්වීමට රාජපක්‍ෂ මහතා තීරණය කළා. සමහර රටවල ආර්ථික අර්බුදයක් එනවා නම් මැතිවරණ පවත්වනවා. අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික මෙහෙයුම ඇරැඹිමේ වගකීම අපට පැවරුණා.

අප ශ්‍රී ලංකාව සහ බංගලාදේශය සංසන්දනය කර බලමු. 2004 වසරේ ශ්‍රී ලංකාවේ අපනයනය බිලියන 5 ක් හෙවත් මිලියන 467 ක් වුණා. බංගලාදේශයේ එම වසරේ අපනයනය බිලියන 8 ක් හෙවත් මිලියන 657 ක් වශයෙන් දැක්වුණා. අප ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබාගත්තේ නැහැ. 2017 වන විට අපේ අපනයනය බිලියන 10 ක් හෙවත් මිලියන 546 ක් බවට පත්වී තිබුණා. එය දෙගුණයක්වත් වැඩිවී නැහැ. නමුත් බංගලාදේශයේ 2017 වන විට අපනයනය බිලියන 30 ක් හෙවත් මිලියන 197 ක් බවට පත්වී තිබුණා. එසේ නම් බංගලාදේශයේ අපනයනය තුන් ගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා. අප ජීඑස්පී ප්ලස් සහනය ලබාගෙන ඉදිරියට ගියා නම් එම වසරේදී අපට ඩොලර් බිලියන 19 ක් ලැබීමට තිබුණා.

බංගලාදේශයේ සිදු වුණේ කුමක්ද? ඒ අය හොඳ ආරම්භයක් ගෙන ෂේක් හෂීනා අගමැතිතුමියගේ මූලිකත්වයෙන් මැතිවරණයක් පවත්වා වසර 5 කට පසු ජයග්‍රහණය කළා. ලංකාවේ සිදු වුණේ කුමක්ද? ලංකාවේ එසේ වුණානම් හොඳ ආර්ථිකයක් සමග මැතිවරණයක් පවත්වා ජයග්‍රහණය කරන්න තිබුණා. එසේ වුණා නම් මා මෙතැන නැහැ. ආර්ථිකය අතපසු කර දේශපාලනය කරන්නට හැකියැයි බොහෝ අය සිතනවා. අමාරු වුණත් තීරණ ගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම නිසා ගත යුතු අමාරු තීරණ අප පළමු වසර දෙකේදී අරගත්තා.

රට සංවර්ධනය කිරීම. අප පොරොන්දු වුණා. නමුත් සංවර්ධනයට පෙර ආර්ථික ස්ථාවර බාවය අවශ්‍යයි. මඩවගුරේ ගෙවල් හදන්නට බැහැ. කොපමණ සංවර්ධනයක් අවශ්‍ය වුවත් ආර්ථික ස්ථාවර බව නැතිව ඉදිරියට යන්නට බැහැ. අප පසුකළේ ණය පොලියවත් ගෙවා ගන්නට නොහැකිව තිබූ ආර්ථිකයක් බව අමතක කළ යුතු නැහැ.

එම තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් සහයෝගය අප අගය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගන්නේ ඇයි දැයි බොහෝ අය ඇසුවා. අපට අවශ්‍ය තරමින් ආධාර ලබාගත යුතුයි. අපට අවශ්‍ය ආධාර ඔවුන්ගෙන් ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේ රජයට හැකියාව ලැබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියා කළේ අපේ දේශීය ආදායම වැඩිකිරීමටයි. එසේ කිරීමේදී වැට් බදු වැඩිකිරීමට සිදුවුණා, එවිට බැණුම් අසන්නටත් සිදුවුණා. මේ වන විට ලබාගත් ණයෙහි පොලිය අපේ ආදායමෙන් ගෙවා දැමීමට හැකියාව ලැබී තිබෙනවා. එයත් විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි. එම ස්ථාවර බව අප ඇති කර තිබෙනවා. මෙතැන් සිට ඉදිරිපියවර කිහිපයක් අප විසින් ගත යුතුයි. ඒ ආර්ථිකයේ ස්ථාවර බව තහවුරු කිරීම සඳහායි. නමුත් අපට සම්පූර්ණ ණය ගෙවා දැමීමට ශක්තියක් නැහැ. අප විදේශ ආයෝජන ලබාගැනීමට ක්‍රියා කරන්නේ ඇයි? තව අවුරුදු පහ, හයකින් අපගේ දළ දේශීය නිෂ්පාදිතය ශීඝ්‍රයෙන් වර්ධනය වූ පසුව එම ආදායමත් ණය ගෙවාදැමීම සඳහා යෙදවීමට හැකියාව තිබෙනවා. ඒ වනතුරු අපට ණය ගැනීමට සිදු වනවා. මෙවර ණය ගන්නේ ණයගෙවීමට මාර්ගයක් නැතිව නොවේ. පැහැදිලි දැක්මක් ඇතිවයි. වසර පහක්, දහයක් යන විට ණයගෙවීමට අපට මුදල් තිබෙනවා.
ඒ එක්කම දළ දේශීය නිෂ්පාදනය දෙස බලන විට ජාතික ණය ප්‍රතිශතය 79% සිට 70 දක්වා අඩු කර ගන්නට අපට හැකිවුණා. එය 60% දක්වා අඩු කිරීමට අප ක්‍රියා කළ යුතුයි. මේ වන විට මහ බැංකුවෙන් කෙටි හා මධ්‍ය කාලීන ණය පාලනය කිරීමේ උපක්‍රමයක් ඉදිරිපත් කර තිබෙනවා. එය සංශෝධනය කිරීමෙන් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊට හේතුව 2019 සිට 22 දක්වා එක් අවුරුද්දකට අඩුම වශයෙන් විදේශ ණය රුපියල් බිලියන එකත් දෙකත් අතර ප්‍රමාණයත් ගෙවීමට සිදුව තිබීමයි. එම අවුරුදු හතර ඇතුලත එතරම් විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපට සිදුව තිබෙනවා. ඒවගේම අපේ අයවැය තදින් පාලනය කිරීමටත් සිදුවෙනවා. මේ සඳහා අප අලූත් වෙන්දේසි ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබදව මහ බැංකුව සහ භාණ්ඩාගාරය මේ දිනවල සාකච්ඡා කරමින් සිටිනවා. සාකච්ඡාවලින් පසුව එම වෙන්දේසි ක්‍රමයත් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒවගේම ලබාගෙන ඇති ණය පියවීම සඳහා කාර්යාලයක් ආරම්භ කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. එය මහ භාණ්ඩාගාරය හා සම්බන්ධ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මුදල් ණයට ගැනීම සදහා මහ භාණ්ඩාගාරය මැදිහත්ව කටයුතු කළ නිසා එය ගෙවීමේ කටයුතු සදහාත් මැදිහත්වන ලෙස මම ඔවුන්ට පැවසුවා.

මහ බැංකුව ණය ගැනීම සඳහා භාණ්ඩාගාරය යොදා ගත්තත් අනෙක් පාලන කටයුතු නොකිරීම අපේ එක් අත්දැකීමක්. එමනිසා මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට වෙන් වෙන්ව කටයුතු කිරීමට සැලැස්වීමට අප තීරණය කළා. අද අප මේ කටයුතු කරන්නේ එහි එක් ප්‍රතිඵලයක් ලෙසයි.
උද්ධමනය අඩුකිරීම පිළිබදව ද අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. අප මෙම වසරේදී 6% ආර්ථික වර්ධනය වේගයක් බලාපොරොත්තු වුවද නියඟය සහ ගංවතුර තත්ත්වයන් නිසා එය අඩාල වුණා. වැට් වැඩි කිරීමේ බලපෑම, බඩු භාණ්ඩවල හිඟයක් ඇතිවීම ආදී සිදුවීම් පාලනය කරමින් ඉදිරියට යා යුතු වෙනවා. ඇතැම් පුද්ගලයන්ට ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන ගබඩා කිරීමට හෝ එය වෙළෙඳ පොළට රැගෙන ඒමට තරම් ශක්තියක් නැහැ. මෙවැනි පසුබිමක් මත මෙම වසරේදී අප විශාල සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය කිරීමේ උපක්‍රම පිළිබදවත් අප සාකච්ඡා කරනවා. ඒ සඳහා විවිධ අමාත්‍යාංශයන්ගෙන් අදහස් ලැබී තිබෙන අතර මහ බැංකුව හරහා මූලික වාර්තාව සකස් කර තිබෙනවා. හර්ෂද සිල්වා අමාත්‍යතුමාට ඒ සඳහා වූ සම්පූර්ණ වාර්තාව සකස් කිරීමට අප භාරදී තිබෙනවා.

මෙම වසරේ මුල් භාගයේදී කුලියාපිටිය, පන්නල, කොග්ගල, කළුතර ආදි ප්‍රදේශවල ව්‍යාපෘති ආරම්භ කර එම කර්මාන්තශාලා වල ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. හම්බන්තොට ව්‍යාපෘති ඉදිරි මාස දෙක, තුන තුල ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවා. මේ වන විට නව ආයෝජන සිදුකිරීමට ආයෝජකයන් අපෙන් අවස්ථා ඉල්ලමින් සිටිනවා.

හම්බන්තොට පිරිපහදු මධ්‍යස්ථානයක්, එල්එන්ජී විදුලි බලාගාරයක්, ආදි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉදිකෙරෙමින් පවතින කොළඹමුල්‍ය නගරයේ ගොඩනැගිලි ඉදිකිරීම පිළිබදව මේ වන විට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ වී එල්එන්ජී විදුලිබලාගාර දෙකක් සහ පර්යන්තයක් ඉදිකිරීමට එකඟ වී තිබෙනවා. මෙවැනි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා.

නුවර සිට හම්බන්තොට දක්වා විශේෂ ආර්ථික කලාපයක් ඇති කිරීමට කටයුතු කරනවා. එම විශේෂ ආර්ථික කලාපයට ගුවන් තොටුපල දෙකක් සහ වරාය දෙකක් ඉදිකිරීමට නියමිතයි. ඉදිරියේදී සිංගප්පුරු සමාගමක් ත්‍රිකුණාමලයේත්, පොළොන්නරුව, අනුරාධපුරය, දඹුල්ල සහ මඩකලපුව ආදි ප්‍රදේශවලත් කර්මාන්ත ඇතිකිරීම සදහා සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ආකාරයට ඊසාන දිග සහ නිරිත දිග ආර්ථික කලාප දෙකක් නිර්මාණය වෙනවා. නව ආයෝජන ලබාගැනීමට තිබෙන්නේ මෙම ආර්ථික කලාප හරහායි.

අප රටේ සියලූම නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ තරඟකාරීත්වයකින් සමන්විත විය යුතුයි. ශ්‍රී ලංකාවේ ඇතැම් ව්‍යාපාර සඳහා රට තුල තරඟකාරීත්වයක් නොමැතිවීම හේතුවෙන් බංගලාදේශයට සහ මියන්මාරයට රැගෙන යනවා. එය අපට නැවැත්විය නොහැකියි. අප බෙංගලා බොක්කේ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළයුතුයි.

මේ වන විට ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය ලැබී තිබෙනවා. දැන් අපිට ඇති අභියෝගය ජීඑස්පී ප්ලස් සහනයෙන් ලැබුණු නිෂ්පාදන හය දහසින් කොතරම් ප්‍රමාණයක් අපනයනය කිරීමට හැකිවේද යන්නයි. අප ඇඟළුම්, රබර්, ධීවර, කර්මාන්ත සදහා පමණක් සීමා වෙනවාද එසේත් නොමැති නම් තවත් වසරක් දෙකක් ගතවන විට විදෙශ් ආයෝජකයන්ගේ ද සහාය ඇතිව අපනයන ප්‍රමාණය පුළුල් කරනවාද යන්න අප තීරණය කළ යුතුයි. මෙම වසර තුන තුළ එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමටයි අප කටයුතු කරන්නේ. මූල්‍ය ක්ෂේත්‍රය සහ බැංකු ක්ෂේත්‍රයත් මීට සම්බන්ධ කළ යුතු වෙනවා.
මම මෙම ස්ථානයට පැමිණෙන විට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුවියන් සිව් දෙනෙක් ජයමංගල ගාථා ගායනා කළා. මට අවශ්‍ය එම සිසුවියන් සිව් දෙනා ඇතුළු සියලූම දූ දරුවන්ට ණය බරින් තොර රටක් නිර්මාණය කර දීමටයි. මේ පව් ඔවුන් පිට පැටවීමට මම සූදානම් නැහැ. අපි මේ සඳහා විසදුම් සෙවිය යුතුයි. ඔබේ දරුවන්ට බරක් නැති, නීතිය සාමය ගරු කරන හොද ආදායමක් සහිත ආර්ථික වශයෙන් කේන්ද්‍රීය රටක් ඇති කිරීමට මට අවශ්‍යයි. රට පිළිබද මගේ අවසාන අරමුණ එයයි. අප ක්‍රියාත්මක කරන සියලූ දේවල් ඒ අරමුණ සදහා වන උපක්‍රමයි.

මේ සියල්ල සිදුකිරීමට නම් ඔබේ ක්ෂේත්‍රයෙන් විශාල සේවයක් ලැබිය යුතුයි. අවසානයේ මෙහි ප්‍රතිඵල ලබාගන්නේ අනාගත පරපුරයි. මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන විට වැඩි බරක් පැටවෙන්නේ පෞද්ගලික අංශයටයි. පුද්ගලික අංශයෙන් වැඩ කටයුතු රාශියක් සිදුකිරීමට තිබෙනවා. එමනිසා ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයෙන් රටේ සංවර්ධනය සදහා විශාල වැඩකොටසක් සිදුවේයැයි අප බලාපොරොත්තු වෙනවා.

scroll to top