ශ්‍රී ලංකාව තෙල් හා ගෑස් වාණිජ්‍ය මධ්‍යස්ථානයක් කිරීම – ඇමති චම්පික

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළකළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ලංකාවේ බොහෝ විට අපිට ඇසෙන්න ලැබෙන කතාවක් තමයි අපේ ණය බර ඉතාමත් වැඩියි කියන එක. ඒක බොරුවක් නෙවෙයි. රජය, රජයට අනුබද්ධ ආයතන සියල්ල එකට එකතු කරලා ගත් කළ අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් 93%ක් පමණ දැන් අපේ ණය බර බවට පත්වෙලා. මේ ණය බරින් 55%ක් පමණම විදේශ ණය බර හැටියටයි අපි සළකන්නේ. රාජ්‍ය අංශය පමණක් නෙවෙයි පුද්ගලික හා වාණිජ්‍ය ආයතනත් විදේශ රටවලින් විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. මේ නිසා අපේ රටේ විශේෂයෙන්ම ඩොලරයට සාපේක්‍ෂව රුපියලට අධික පීඩනයක් එල්ල වෙලා තියෙනවා පමණක් නෙවෙයි අපට ණය ලබාගැනීමට ගිය කළ අපේ රටේ තිබෙන මේ අස්ථාවර ණයබර නිසා අපට විශාල පොලී අනුපාත ගෙවීමේ තත්ත්වයකුත් ඇති වී තිබෙනවා. ඉතිං කවද්ද අපට මේ ණය බර හෑල්ලූ කරගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් විදේශවලින් ලබා ගෙන තියෙන ඩොලර්, යෙන් ආදී ණය බර අපි කෙසේද පියවා ගන්නේ. මේකට අපට තියෙන ඉතාම බලගතු විසඳුමක් තමයි අපේ තියෙන තෙල් හා ගෑස් සම්පත වහාම වාණිජකරණය කිරීමත්, ඒ වගේම ඊට පෙර අපේ රට තුළ විශේෂයෙන්ම අපේ මහානගර ව්‍යාපෘතිය විසින් නිර්මාණය කරන කොළඹ ඒ මූල්‍ය නගරය ඇතුලත ඩුබායි රාජ්‍යයන් මෙන් තෙල් හා ගෑස් වාණිජ මධ්‍යස්ථානයක්, අලෙවිකරණ මධ්‍යස්ථානයක්, වෙන්දේසිකරන මධ්‍යස්ථානයක් ඇතිකිරීම.

අපි පසුගියදා අප නියෝජිත පිරිසක් සමග ඩුබායි මූල්‍ය නගරයට ගියා. එහි ගියේ මූල්‍ය නගරය වැඩ කරගෙන යන ආකාරය පිළිබඳ දැනීමක් ලබාගන්නත් විශේෂයෙන්ම ඔවුන්ගේ තෙල් හා ගෑස් වෙළෙඳපොල කොහොමද හැසිරෙන්නෙ වෙන්දේසිය සිදුවෙන්නේ කියා දැනගැනීම සඳහායි. මොකද ඩුබායි කියන්නේ තෙල් එක බින්දුවක් හෝ ගෑස් එක බිංදුවක්වත් හෝ නැති රටක්. එහෙම නැති රටක් කෙසේද 2007 සිට මේ දක්වා ඉතා විශිෂ්ඨ අන්දමින් තෙල් හා ගෑස් වෙන්දේසි කරන පොලක් බවට පත්ව තිබෙන්නෙ. මේ තත්ත්වයමයි සිංගප්පූරුවේ තත්ත්වයත්. සිංගප්පූරුවත් තෙල් බිඳක්වත්, ගෑස් ඇටයක්වත්, ගල් අඟුරු පොදක්වත් නැතුව අපි දන්නවා ඉතාම බලගතු තෙල් අඟුරු ගෑස් වෙන්දේසි පොලක් බවට පත්වෙලා තියෙනවා. ඉතිං අපටත් බැරිද මේ තැනට පත්වෙන්න. එතනදී අප දැකපු දේ තමයි. ඒ ඩුබායි නගරයේ තෙල් හා ගෑස් වෙන්දේසි පොල විනාඩි දෙකක් පමණ සුළු කාලයක් ඇතුලත ලොව පුරාව සිටින ඉල්ලූම්කරුවන් හා සැපයුම් කරුවන් අතර සබඳතාවයක් ඇති කරල ඒ තෙල් හා ගෑස් මිලදී ගැනීමේ වාණිජ මධ්‍යස්ථානයක් හැටියට ක්‍රියාකරන අයුරු.

ඇත්ත වශයෙන් අතීතයේ නම් විශාල වෙන්දේසි පොලක් විශාල තීරයක් එක්ක ගමන් කරන වෙන්දේසි පොලක් හැටියට තමයි ක්‍රියාත්මක වුණේ. නමුත් දැන් පරිගණක ලෝකය නිසා අන්තර්ජාල තාක්‍ෂණය නිසා ඕනම කෙනෙකුට තමන්ගේ පෞද්ගලික පරිගණක මගින් මේ වෙන්දේසිකරණයට සහභාගීවෙන්න පුළුවන්. ඒනිසා ඉතා විශාල ගොඩනැගිලි, විශාල පිරිස්, ඒ වගේම තෙල් ටැංකි, ගෑස් ගබඩා අංශ නැතුව මේ ව්‍යාපාරය ඉතාම මැනවින් කරගෙන යන්නට ඒ රටට හැකියාව ලැබී තියෙනවා. ඉතිං අපිත් අපේ ජාත්‍යන්තර මූල්‍ය නගරයේ මේ තෙල් හා ගෑස් වෙන්දේසිකරණයට සූදානම් විය යුතුයි. මොකද අපේ රට අවට රටවල් ගණනාවක තෙල් හා ගෑස් සම්පත ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකානු රටවල්, ඒ වගේම මධ්‍ය ආසියානු රටවල්, ඒ වගේම බංගලිදේශය, මියන්මාරය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, දක්වා දිවයන අග්නිදිග ආසියානු රටවල් අතරේ ඉන්දීය සාගරයේ අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ ඒ තෙල් හා ගෑස් සම්පත 2011 දී අපට ස්ථිරසාරවම තිබෙන බව සාධනය වුණා. අවාසනාවට අපේ රටේ කාලකණ්නි දේශපාලනය විසින් එය ගසාකන්නට ගොස් අවසානයේ ඒ සම්පතේ ප්‍රයෝජනය අපට ලැබුණේ නෑ. ඒක විදේශ සමාගමක් සතුවෙලා තිබුණේ. කෙසේ නමුත් අපට හැකියාව දැන් ලැබිලා තියෙනවා. නැවත වතාවක් ඒ තෙල් හා ගෑස් සම්පත පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් දියත් කරන්න. මේ සඳහා වූ විධිමත් වැඩසටහනක් දින සියය වැඩසටහන ඇතුලේ බලශක්ති ඇමතිවරයා හැටියට මවිසින් රජයට ඉදිරිපත් කළා. ඒ අනුව 2030 දී බලශක්තියෙන් ස්වයංපෝෂිත රටක් හැටියට ලංකාවේ තෙල් හා ගෑස් සම්පත උකහා ගැනීමේ වැදගත් වැඩපිළිවෙලක් අපි එයට ඇතුල් කළා. ඒ වගේම මේ මෑතදී මවිසින් අතිගරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමාටත් මේ පිළිබඳ ව වූ දළ සැළැස්මක් ඉදිරිපත් කළා. ඒ අනුව, දැනට මන්නාරම් ද්‍රෝණියේ කෑන් සමාගම විසින් සොයාගත්ත බැරික්‍යුඩා සහ ඩුරූඩා ඒ ගෑස් නිධිවලින් ගෑස් ලබාගෙන ඒවා මුහුදේ යට එලන නල පද්ධතියක් මගින් කල්පිටිය පුත්තලම් ප්‍රදේශයට ගෙනවිල්ලා ඒ පුත්තලම් ප්‍රදේශයේදී සිට කෙරවලපිටිය දක්වා ගොඩබිම් මාර්ගයකින් ගෙන ඒම තමයි අපගේ සැළසුම. එතැනදී කිසියම් දුරකට පිරිපහදුවකට ලක්කරන ලද මේ ගෑස් රටපුරා බෙදා හැරීමේ වැඩසටහනක් අපි අනුගමනය කළ යුතුයි. එතැනදී අපි විශේෂයෙන්ම අපි දැනට කිසිම ආදාමක් උපදවන්නේ නැතිව පවත්වාගෙන යන අධිවේගී මාර්ග පද්ධතිය මේ සඳහා යොදාගත යුතුයි. එක පැත්තකින් අපි වහාම ත්‍රිකුණාමලයේ තෙල් හා ගෑස් ලංකාවට අයත් ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කළ යුතුයි.

ඒ වගේම ත්‍රිකුණාමලය හා කොළඹ අතර මාර්ග පද්ධතියට සමාන්තරව ගෑස් නල පද්ධතියක් ඇතිකර ගත යුතුයි. ඒ වගේම හම්බන්තොට හා කොළඹ අතරත් අධිවේගී මාර්ගයට සමාන්තරව ගෑස් නල පද්ධියක් ඇතිකර ගත යුතුයි. එමගින් කොළඹ, ඒ වගේම ගාල්ල, මාතර, හම්බන්තොට, ඒ වගේම කොළඹ, කුරුණෑගල, ඒ වගේම මහනුවරට, දඹුල්ල, ත්‍රිකුණාමලය වැනි නගරවලට ගෑස් සම්පත ලබාදීමට අපට හැකියි. ඒ වගේම නොරොච්චෝලේ සිට අනුරාධපුරය දක්වා අපි ගෑස් සම්පත විදාරණය කළොත් එහෙම නැත්නම් මන්නාරමේ සිට පුනරින් හරහා ගමන් කළොත් යාපනය අනුරාධපුර වැනි නගරත් මෙයින් ආවරණය කර ගත හැකියි. විදුලිබල ජාලය වගේම ගෑස් ජාලයක් ඉදිකර ගැනීම ලංකාවේ ඉදිරි කාලය බලශක්තියේ ස්වයංපෝෂිත වීමට ප්‍රධාන හේතුවක් වෙනවා. එමගින් අපි දැනට විදේශවලින් ආනයනය කරන ඒ තෙල් හා ගෑස් සම්පතට ගෙවන විශාල විදේශ විනිමය වර්ෂයකට ඩොලර් මිලියන 4කට අධික වැයවන විදේශ විනිමය ඉතුරු කර ගත හැකි වනවා පමණක් නොවෙයි තෙල් හා ගෑස් ඒ වාණිජ ව්‍යාපාරයට ඇතුල්වීමේ හැකියාවත් අපට ලැබෙනවා. ඒ වගේම අප අවට කලාපයේ රටවල්වල කුඩා හා මධ්‍ය පරිමාණයේ තෙල් හා ගෑස් නිෂ්පාදකයින් සමග එකතුවෙලා තෙල් හා ගෑස් විකිණිමේ වෙන්දේසිකරණයේ මධ්‍යස්ථානයක් බවට කොළඹ වරාය නගරය මූල්‍ය නගරය පත්කිරීමේ හැකියාවත් අපට ලැබෙනාවා. ඉතිං මේ වැදගත් වැඩපිළිවෙල අපි ජාතික ප්‍රමුඛතාවයක් සහිතව දියත් කළ යුතුයි. මේ සඳහා අවශ්‍යකරන ආයෝජනය අපි නොමසුරුව කළ යුතුයි. අපි එකක් තමතක තබා ගන්න ඕන. කරුණෑගල සිට මහනුවර දක්වා හදන අධිවේගී මාර්ගයට එහෙම නැත්නම් කොළඹ සිට රත්නපුරයට හදන අධිවේදී මාර්ගයට, එහෙම නැත්නම් මාතර සිිට හම්බන්තොටට වැයවන මුදලට වඩා අඩු මුදලක් තමයි මේ ගෑස් සම්පත උකහා ගැනීමේ ව්‍යාපාරයට අපි යොදා ගැනීමට හැකිවන්නේ.

මෙතනදී විශේෂයෙන්ම ලංකාවේ හා විදේශ ගත පිරිස්වල ආධාරයෙන් ඔවුන්ට කොටස් මිලදී ගත හැකි රජයට අයත් ගෑස් සමාගමක් පිහිටුවීම පළමුවැනි ක්‍රියාදාමය වෙනවා. දෙවනුව අපි එකක් අවබෝධ කර ගත යුතුයි මේ ගෑස් සම්පත අපට උකහා ගත නොහැකි වුණේ පසුගිය රජයේ සිටි තක්කඩි දේශපාලකයින් සහ ඔවුන්ගේ අනුගාමිකයින් පිරිසක් විසින් මෙය ගසා කෑමට දැක්වූ උත්සාහය නිසා. ඒ නිසා තමයි කෑන් සමාගම අති විශාල ලාභයක් උපයලා ඔවුන්ගේ කොටස් වෙළෙඳපොලේ කොටස් විකුණලා මේ රට හැර ගියේ. දැන්වත් අපි මේ ලාභය ජනතාවට ලැබෙන මාර්ගයටකට ගමන් කළ යුතුයි. මෙහිදී අපට විශේෂයෙන්ම දායක විය යුත්තේ නෝර්වේ රට. නෝර්වේ රටේ තෙල් හා ගෑස් සම්පත අයත් එරට ජනතාවට ඒ මුදල් වියදම් කිරීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. නෝර්වේ රට ඉතා කුඩා රටක් මිලියන 3ක පමණ ජනගහනයක් ඉන්නේ. බස්නාහිර පළාතේ ජනගහනයවත් නෑ, ඉන් අඩක් පමණ ජීවත් වෙන්නේ. හැබැයි ඩොලර් ට්‍රිලියනයක, එනම් බිලියන 1,000 ක තෙල් සංචිතවලින් උපයාගත් ධනයක් නෝර්වේ රටට තියෙනවා.

ඒ වගේම අපි මෙතනදී වටහාගත යුතුයි තවත් තෙල් සම්පතින් අනූන රාජ්‍යයක් වන නයිජීරියාව. ඒ රට කැබලිවලට කැඩිල විනාශ වී යාමට හේතු වුනේ තෙල් සම්පතයි. එතකොට නෝර්වේ රට ආර්ථික අතින්, සමාජමය අතින් ශක්තිමත් රටක් බවට සුමට සුපරි බලයක් බවට තෙල් සම්පත හරහා පත්වෙද්දී තවත් රටවල් අපායවල් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා ලංකාවත් මේ අනුග්‍රහය ලබාගත යුතුයි. මේ අත්දැකීම ලබාගත යුතුයි. ඒ නිසා ජනතාව සතු සම්පතක් හැටියට මෙය පරිහරණය කිරීමට නීති රීති සකස් කර ගත යුතුයි. ජනතාවගේ කොටස්වලින් දුවන සම්පතක් බවට මෙය පත්කර ගත යුතුයි. ඒ වගේම පෞද්ගලික කළමනාකරණයක් යටතේ ශක්තිමත් රජය සතු ආයතනයක් හැටියට මෙය පවත්වාගත යුතුයි. ඒ වගේම ලංකාව තෙල් හා ගෑස් වෙන්දේසිකරණයේ මූලස්ථානයක් බවට අප පත්කර ගන්නට ඕනෑ. විශේෂයෙන්ම අපේ මේ උදාහරණය විය යුත්තේ තෙල් නැති සිංගප්පූරුවත් ඩුබායි රටත්. ඒ සඳහා වන අත්දැකීම අපි ලඟාකර ගත්තා දැන්වත් මේ රටේ අලූතෙන් සිතිය යුතුයි. සම්ප්‍රදායික ක්‍රියාදාමය අධිවේගී මාර්ග ඒ වගේම ආදායම් උපදවන්නැති වරායවල් ගුවන් තොටුපලවල් වෙනුවට අපේ සම්පත් උකහාගෙන ඉදිරියට යාමට අපි අධිෂ්ඨාන කර ගත යුතුයි. අපි එකක් මතක තබා ගත යුතුයි. ඉන්දියාවට අයිති ඒ වෙරළ තීරය හා මුහුදු තීරය සාමාන්‍යයෙන් ලක්‍ෂ 30ක් පමණ වනවා වර්ග කිලෝමීටර්. ලංකාවට අයත්වීමට නියමිත ඒ මහා මුහුදු තීරය වර්ග කිලෝමීටර් ලක්‍ෂ 14ක් පමණ වෙනවා. එහෙම බැලූවම අපි ඉන්දියාව වගේ අඩක් පමණ විශාල රටක් බවට මුහුදත් සමග පත්වෙනවා. ඒ වගේම ඉන්දියාවෙන් දකුණේ කිසිම රටක් නැති නිසා අප හැර අපට විශාල මුහුදු තීරයක අයිතිය වාසනාවන්ත අයිතිය ලැබී තිබෙනවා. ඒ වගේම ඉන්දියාවෙත් ඒ වගේම බංගලිදේශයෙත් ඒ වගේම අපට ආසන්න නැගෙනහිර අප්‍රිකානු රටවලත් මීට සමාන භූගෝලීය ලක්‍ෂණ තියෙන සෑම තැනකම පාහේ තෙල් හා ගෑස් සම්පත හමුවෙලා තියෙනවා පමණක් නෙවෙයි අපේ සයිසමික් දත්තත් ඒ වගේම අපේ ප්‍රායෝගිකව තෙල් ලිං හතරක් කැණීම් කළා. ඒ හතරින් දෙකක අපට ගෑස් සම්පත ලැබුණා. ඒ අත්දැකීම් සියල්ලත් අප සතුයි. ඉතිං ඇයි අපි තව පමා වෙන්නෙ. වහාම ජාතික ප්‍රමුඛතාවයක් බවට මෙය පත්කර ගත යුතුයි. හැබැයි මේ රට තක්කඩි දූෂිත දේශපාලන නිලධාරීන් විසින් ගසා කන රටක් බවට පත්වී තිබෙන නිසා මෙයින් ගලවා ගැනීමට නම් ස්වාධීන ජනතාව සතු දේපලක් ලෙස මේ මහා ජාතික සම්පත කළමනාකරණය කළ යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙලක් මවිසින් ඉදිරිපත් කර තිබෙනවා. අපි බලමු මේ රටේ අනාගතේ කෙසේද ඒ වැඩපිළිවෙලට ප්‍රතිචාර දක්වන්නේ කියා’ යි පැවසීය.

scroll to top