විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය විය යුතුයි – නීතිඥ උදය ගම්මන්පිල

මේ වන විට රන්ගිරි දඹුළු විහාරයේත් බේරුවල කන්දේ විහාරයේත් පිං කැට වලට සීල් තබලා. තවත් විහාර ගණනාවක එසේ පිං කැට සීල් තබලා ඇති බවට තහවුරු නොවුණු ආරංචි මාර්ග පවසනවා. ඒවා මම වෙබ් අඩවි වලිනුයි දැක්කේ. නමුත් අර පන්සල් දෙකේනම් විහාරාධිපති, විහාරාධිකාරී ස්වාමීන්වහන්සේලා තහවුරු කර තිබෙනවා සීල් තබා ඇති බවට. ඒ වගේම පෙරේදා අස්ගිරි කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා රැස්වුනාම එක කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේ නමක් දැනුන් දුන්නා උන්වහන්සේගේ පන්සලට පොලීසියෙන් ඇවිල්ලා මේ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ නම් මොනවද දුරකතන අංක මොනවද ආදී වශයෙන් ප්‍රශ්න කරාල තොරතුරු ගත් බවට. අපරාධයක් පිළිබද පැමිණිල්ලක් නැතුව කිසිම පදනමක් නැතුව පන්සලේ මෙහෙම තොරතුරු හොයන්න පොලීසියට කිසිම නීත්‍යානුකූල අයිතියක් නෑ. මේ කරන්නේ භික්ෂුන් වහන්සේලා බිය වැද්දීම. මේ ආණ්ඩුවේ මර්ධන කාරී බෞද්ධ විරෝදී වැඩ පිළිවෙලට එරෙහිව මහා සංඝරත්නය අභීතව නැගී සිටිම කඩා කප්පල් කිරීමේ කූට අරමුනින් අද පොලිසීය සහ රාජ්‍ය යාන්ත්‍රනය, ඒකාබද්ධ විපක්ෂය ,ශිෂ්‍ය ව්‍යාපාර, වෛද්‍ය ප්‍රජාව , මර්ධනය කළ අයුරින්ම මහා සංඝරත්නයත් මර්දනය කිරීමටත් යොදා ගනිමින් සිටිනවා. බුද්ධ ශාසන කොමසාරිස් ලැජ්ජා නැතුව කියනවා විහාර සහ දේවාලගම් ආඥා පනත යටතේ තමන්ට තිබෙන බලතල පාවිච්චි කරලා තමයි පිං කැට සීල් තබන්නේ කියලා. ඔව් එහෙම බලයක් නම් තිබෙනවා තමයි. මේ බල තල ලැබුනේ කොහෙන්ද? පන්සලේ පිං කැටයට අත තබන්න නීති තිබුණාට පල්ලියේ කොවිලේ ආදායමට අත තබන්න බලයක් කොහෙන් ද? කොහොමද මේ බලතල ලැබෙන්නේ? අපි දන්නවා හැමදාම අපේ රටේ නිදහස් අරගලයට නායකත්වය දුන්නේ අපේ ස්වාමීන් වහන්සේලා. ඒ වගේම නිදහස් අරගලයේ මුලස්ථාන හා සටන් කඳවුරු වුනේ පන්සල.

එදා ඉංග්‍රිසි ආණ්ඩුවට විරුද්ධව මව්බිමේ නිදහස පතා සටන් කලේ පන්සල මූලස්ථානය කර ගෙනයි. 1818 නිදහස් අරගලයට නායකත්වය දුන්නේ වීර කැප්පෙටිපොල නෙමෙයි වාරියපොල සුමංගල හාමුදුරුවෝ. උන් වහන්සේගේ නායකත්වයෙන් තමයි ඔය සටන් කාමීන් එකතු වුනේ. 1848 නිදහස් සටනට නායකත්වය දුන්නේ වීර පුරන් අප්පු නෙවෙයි කුඩාපොල හාමුදුරුවෝ. මේ නිසා පන්සල් පාලනය කරන්න හාමුදුරුවන් මර්දනය කරන්න සුද්දන්ගේ ආණ්ඩුවට ඕනෑ වුණා. අන්න ඒකට තමයි විහාර හා දේවාල ගම් ආඥා පනත කියන නීතිය ගෙනාවේ. ඒකයි පල්ලියට කෝවිලට නැති නීතියක් පන්සලට තිබෙන්නේ. මේ නීතිය මත තමයි අපේ කොමසාරිස් තුමන්ලා ආණ්ඩුව දැන් මේ පන්සල මර්දනය කරන්න පන්සලේ තොරතුරු ගන්න පිං කැටයට සීල් තබන්න කටයුතු කරමින් ඉන්නේ.

ලංකාව ඇත්තටම තව දුරටත් සුද්දාට යටත් නැති නම් මේ නීතිය දැන් අහෝසි කරලා දාන්න ඕනෑ. අඩුම ගණනේ බුදු දහමට ආණ්ඩුවට බලපෑම් කරන්න බැරි වෙන්න මේ නීතිය සංශෝධනය කරන්න ඕනෑ. නමුත් කළු සුදු මේ ආණ්ඩුව සුද්දගේ නීතිය දැන් පාවිච්චි කරනවා මහා සංඝරත්නය මර්දනය කරන්න. සුද්දා මොන තරම් පීඩා කාරී පාලනයක් අරගෙන ගියත් සුද්දාවත් පිං කැටයට අත තැබූ වේ නෑ. පන්සලේ පිං කැටයටත් අත තියන මෙවැනි ආණ්ඩුවක් යටතේ විහාර හා දේවාල ගම් පනත පැවතීම අතිශ්‍යයින්ම බුද්ධාගමට තර්ජනයක්. ඒ නිසා මේ පනත එක්කෝ සුදුසු පරිදි සංශෝධනය වෙන්න ඕන නැතිනම් ආණ්ඩුවේ බල පෑම් නැවැත්තීමට අහෝසි වෙන්න ඕන.

ඒ වගේම පල්ලියේ පූජකතුමන්ට කෝවිලේ කුරුකල් තුමන්ට අපි දැනුම් දෙනවා මේ ඔබේ ආගමික සිද්ධස්ථානයටත් අත තැබීමේ පලවෙනි පියවරයි. දැන්මම පන්සල වටා එකතු වෙන්න. නැතිනම් මේ වැඩ බැරි ආණ්ඩුව ඔබේ ආගමික සිද්ධස්ථානයේ දියුණුව සදහා දායකයින් බැති සිතින් පුදන මුදලත් ආණ්ඩුවට කොල්ල කෑමේ කටයුත්ත අනාගතයේ කරනවා.

දුරකතනයට රහසේ සවන් දෙන යන්ත්‍ර ගෙනැවිත්

පසුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති සිරිසේන මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරි අපූරු දෙයක් තිබුනා. රාජ පක්ෂ ආණ්ඩුව ආණ්ඩු විරෝධී දේශපාලකයන්ගේ දුරකථන වලට රහසේ සවන් දෙනවා. අපි බලයට ආවම ඒ වගේ අශීලාචාර කැත වැඩ කරන්නේ නෑ කියලා. මේ ආණ්ඩුව කතාවෙන් යහ පාලනය. ක්‍රියාවෙන් යම පාලනය. රාජ පක්ෂ යුගයේ සවන්දීමේ හැකියාව තිබුනේ ස්ථාවර දුරකතන වලට පමණයි. ජංගම දුරකතන වලට සවන් දෙනවනම් එම දුරකතනයට මීටර් සීයක් ආසන්නයේ ඉදලයි සවන් දෙන්න හැකි වුනේ. ඔන්න ඉතිහාසයේ ප්‍රථම වතාවට ජංගම දුරකතන වලට රහසේ සවන් දිය හැකි උපකරණයක් වත්මන් ආණ්ඩුව ඇමෙරිකාවෙන් ගෙන්වලා. එහි දේශීය නියෝජිතයා වන්නේ කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදියේ එන්-ඇබ්ලේ කියන සමාගමයි.

මේ උපකරණය හරහා ජංගම දුරකතන වලට සවන් දීමට නම් ජංගම දුරකතන සමාගම් තමන්ගේ ජාලයට සම්බන්ධ වෙන්න දෙන්න ඕනෑ. එහෙම නැති නම් එන්ක්‍රිප්ෂන් කෝඩ් නමින් හඳුන්වන කේත අංකය ජංගම දුරකතන සමාගම් විසින් ආණ්ඩුවට ලබා දෙන්න ඕනෑ. ඒ නිසා ජංගම දුරකථන සමාගම්වල සහයකින් තොරව ආණ්ඩුවට ඔබෙත් මගෙත් දුරකතන වලට සවන් දෙන්න බැහැ. අපි ඔත්තුකරුවන් පිලිබඳ ඔත්තු බලමින් ඉන්නේ. ඒ නිසයි අපි මේ තොරතුරු දන්නේ. යම් ජංගම දුරකතන සමාගමක් මේ අශීලාචාර වැඩේට සහය දුන්නොත් අපි ඒ සමාගම හෙලි කරනවා. ඊට පස්සේ ඒ සමාගමේ සේවය කවුරුවත් ගන්නේ නැති වේවි. අපි මෙයට එරෙහිව කටයුතු කරන්නේ එය මේ ආණ්ඩුව ලබාගත් ජන වරමට පටහැනි නිසයි.

මේ ආණ්ඩුව දැනටමත් රුපියල් මිලියන 400කට වඩා වැය කරලා ෆේස් බුක් අධීක්ෂණ උපකරණයක් ලංකාවට ගෙනැවිත් තිබෙන්නේ. ඒක ක්‍රියා කරන්නේ සී ආර් ඩී නැතිනම් සෙන්ටර් ෆෝ රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් කියන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනය යටතේ. ඔබ ෆේස්බුක්හි කරන සෑම දෙයක්ම ආණ්ඩුවේ දැඩි පරික්ෂාවට ලක් වෙමින් තිබෙන්නේ.

ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනපතිවරණයෙන් පරාජය කිරීමට තරුණ ෆේස් බුක් ක්‍රියා කරුවන් දැවැන්ත කාර්යක් ඉටු කලා. එතුමන්ට දැඩිව අපහාස කලා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ෆේස් බුක් වල තමන්ට එරෙහිව කටයුත් කරන අය මර්ධනය කිරීමට උත්සහ කලේ නෑ. අත් අඩංගුවට ගත්තෙත් නැ. නමුත් වත්මන් ආණ්ඩුව දකුණූ පලාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල මහතාද ඇතුළුව මා දන්නා පරිදි11 දෙනෙක් මේ වන විටත් අත් අඩංගුවට ගෙන තියෙනවා.

ඔවුන්ට දඩුවම් කරීමට යොදා ගත්තේ ඉතාම පැරණි නීතියක් වන ඉග්‍රීසි ආණ්ඩුව කාලේ දණ්ඩ නීති සංග්‍රයට ඇතුල්වුනු ජෝර්ජ් රජ තුමන්ට අපහාස කිරීමට එරෙහිව ඇති නීතියයි. මාධ්‍ය නිදහස ගැන කතා කරපු ජනතාවගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය වෙන්නට ඉඩ තබන් නෑ, රහසේ දුරකතන වලට සවන් දෙන්නැති බව කියපු මේ ආණ්ඩුවට කිසිම වරමක් නෑ මෙසේ ජනතාවගේ පෞද්ගලිකත්වයට අත පොවන්න.

කාලෝ ෆොන්සේකා මැතිතුමා තව දුරටත් වෛද්‍ය සභාවේ සභාපති.

මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය පුරප්පාඩු වටයි ති‍යෙන්නේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිහිටුවන්නේ 1927 අංක 26 දරණ වෛද්‍ය වෘර්තිකයන් ඖෂධ වේදීන් සාත්තු සේවිකාවන් හා හෙදියන් පිලිබද ආඥා පනත යටතේ. ඒ පනතේ 14 වන වගන්තියේ ඉතා වැදගත් කාරණයක් කියවෙනවා. වෛද්‍ය සභාවට පත් කරන අයෙකුගේ දූර කාලය වසර පහකි. එහෙමනම් මේ පනතින් රාජිත සේනාරත්න ඇමතිතුමන්ට බෑ තාවකාලිකව මාස කීපයකට සභාපතිලා පත් කරන්න. පත් කලොත් ඒ පත්වීම වසර පහකට අදාලයි.

මේ පනතේ කියනවා පත්කල අයෙකු නැවත වරක් පත් කිරීමට බලය තියෙනවා. ඒ අනුව කාලෝ ෆොන්සේකා මැතිතුමන්ගේ පස් වසරක සේවා කාලයෙන් පසුව එතුමන්ව රාජිත සේනාරත්න ඇමතිතුමන් විසින් නැවත පත් කිරීම නීත්‍යානුකූලයි. නමුත් ඒ පත්වීම ජූනි 30 දක්වා මාස 6 කටයි කියන කෑල්ල නීත්‍යානුකූල නෑ. ඇයි නීතියේ ඉඩ තියෙන්නේ වසර පහකට පත් කරන්න පමණයි. ඒ නිසා මේ මොහොතෙත් මේ රටේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති දූරයේ ඉන්නේ අපි හැමෝම ගෞරවනීය ලෙස සලකන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමන්.

පක්ෂ භේදයකින් තොරව වෛද්‍ය වෘර්ථිකයන් එකසේ ගරු කරන තවත් කාලෝ ෆොන්සේකා කෙනෙක් මේ මිහිතලය මත නැත. මේ තනතුර කාලෝ ෆොන්සේකා මැතිතුමන් නිසා බැබළුනා මිසක මෙතුමා මේ තනතුර නිසා බැබළුනා නෙමෙයි. කාලෝ ෆොන්සේකා මැතිතුමනි හෙට උදෑසන ඔබ සුපුරුදු පරිදි වෛද්‍ය සභාවේ වැඩට යන්න. මක් නිසාද යත් මේ මොහොතේත් වෛද්‍ය සභාවේ සභාපති ධුරය දරන්නේ ඔබතුමාමයි.

scroll to top