විශ්වවිද්‍යාල සිසුන්ගේ ආකල්ප දුෂණය කරන අන්තගාමී දේශපාලන බලවේග හදුනාගෙන දඬුවම් කලයුතුයි

වර්තමානය වනවිට නවකවදය සම්බන්ධයෙන් සමාජය තුල පුළුල් කතිකාවතක් ගොඩනැගෙමින් තිබෙන බවත්, ඊට හේතුව විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක වන නවකවදය සමාජ පිළිලයක් ලෙස එහි උච්චම අවස්ථාවට පැමිණ තිබිම බවත්, නවකවදය වෙනුවෙන් වෙනමම වධකාගාර පවත්වා ගෙන යාම දක්වා විශ්වවිද්‍යාල සිසුන්ගේ ආකල්ප දුෂණය වීම ඊට හේතුව බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

විශ්ව විද්‍යාල සිසුන් බලහත් කාරයෙන් අන්තවාදී දේශපාලන බලවේගවල ගොදුරක් වීම වලක්වා ගැනීමත් මෙරට උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳවත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මේ බව පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා

එදා වේල දුක් මහන්සියෙන් උපයා ගන්නා අහිංසක දෙමාපියන් දරුවා විශ්වවිද්‍යාලය තුලට ඇතුලත් කරන්නේ කප්පරක් වූ බලාපාරොත්තු හිස මත දරා ගනිමින්, එලෙස විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන දරුවා අධ්‍යාපන ඉලක්ක සුනුවිසුණු කර ගනිමින් අර්ථ විරහිත පුද්ගලයෙකු බවට පත්වනු දැකීම ඛේදවචකයක්, ඊට ඍජුව හෝ වක්‍රව වගකිව යුතු සියලු පාර්ශව ජාතියේ හෙට දවස වෙනුවෙන් පිළිතුරු සැපයිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

උපතින්ම දේශපාලන සත්වයෙකු වන මිනිසාට දේශපාලන ප්‍රතිරුපයන් හදුන්වා දීම ගැටළුවක් නොවේ, එහෙත් සිය දේශපාලන වහල් භාවයන් වෙනුවෙන් ශිෂ්‍ය ප්‍රජාව ගොදුරක් කර ගැනීම කිසිදා වන්දි ගෙවිය නොහැකි පාප කර්මයක්.

සමාජවාදී දේශපාලන මතවාදයන් වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍ය නායකයන් යැයි කියා ගන්නා පුද්ගලයන්ගේ ජිවිත තුල සැබෑ සමාජවාදී ප්‍රතිරූපයක් තිබෙන්නේ ද යන්න ගැන තිබෙන්නේ ද විවේචනයකි. සුඛෝපබෝගී ජීවන රටාවක් අනුගමනය කරන රාජ්‍ය නොවන සංවිධාන වල අරමුදල් වලින් නඩත්තු වන ඇතැමුන් උපාධිය හදාරන කාල සීමාවද ඉක්මවා විශ්වවිද්‍යාල තුල රැදී සිටින්නේ තමාගේ පුද්ගලික සහ දේශපාලන අරමුණු හේතුවෙනි. ඔවුන් විසින් පොළඹවනු ලබන අහිංසක සිසුන්ගෙන් ඇතැම් විට ව්‍යාජ සිසු ක්‍රියාමාර්ග වලට හේතු විමසුවහොත් ඇතැම් විට ඔවුන් ඊට හේතු දැක්වීමට පවා අසමත් වන බව සඳහන් කල යුතුයි.

අයිතීන් වෙනුවෙන් ශිෂ්‍යයන් සටන් කිරීම පුදුමය දනවන් කරුණක් නොවේ. ගැටලුව වන්නේ ශිෂ්‍යය අයිතීන් ලෙස හුවා දක්වමින් පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් සෙසු ශිෂ්‍යය ශිෂ්‍යයාවන්ද පොළඹවා ගැනීමයි.

මෙරට විශ්වවිද්‍යාල තුල පවතින මෙම විකෘති භාවය හේතුවෙන් රටක් ලෙස අපට අනාගතයේදී මානව සම්පත පිලිබඳ දැඩි අර්බුධයකට මුහුණ දීමට සිදුවන බව පැහැදිලියි. මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල ලෝකයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල දහස ආසන්නයට හෝ පැමිණීමට අසමත්වීම ඊට ප්‍රභල සාක්ෂියයි. අපගේ විශ්වවිද්‍යාල තුල සිදුවන නව පර්යේෂණ ඉතා අවම වී ඇති අතර එය සුභවාදී වෙනසකට ලක් වන අයුරක් ද පෙනෙන්නට නැත.

ශිෂ්‍යය ප්‍රජාව අගාධයට ඇද දමමින් සිය දේශපාලන පිපසයන් සපුරාගන්නා මෙම අන්තගාමී බලවේගයන් මෙන්ම කලින් කලට උසස් අධ්‍යාපනයේ මුල් පුටු සරසන බලධාරීන් ද උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සිදු කර ඇත්තේ කුමක්ද යන්න ජාතිය හමුවේ ගැටළුවක් වී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

scroll to top