විවෘත ආර්ථිකය හදුන්වාදී වසර හතලිහක් ගතවන විට ආහාර ආනයනයට බිලියන දෙසීයක් වැය කරනවා

විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අය වැය විවාදයට සහභාගීවෙමින් පාර්ලිමේන්තුවේදී අද (16) කළ කතාව

අපේ රටට නිදහස ලැබී වසර හැත්තෑවක් සහ විවෘත ආර්ථිකය හදුන්වාදී වසර හතලිහක් ගතවන තැන තමයි අපි මේ අය වැය විවාදයට සම්බන්ධවී සිටින්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස මේ ගතවූ කාලය ගැන අපිට සතුටු විය හැකිද යන ගැටලුව අපි හමුවේ තිබෙනවා. විවෘත ආර්ථිකය තවදුරටත් පුළුල් කිරීමට අය වැය මගින් යෝජනා කර තිබෙනවා.

දේශීය ආර්ථිකයට, කෘෂිකර්මාන්තයට, ධීවර ක්ෂේත්‍රයට අපි ලබාදී ඇති දායකත්වය කුමක්ද? විවෘත ආර්ථිකය හදුන්වාදී වසර හතලිහක් ගතවන විට රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වී තිබෙන්නේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායමයි. අපේ ගමේ කාන්තාව විදේශ රටකට යවලා රටේ ප්‍රධාන ආදායම බවට පත් කරගැනීම ගැන පක්ෂ පාඨ භේධයකින් තොරව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලැජ්ජා විය යුතුයි. රට විවෘත ආර්ථිකයට යොමු කිරීමෙන් පසුව ආර්ථිකය ශක්තිමත් වෙලාද නැතිනම් විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම්වලින් රටේ ආර්ථිකය හදාගෙනද කියලා අපි බැලිය යුතුයි.

අපේ රටෙන් විදේශගතව ශ්‍රමිකයින්ගෙන් බහුතරයක් විදේශගත වන්නේ නුපුහුණු ශ්‍රමිකයින් හා ගෘහ සේවිකාවන් වශයෙනුයි. පසුගිය වසරේදී පුහුණු ශ්‍රමිකයින් 76559ක් විදේශ ගතවන විට නුපුහුණු ශ්‍රමිකයින් 71641 දෙනෙක් විදේශගතවෙනවා. ගෘහ සේවිකාවන් 65125ක් විදේශ ගතවෙනවා. ඒ අනුව බලන විට විදේශ රැකියාවලට පිටත්ව යන සියයට හැත්තෑවක් විදේශ ගතවන්නේ නුපුහුණු ශ්‍රමිකයින් ලෙසයි. ඒ නිසා පුහුණු ශ්‍රමිකයින් විදේශ ගතකිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. කාර්මික අධ්‍යාපනය දියුණු කිරීමට අපි කටයුතු කළ යුතුයි. ස්විස්ටරලන්තයේ හා ජර්මනියේ ආධාර මත කාර්මික පාසල් ආරම්භ කිරීමටත්, විශ්ව විද්‍යාලවල තාක්ෂණ පීඨ හතක් ආරම්භ කිරීමටත් යෝජනා කර තිබෙනවා. රටේ ආර්ථිකය විවෘත කරනවා කියලා මේවා නොකර, නිශ්පාදනය වැඩි නොකර සියලුම ක්ෂේත්‍ර විවෘත කිරීම ප්‍රෙයා්ජනක් නැහැ.

රටේ අර්ථිකය විවෘත කළාට වසරකට ආහාර ආනයනය කිරීමට බිලියන දෙසීයක මුදලක් විදේශ රටවලට ඇදී යනවා. මේකද අපි හදාගනිපු නිශ්පාදන ආර්ථිකය. විවෘත ආර්ථිකය හමුවේ අපේ රටේ කෘෂිකර්මාන්තය ගිහින් තිබෙන්නේ මෙතැනටද? අපේ රටේ ආර්ථිකය විදේශ රටවල් මත යැපෙන තැනට ඇදගෙන ගිය එකද විවෘත ආර්ථිකය කර තිබෙන්නේ.

කෘෂි නිශ්පාදන වැඩි කිරීමට හා වස විස නොමැති ආහාර ලබාදීම කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ වැඩි දායකත්වයක් අවශ්‍යයි. අපේ රටේ හැමදාම එළවළු මිල පිළිබද ප්‍රශ්ණයක් තිබෙනවා. එක කාලයකට අස්වැන්න ලැබිලා ගොවියාගේ නිශ්පාදන කුණු කොල්ලයට යනවා. මිල අඩුවීම නිසා ගොවියා පීඩාවට පත් වෙනවා. තවත් කාලයකට එළවළු මිල ඉහළ ගිහින් පාරිභෝගිකයින් පීඩාවට පත්වෙනවා. මේ නිසා නිශ්පාදනය අවුරුද්ද පුරාම සිදුවන ආකරයේ චක්‍රයක් සකස් කිරීමට අපි මැදිහත් විය යුතුයි. ඒ වගේම තමයි දැන් කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය්දී පසු අස්වැන්න සියයට තිහක් පමණ විනාශ වෙනවා. මේවායේ මිලත් ගෙවීමට සිදුවන්නේ පාරිභෝගිකයාටයි. මේ ගැනත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා.

අපි ආහාර සුරක්ෂිතභාවය, වස විස නැති ආහාර ගැන කතා කළාට අපේ හාල්වල තිබෙන සංඝටක මොනවාද කියලා කවුරුවත් දන්නේ නෑ. මොන වගේ රසායනික ද්‍රව්‍ය සහල් සමග මිශ්‍ර වෙලා තිබෙනවාද කියලා අපි දන්නේ නෑ. එළවළුවල, පළතුරුවල තිබෙන රසායනික ද්‍රව්‍ය මොනවාද කියලා කවුරුවත් දන්නේ නෑ. ඒ නිසා මේවායේ තිබෙන සංඝටක මොනවාද කියලා සොයා බැලිය යුතුයි. කොතරම් ආර්ථිකය විවෘත කළත් දේශීය ගොවියා ආරක්ෂා කරගත යුතුයි.

අපේ රට වටේට මුහුද තියාගෙන අදටත් මාළු විදේශ රටවලින් ලංකාවට ගෙන්වනවා. දැන් ධීවර ඇමැතිතුමා එලෙස මාළු ආනයනය කිරීම සීමා කර තිබෙනවා. ඒ වගේම ධීවර නිශ්පාදන ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

මේපාර අය වැය ඉදිරිපත් කිරීමේදී අපිට අත්පුඩි ගැසීමට කාරණා තිබුණේ නෑ. විසල් ගහන්න දේවල් තිබුණේ නෑ. හැබැයි වසර හතලිහක් විවෘත ආර්ථිකය ගත කරලා ඉදිරිපත් කරන අය වැයේදී ආයෝජන ඉහළ දැමීමට, ආර්ථිකය දියුණු කිරීමට ඉදිරිපත් කළ හැකි අය වැයක් ලෙස මෙය අගය කරන්න පුලුවන්.

scroll to top