විවාහක පිරිමි කාම අපරාධවලට පෙළඹෙන්නේ ඇයි ?

කෙතෙක් මනුෂ්‍යත්වය පිළිබඳව කතාබහ කළ ද, දිනෙන් දින මනුෂ්‍යත්වය පිරිහී යාමේ පුවත් අසන්නට ලැබීමද කණගාටුදායකය. අනුන්ට බැලමෙහෙ කිරීමට ගොස් විඳීන අනේකවිධ වූ වධ වේදනා තුළ මනුෂ්‍යත්වයට හිමි නිසි අගය ගැබ්ව නොමැති වීම ද වර්තමානයේ මෙරට සමාජය මුහුණපාන විශාල සමාජ ඛේදවාචකයක් සේ දැක්විය හැක. දිළිඳු බව නිසා අනුන්ගේ කැත කුණු අතපත ගෑමේ රැකියාවල යෙදුන ද ඔවුන්ද මනුෂ්‍යයින් බව සමහරු අමතක කරති. මේ නිසාම එබඳු අසත් පුරුෂයින්ගෙන් ස්ත්‍රීන්ට සිදුවනුයේ දැඩි අසාධාරණයකි. මෙබඳු අසත්පුරුෂයින් ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂය තුළම දැක ගත හැක. පිරිමි නිසා ස්ත්‍රියකට ඇති විය හැක්කේ එක්අංශයක කරදර වන නමුදු සෙසු ස්ත්‍රීන් නිසා සෑම අංශයකම කරදර, හිරිහැරවලට පාත්‍රවීමට ස්ත්‍රීන්ට සිදු වේ. කරන රැකියාව කුමක් වුවද සෑම අයෙකුටම ආත්ම ගෞරවයක් තිබේ. ඒ ආත්ම ගෞරවය රැකගෙන වෘත්තීය කටයුතු ඉටු කිරීමට හැකි වාතාවරණයක් සමාජය තුළ සකස් විය යුතුය. මෘග සතුන්ට මෙන් නොසලකා මිනිසුන් ලෙස ගෞරවයෙන් සමාජයේ සැමදෙනාටම ජීවත්විය හැකි විය යුතුය. බෞද්ධ සංස්කෘතිය සුරක්ෂිත රටක් ලෙස මෙරට සංස්කෘතිය තුළ ස්ත්‍රී නිදහස හා මානව වර්ගයාගේම විමුක්තියට අවශ්‍ය පසුබිම සකස්ව තිබේ. නමුදු විදේශයන්හිදී මේතත්වය මෙසේම දැක ගත නොහැක. මූළධර්මවාදී ප්‍රවණතා ඇති රටවල් ද තිබෙන බැවිනි.

වර්තමාන සමාජයේ පුද්ගලික අංශයේ ද වැඩි ශ්‍රමදායක් ලබාදී ඇත්තේ ස්ත්‍රීන්ය. මේ නිසා අපරටතුළ කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ අගයක පවතී යැයි කිව හැක. රැකියා පතා විදේශ ගත වන අයගෙන්ද බහුතරයක් ස්ත්‍රීන්ය. විදේශ රැකියාවල නියුතු ස්ත්‍රී ශ්‍රමිකයින් බහුල වූව ද ඒ අයගේ සුරක්ෂිතතාවය තකා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවේ. බොහෝවිට විවිධ අපරාධ, අතරවර, කරදර, හිරිහැර, දුක් ගැහැට ආදියට වැඩිපුර මුහුණ දෙනුයේද ස්ත්‍රීහුය. එබඳු දේනිසා අප රටේ ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම්, විදේශීය මුදලට පාවා නොදීම අදාළ අංශවල බලධාරීන්ගේ යුතුකමයි. නමුත් එහිදීසිදු වනුයේ වියයුතු දේ නොව නොවිය යුතු දේමය. ඒ තැන්වලට අරක් ගෙන ඇති පුද්ගලයින් සිය ලාභ, වාසි තකා සිය රටේ වුවද ආත්මගෞරවය පාවා දීමට සූදානමක් ඇති අය බව ඔවුන්ගේ ක්‍රියා කලාප නිසා තහවුරු වේ. ඇට, ලේ, මස්, නහරවැල් වලින් බැඳී ඇති කුණු ගොඩක් බඳුමේ ස්කන්ධ පංචකයට ලෝහ වර්ග වලින් යුතු ඇණ වර්ග කිඳා බස්සවා පාපී වූ එබඳු අය බලාපොරොත්තු වනුයේ කුමක්දැයි නොවැටහේ.අනුන්ගේ ලේ, දහදිය, දුක් කඳුළු නොහඳුනන තිරිසනුන්ගේ මුදලටම ලොබ බැඳි අය හා තවත් ඊට පක්ෂග්‍රාහීව ආවඩන්නන් අයත් වනුයේ කුමන නරකාදියකදැයි සිතා ගැනීම පවා අපහසුය.

සෑම සුළු කරුණකටම පාහේ විරෝධය දැක්වීමට වහා පෙළ ගැසෙන ස්ත්‍රීවාදීන් හා කාන්තා විමුක්ති ව්‍යාපාර විදේශවලදී අපේ ස්ත්‍රීන්ට සිදුවන විපත්වලදී මුනිවත රැකීමට හේතුවක් තිබේද? බොහෝවිට රාජ්‍ය නොවන මෙබඳු සංවිධාන, සමිති, ව්‍යාපාර ආදියට අරමුදල් ලැබෙනුයේ විදේශීය රටවල් වලිනි. ඒ නිසා ඔවුන් තමන්ට මුදල් ලැබෙන ඒ සැපයුම් මාර්ග අවහිර කර ගැනීමට බලපාන තීරණ, තීන්දු ගැනීමට තරම් ඉක්මන් නොවේ. මේ රාජ්‍ය නොවන සංවිධාන වලටම අනන්‍යවූ වෙනම න්‍යාය පත්‍රයක් තිබේ. එය පොදු න්‍යාය පත්‍රයක් නොවේ. එය පුද්ගලික න්‍යාය පත්‍රයකි. මේ නිසා තමන්ගේ පුද්ගලික අරමුණ, අපෙක්ෂා වෙනුවෙන් පොදු බව කැප කිරීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.ඔවුන්ගේ පැවැත්ම හා සමස්ත දැක්ම එබඳු පසුබිමක්තුළ රැඳී පවතී. ස්ත්‍රීවාදී ආකල්ප සහිත, කාන්තා විමුක්ති ව්‍යාපාර බඳු රාජ්‍ය නොවන සංවිධානවල අරමුණ මෙරටේ සංස්කෘතියට, හර පද්ධතියට, සාරධර්මවලට බලපාන දේශීය ආකල්ප විනාශ කර දමමින් ඒ වෙනුවට විජාතික ආකල්ප, මතවාද, හැඟීම්, සංස්කෘතික ලක්ෂණ මෙරටට බෝ කිරීමයි. ඒතුළ ඔවුන් පළමුව මෙරට දිගුකලක් තිස්සේ අඛණ්ඩව පැවති මෘතෘ මූලික සංස්කෘතිය ඉලක්ක කර ගෙන ඇත. ඒ අරමුණ පහසුවෙන් ඉටු කර ගත හැක්කේ මෙරටේ ස්ත්‍රිය දඩමීමා කර ගැනීමෙන් බව ඔවුන්ට අවබෝධ වී තිබේ. මන්ද මෙරට පවතිනුයේ මෘතෘ මූලික වූ සංස්කෘතියක් වන හෙයිනි. අප මිහි කත, සොබා දහම් මාතාව, සශ්‍රික බව,ගෙදර බුදුන් මව, කිරි මව්වරු, සත් පත්තිනි බඳු දේ ඔස්සේ අපේ සංස්කෘතිය තුළ ස්ත්‍රිය පූජනීයත්වයට පත් කර උතුම් කොට සලකා තිබේ. ඒ විජාතික ආකල්ප මඟින් පළමු පහර එල්ල කරනුයේ එබඳු ආකල්පවලින් හෙබි පොදු ජන විඥානයටය. මොවුන්ගේ සැබෑඅරමුණ සංස්කෘතික විනාශය තුළින් නව යටත් විජිත කරණ ක්‍රියාදාමය ඉදිරියට මෙහෙයවීමයි. ඒ සඳහා ඇතැම්විට ජනප්‍රිය පුද්ගලයින් පවා යොදා ගනී.

ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව පිරිමින්ටත් වඩා හොඳ අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමේ වරම් ස්ත්‍රීන්ට මෙරට හිමිව තිබේ. ඇතැම් පළාත්වල පිරිමි පාසැල් අධ්‍යාපන මට්ටම අතින් බෙහෙවින් දුර්වලව පැවතියද, ගැහැණු පාසැල් නම් පවතිනුයේ බොහෝ ඉදිරියෙනි. ගැහැණු පාසැල්වල අධ්‍යාපන පහසුකම්, මානව සම්පත් පවා උපරිමව දක්නට ලැබේ. එසේම මෙරට පිරිමින්ට වඩා ස්ත්‍රිය උසස් අධ්‍යාපනයෙන් ඉහළින් සිටී.මේ තත්වය මත මෙරට ස්ත්‍රීන්ට අපහසුවකින් තොරව වැඩි වැටුප් හා වේතන සහිත රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ විධායක, කළමනාකරණ මට්ටමේ ඉහළ වෘත්තීය අවස්ථා ලබාගැනීමට හැකිව තිබේ.මේ නිසා මෙරට සමස්ත ශ්‍රමකයින්ගෙන් වැඩි පිරිසක් ස්ත්‍රීන්බව නිරීක්ෂණය කළ හැක. රැකියාවලදීත්, ස්ත්‍රියක යැයි කියා පුරුෂයින් අතරදී මෙරට ස්ත්‍රීන් කිසිදු කොන් වීමකට ලක් නොවේ. පිරිමින් හා සම සමව වගකීම් දරමින් රැකියාවල ස්ත්‍රීහු යෙදෙති. සිය වෘත්තීය සඟයින් අතරදී වඩාත් පිළිගැනීමට ලක් වනුයේ ද ස්ත්‍රී පක්ෂයම බව දැක ගත හැක. බොහෝවිට රාජ්‍ය හා පුද්ගලික අංශයන්හි ඉහළම විධායක නිලධාරියගේ සිට පහළම පවිත්‍රතා සේවිකාව දක්වා සෑම අයෙක්ම ස්ත්‍රීන් බව පෙනේ. පිරිමි සේවය කරන තැන්වල පවා ස්ත්‍රීන්ගෙන්ම සුසැදි එක් එක් කාණ්ඩ, කල්ලි හා විවිධ මිත්‍ර සංගම් දැක ගත හැක. පුරුෂ විරෝධි ආකල්ප දරණ මොළ ශෝධිත ඇතැම් ස්ත්‍රීන් එබඳු තැන්වල දී හමු වේ. බොහෝවිට පිරිමින් කොන්කර ද්වේෂ සහගතව අසාධාරණ ලෙස සැලකීමට එබඳු අය පෙළඹේ.

පිරිමින්ටත් වඩා ඉහළ උසස් තත්වයේ රැකියා, වෘත්තීන් හා සමාජ මට්ටම්වල ස්ත්‍රීන් පසුවන බැවින් මෙරට තුළ පුරුෂාධිපත්‍යයක් පවතිතැයි ස්ත්‍රීවාදීන්ට කිසිසේත්ම චෝදනා කළ නොහැක. යම් හෙයකින් එසේ පවසතොත් එයම මහා ව්‍යාජයකි. පිරිමියෙකුට කිසියම් තැනකට ළඟා විය හැක්කේ අනිවාර්යයෙන්ම සිය අධ්‍යාපනික හෝ වෘත්තීමය සුදුසුකම් මඟින් පමණකි. නමුදු ඒතත්වය ඇහැට කණට පේන ස්ත්‍රියකට නැත. ඇතැම්විට කඩවසම් බව හෝ රූමත්බව පුරුෂයෙකුට ඉහළ සමාජයට දොර විවර කර දීමට සමත් සුදුසුකමක් විය හැක. නමුදු ඒ කළාතුරකිනි. විවෘත සමාජයේ එබඳු දේ සුලබව කතාවට ලක් නොවේ. එබඳු දේට ප්‍රිය කරන අය දුලබ බැවිනි. සිටියද, ආවාහ විවාහ ආදියට ඇතුළත්ව ඒබව සඟවාගෙන ජීවත්වීමට රුචිකරන බැවිනි. නමුදු ස්ත්‍රියකට ඉහළ සමාජ මට්ටමකට හෝ උසස් රැකියාවක් ලබා ගැනීමට අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකම් අනිවාර්ය සාධකයක් නොවේ. ලාබාල වයස, සිරුරේ පැහැපත් බව හෝ සුන්දරබව ස්ත්‍රියකට ආභරණයකි. එසේම ඇතැම් විටක දී ස්ත්‍රීන් එයම ආයුධයක්බවටද පත් කර ගන්නා බව පවා දැකගැනීමට ලැබේ. ඇතැම් ස්ත්‍රීහු පිරිමින් වසඟකොට සමාජයේ ඉහළ තනතුරු වලට පත්වී, පසුව පිරිමින්ටම විවිධ මදිපුංචිකම්, කෙණෙහිළි කිරීමට පවා උත්සුක වෙති. ඇතැම් විට එබඳු ස්ත්‍රීන් තුළ ඇති වන හීනමානය නිසා ද මේ තත්වය උදා විය හැක. මෙබඳු ඇතැම් ස්ත්‍රීන් ආඩම්බර වනුයේ ස්ත්‍රියකට තිබිය යුතු ලැජ්ජා බිය ආදිය පිළිබඳව නොව තමන්ට එබඳු දේ නැති වීමේ ඇති ප්‍රයෝජනය පිළිබඳවය. කටුස්සාගේ කරේ රන් බැඳීමට සමානවන එබඳු අවස්ථාද තිබේ.

පුරාණ යුගයේ දී නම් උසස් අධ්‍යාපනය ලැබීමේ නිදහස හා අවස්ථාවන් ඇයට අහිමි කරනු ලැබ තිබිණ. එකල දැරියක් අධ්‍යාපනය ලැබීම ඇයිගේ සදාචාරය අරඹයා හානිකර වූවක් ලෙස සැලකිනි. ඒ සාවද්‍යවූ සමාජ ආකල්පනිසා ඇයට පුරාණ යුගවල දී සිදුවූ අසාධාරණය සුළුපටු නොවේ. එය පුරුෂාධිපත්‍යය නිසා සිදු වූවක් නොවේ. අඩු අධ්‍යාපනය නිසා මිනිසුන් තුළ ඇති මුල් බැස ගත් මිථ්‍යා විශ්වාස මේ තත්වය ඇති වීමට හේතුවයි. පුරාණ කාලයේ දී තම දෙමව්පියන් විසින්ම දැරියකට අධ්‍යාපනය ලබාදීම සීමා කරන ලද්දේ ස්ත්‍රියක අකුරු උගත් පසුව රහසින් පිරිමින්ට පෙම් පත් ලියා එමඟින් ඇය නොමඟ යතැයි යන අහේතුක සැකය නිසාය. අද සමාජය ඇත්තේ එදා සමාජය පැවති තැන නොවේ. අද එබඳු සෘණාත්මක ආකල්ප සහිත දෙමව්පියන් නැත. මේ හේතුව නිසා අද විවාහ සංස්ථාව තුළ ස්ත්‍රියද පිරිමියා හා සමාන සමාජ මට්ටමක් දරනු ලැබේ. මේ හේතු නිසා මොන යම් විදිහකින් හෝ අද ස්ත්‍රිය පිරිමියාට වඩා පහළ ස්ථානයක සිටිතැයි කිව නොහැකිය. එසේම පුරුෂාධිපත්‍යය වර්තමාන සමාජයතුළ ඇතැයිද කිව නොහැක. මන්ද අද පිරිමිද පුරුෂ බව පිළිබඳ කතා කිරීමට වඩා දැඩි රුචිකත්වයක් දක්වනුයේ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳව හඬ නැඟීමට වන බැව් පෙනෙන්නට ඇති බැවිනි. මේ නිසා ස්ත්‍රීන් මෙන්ම පිරිමි ද හරි හරියට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් අද සමාජයේ බහුලව පෙනී සිටිති. ඇතැම්විට පිරිමින්ට ඒ තුළද කිසියම් රහසිගත සුන්දර අත්දැකීමක් ලැබිය හැකි අවස්ථා තිබිය හැකි වූ බැවින් විය යුතුය. සමහර අතිධාවනකාරී මෝඩ පිරිමි කේළාම් අසා ස්ත්‍රීන්ගේ පැත්ත ගෙන පිරිමින්ටම ගුටිබැට දීමට පවා පෙළඹෙන බව දක්නට ලැබේ. දෙපක්ෂයම බහුලවම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන්ම පෙනී සීටීමට ප්‍රයත්න දැරීම නිසාම, සමාජයේ දී කාන්තාවට වඩා පිරිමි අසරණ බවට පත්ව ඇතැයි පවසතොත් එයද මුසාවක් නොවේ. ස්ත්‍රීන් මෙන්ම අද බොහෝ පිරිමිද ස්ත්‍රීන් වෙනුවෙන්ම පෙනී සිටින හෙයින් අසරණ පිරිමි වෙනුවෙන් හඬක් නැඟීමට කාත් කවුරුවත් නැත. මේ තත්වය විවෘත සමාජයෙ දී මෙන්ම විවාහ දිවියේදී සැමියා හා බිරිඳ දෙදෙනාගේ බැඳීමතුළ පවා දැක ගත හැක. රැකියා ස්ථානයේ දී කෙතරම් ඉහළ නිලතල දරමින් වගකීම් දැරුවද, කොයිතරම් උසස් ප්‍රවීණ වෘත්තීය මට්ටම්වල පසුවුවද, නිවසේදී පිරිමියා ස්ත්‍රියට පිරිනමනුයේ ප්‍රමුඛතම ස්ථානයයි. ඕනෑම දෙයක් කිරීමට ප්‍රථම සිය බිරිඳගේ අදහස් විමසීමට ලක් කිරීම හා ඇයගේ අනුමැතිය ලැබීමට යොමුව සිටීම පවා ස්ත්‍රී අයිතිවාසිකම් විවාහ දිවියතුළ සුරැකෙන බවට හොඳම සාක්ෂියක් ද වේ. ස්ත්‍රිය ඒතැන ලබා ගෙන ඇත්තේ ආදරය හා නම්‍යශීලී චර්යාව ඔස්සේ මිස අවි අමෝරා ගෙන වෘත්තීය අයිතිවාසිකම් පිණිස සටන් වැදීමෙන් නොවේ.

ඒතත්වය ලබාගැනීමට සැමියාගේ ආදරය, විශ්වාසය දිනාගැනීමට සිය මවගේ චර්යාව ස්ත්‍රියකට කුඩා කල දී මහත්සේ පිටිවහල් වේ. සිය පියා විසින් සිය මවට දක්වන ආදරයට සමාන හෝ වැඩි ආදරයක් තම සැමියා වෙතින් ද හිමි කර ගැනීමට ස්ත්‍රියක් දක්වනුයේ තදබල කැමැත්තකි. එසේම සිය පියාගේ ආදරය දිනා ගැනීමට හා පවත්වා ගැනීමට සිය මව දරන ආයාසය, විවිධ උපක්‍රම පිළිබඳව කුඩා කාලයේදී පටන් ස්ත්‍රියකගේ සිතේ සනිටුහන්ව තිබේ.එය ක්‍රියාවනට නැඟීම සිදු වනුයේ ඇය විවාහ දිවියට පත්වූ පසුවය. විවාහ දිවිය තුළ ස්ත්‍රියකගේ චර්යාව ගොඩ නැඟීමට සිය මවගේ චර්යා ගති ලක්ෂණ බොහෝ සේ ආධාර වේ. මවගේ මනෝ කායික හැසිරීමට අදාළ යම් යම් ලක්ෂණ කුඩා කාලයේ පටන්ම දැරියන් විසින් සිය සෘජු නිරීක්ෂණ මඟින් උගන්නා බව පෙනී ගොස් තිබේ. තම මව තුළ විද්‍යමාන වන සාධනීය හා නිශේධනීය ලක්ෂණ සියල්ලම දැරියකට පිහිටනුයේ මේ නිසාය. මේ නිසා විවාහයකට සුදුසු ස්ත්‍රියක් තේරීමේ දී මවගේ ගති ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය ද වැදගත් වේ. සිය පියාගේ චර්යා අනුව පිරිමින් පිළිබඳ පූර්ව නිගමනවලට පැමිණ ඇති නිසා පියාගේ චර්යාව ද මෙහි දී අතිශයින්ම වැදගත්ය. විවාහක දී ස්ත්‍රිය පිළිබඳව මෙන්ම ඇයගේ දෙමව්පියන් පිළිබඳවද මනාව විමසා බැලීමට ඇතැම්හු පෙළඹෙනුයේ මේ නිසාය. අඬ දබර වලින් තොරව සාමකාමී පවුල් දිවියක් ගෙවීමට දැඩි රුචිකත්වයක් දක්වන බොහෝ පිරිමි සෑම දෙයක් පිළිබඳවම තීරණ ගැනීමේ ක්‍රියාවළියේ දී ස්ත්‍රීන්ටම මූලිකත්වය පිරිනමති. බොහෝ විට තම තීරණ අනුන්ට දැනුම් දීමට පෙර බිරිඳගෙන් ඒගැන විමසීමට සෑම සැමියෙක්ම අමතක නොකරති. පවුලේ මේ වාතාවරණය මැද හැදී වැඩෙන දූ දරුවන් ද අනුගමනය කරනුයේ තම දෙමව්පියන්ගේ පුරුදු හා හැසිරීම් රටාය. මේ නිසා එබඳු පවුල් පසුබිමක් මැද හැදී වැඩෙන පිරිමි දරුවන් තුළ සිය පියාගේ චර්යාවට සමාන චර්යා ලක්ෂණ ද, ගැහැණු දරුවන් තුළ සිය මවගේ චර්යාවට සමාන චර්යා ලක්ෂණ ද වැඩිවියට පත්වීමේ දී ප්‍රකට කරනු ලබයි. මෙය පුරුද්දක් බවට පත්වේ.

සේවය නිමවා නිවසට පැමිණ, වෙහෙස, ගිලන් බව ආදී හේතු කියා සැමියෙකුට විවේකය ලැබිය හැක. නමුදු ඒ තත්වය බිරිඳකට නැත. ඇය වෘත්තියක නිරත වුව ද, නැත ද ඇයට වෙහෙස, ගිලන් බව ඇයට නියමිත කාර්යයන් අතපසු කිරීමට නිදහසට හේතුවක් කර ගත නොහැක. අධික කාර්ය බහුලත්වය, රැකියාවේ අභියෝගකාරී බව නිසා නිවෙස බලා පැමිණි පසුව හිසරදය වැනි හේතුවක් පිට දමා, රාත්‍රි ආහාර ගෙන හෝ නොගෙන සිය දෛනික කාර්යයන් අවසන් කර නිදි යහනට පිවිස වහා නිදි සුව ලැබුව ද, සැමියෙකුට ඇති නිදහසේ භූමිකාව බිරිඳකට නැති බව නම් සත්‍යයකි. ඇය කොතරම් අපහසුතා මැද වුවද, මුළුමනින්ම නිවසේ කාර්යයන් අවසන්වනතුරු ඇයට විවේකයක් හිමි නොවේ. නිවසේ වැඩට කෙතරම් සේවක, සේවිකාවන් සිටිය නමුදු ඇතැම් නිවෙස්වල සැමියෙකුට හිමිව ඇති නිදහස, විවේකය භුක්ති විඳීම බිරිඳකට ඒ අයුරින්ම උරුම නැත. මෙබඳු දේවලට හේතුව පුරුෂාධිපත්‍යය ලෙස දැක්වීමට ඇතැම් ස්ත්‍රීවාදීන් උත්සහ දරණ නමුදු සැබෑව එය නොවේ. පෙරදිග සංස්කෘතික ව්‍යුහයේ ගැබ්වන යම් යම් ලක්ෂණ මීට හේතු වේ. පෙරදිග සංස්කෘතිය තුළ ස්ත්‍රියකට හිමිව ඇත්තේ වගකීම් සහගත ප්‍රමුඛ ස්ථානයකි. ඒ වගකීම් සහිත බවේ ඇත්තේ පෙරදිග සංස්කෘතිය තුළ ස්ත්‍රිකගේ මාතෘ මූලික සමාජ භූමිකාවයි.

පවුල් දිවියේ සමඟිය රැඳී පැවතීම සඳහා ස්ත්‍රී,පුරුෂදෙදෙනාම අනෙකාගේ ආකල්ප, හැඟීම් හා රුචි අරුචිකම් වලට ගරු කිරීම ද ඉතාම වැදගත්ය. එනිසා පිරිමි සිය බිරිඳගේ බොහෝ ආකල්ප, හැඟීම් හා රුචි අරුචිකම් වලට ගරුකර කටයුතු කිරීමට පෙළඹෙති. බොහෝවිට ස්ත්‍රියකගේ සිතුම් පැතුම්, චර්යා රටා, හැඟීම් හා ආකල්ප තව ස්ත්‍රිකට වඩා හොඳින් තේරුම් ගැනීමට පිරිමි අසමත් වෙති. ස්ත්‍රියක නිතරම සිය සිතැඟි බැහැරට නිසි ලෙස ප්‍රකාශ කිරීමට මැළි බවක් දක්වන හෙයිනි. ස්ත්‍රියක බාහිර පරිසරයට අනුව අනුවර්තනය වීමට රුචි බවක් දක්වන බැවිනි. එසේම සිය සහකරුගේ අදහස් හා ආකල්පවලට අනුගතවීමට ද හැකියාවක් ස්ත්‍රීන් තුළ ඇත. ස්ත්‍රීන් තුළ නම්‍යශීලී බව හා සෞම්‍ය ගති ලක්ෂණ අධිකය. මේ නිසා ස්ත්‍රියකට ඕනෑම පරිසරයකට, පුද්ගලයෙකුට පහසුවෙන් අනුගත විය හැක. එසේම මුල දී අනුගත වන බව දක්වා පසුව ඒ පුද්ගලයා සිය මතයට පහසුවෙන් නම්මවා ගැනීමට ද ස්ත්‍රියකට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. සාහිත්‍යයේ මේ ස්ත්‍රී ගති ලක්ෂණ දෙසැට මායම් ලෙස වර්ගීකරණය කර දක්වා තිබේ. මේ මායම් ලෙස දැක්වෙනුයේ නම්‍යශීලී, සෞම්‍ය වූ ගති ලක්ෂණ මඟින් ඕනෑම රළු, දෘඪ, තිර අයෙකු පහසුවෙන් අවනත කර ගැනීමට හැකි උපක්‍රමශීලී ක්‍රමවේදයයි. චර්යාව ආවේදනය හා සංජානනය මඟින් සිය පණිවිඩය අභිමත පුරුෂයෙකුට සන්නිවේදනයකළහැකි විවිධ ක්‍රමවේද, උපක්‍රම මෙහි සඳහන් වේ. යටැසින් බැලීම, හිස ඇලකර බැලීම, ආංගික හා සාත්වික අභිනය, කුඩා දරුවන් සිඹීම, සුරතල් කිරීම බඳු ක්‍රමවේද මඟින් පුරුෂ සිත පහසුවෙන් වසඟ කළ හැකිය. එමඟින් පවුල් සංකල්පයට රුචි කරන පිරිමි ආකර්ශණය වේ.

සිය බිරිඳව තේරුම්ගෙන හෝ නොගෙන ඇයට සිය අනුකූලතාව ප්‍රකාශ කිරීම නිරර්බුද පවුල් දිවියක් ගතකිරීම පිණිස අත්‍යවශ්‍යම කරුණක්වී තිබේ. බොහෝවිට ස්ත්‍රීන් කරනුයේ සිය සැමියාගේ රුචි අරුචිකම් වලට අනුකූලතාවය දැක්වීමට වඩා තමාගේ දේවල්වලට පිරිමින්ගේ කැමැත්ත කෙසේ හෝ ලබා ගැනීමයි. ඇවැසි විට මෙය දැඩිවද, මෘදුවද ඉටු කර ගැනීමේ දක්ෂතාව උපතින්ම කාන්තාවන් තුළ පිහිටා තිබේ. සැමියාට ආදරය දක්වන අතරම, ඔහුව සිය සිතැඟි වලට අනුකූලව අවනත කර ගැනීමට ස්ත්‍රීන් දක්වන දක්ෂතාවය පුදුම සහගතය. සැමියා සිය ආධිපත්‍යය ප්‍රකට කිරීමට කැමැත්තක් දක්වන නමුදු අවසානයේ සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කිරීමට සිදු වනුයේ ද බිරිඳගේ කැමැත්ත පමණි. මේ තුළ පවුල් දිවියේ සමඟිය වෙනුවෙන් සෑම කැපවීමක්ම කිරීමට බොහෝපිරිමි සූදානම්ය. කාර්යබහුල අවසථාවලදී සිය බිරිඳ තම පවුලේ අවශ්‍යතා වෙනුවෙන් දක්වන කැපවීම බොහෝ පිරිමි මහත්සේ අගය කරති. පිරිමි බොහෝ විට සිය ආදරය ප්‍රකට කරනුයේ ස්ත්‍රීන් පරිදි මුසපත් වූ හැඟීම් වලින් නොවේ. බුද්ධිය පෙරටු කොට‍ගෙනය. මේ බැව් නොදන්නා ස්ත්‍රීන් සිය සැමියාග් සැලකීම, අගය කිරීම ගැන පැහැදීමට පත් නොවන බව පෙනේ. සිය හැඟීම් ස්ත්‍රීන් මෙන් පිරිමි විවෘත ප්‍රකාශ නොකිරීමද බෙහෙවින් අවාසි සහගතය.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top