විපක්ෂයේ පොදු අපේක්ෂකත්වය…?

maduluwawe-sobitha-thero.jpg

නොවැ 11, 2014 (විමසුම) – සියලු දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ඇතුලු සියලු පාර්ශ්වයන් එකට ඒකරාශී කර ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බව එජාපය ඊයේ (10) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

“අප සියලු දෙනා අතර විවිධ අදහස් තිබූ අතර ඒ සියලූ අදහස් ගැන සාකච්ඡා කර පොදු එකඟතාවයකට සියලූ දෙනා ගෙන එන්න මාදුළුවාවේ සෝභිත නාහිමියනුත්, සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයත් ගත් උත්සාහය ගැන මම මගේ ස්තුතිය පළ කරනවා.”

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සෝලිස් ශාලාවේ පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන පාලනයක් ගොඩනැගීමට අමතරව 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් සභා බල ගන්වමින් අනුපාත ක්‍රමය සහ කේවල ක්‍රමය සම්මිශ්‍රණය වූ නව මැතිවරණ ක්‍රමයක් රටට හඳුන්වාදීම මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ අරමුණු අතර වේ.

මෙම සාකච්ඡාව සඳහා මාදුළුවාවේ සෝභිත හිමි හා රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා හා පා.ම. අර්ජුන රණතුංග සහ මනෝ ගනේෂන් ද එක්ව සිටියේය.

කෙසේ වෙතත් එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් වන ලෙසට විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කොට ඇත.

මේ අතර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් තමා ඒ සඳහා ඉදිරිපත් වන බවයි.

එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කරන යෝජනාව මෙන්ම තවත් පොදු අපේක්ෂක/අපේක්ෂිකා යෝජනා කිහිපයක්ම මේ වන විට ඉදිරිපත්ව තිබුණ ද ඒ පිළිබඳව එජාපය හෝ ජවිපෙ ඇතුළු විපක්ෂයේ පක්ෂ තවමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැත.

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ඉදිරියට ගත් ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි 02 වන දා පැවැත්වීමට දැනට තීරණය කොට ඇත.

scroll to top