විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් ලබාදීම කඩිනමින්

Manusha.jpg

විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් ලබාදීම කඩිනමින් – විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර

විදේශගත ශ්‍රමිකයන් සදහා විශ්‍රාම වැටුපක් ලබාදීමට අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් ඒ සදහා සියලුම විදේශගත ශ්‍රමිකයන් ශ්‍රමික සුරැකුම යටතේ ලියාපදිංචි වියයුතු බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ශ්‍රමික සුරැකුම් සේවය යටතේ අනුරාධපුර තඹුත්තේගම පැවති වැඩසිටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යතුමා මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේ ද පැවසීය.

“විදේශ ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන්න අපි කටයුතු කරලා තියෙනවා. එත් එය ලබා දෙන්න පුළුවන් වන්නේ ඔබ ශ්‍රමික සුරැකුම යටතේ ලියාපදිංචි වී සිටිනවා නම් පමණයි. විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කරලා තියෙනවා. නමුත් කාර්යංශයේ ලියාපදිංචි වෙලා ගියත් ගමේ ශ්‍රමික සුරැකුම යටතේ ලියාපදිංචි වෙන්න අවශ්‍යයි. මේක කියක්වත් වියදම් වන වැඩක් නෙවෙයි. ලියාපදිංචි වුණාම තමයි එතනින් පස්සේ එයාලා පිළිබද අපිට හොයාබලන්න පුළුවන්කම තියෙන්නේ. දරුවන්ට ශිෂ්‍යත්වයක් දෙන්න, විදේශගත වු පසු ආරක්ෂාකාරිව වගකීමෙන් නැවත ලංකාවට ගෙන එන්න පුළුවන්කම තියෙන්නේ.

මේ වගකීම අපි ඉටුකිරීමේ දී අද කොළඹට නොගිහින් ගමට ඇවිත් ඔබේ ප්‍රශ්න විසදන්න අපි කටයුතු කරන්නේ. අද මාධ්‍යෙව්දීන් එක එක තැන්වලදී අපෙන් අහනවා රටේ මොනවද දැන් වෙලා තියෙන්නේ කියලා. අපිට කියන්න තියෙන්නේ මේ තමයි රජයෙන් කරන වැඩ කියලා. දැන් රජය ගමට ඇවිත් තියෙනවා. ආණ්ඩුවේ ඇමතිවරු ගමට ඇවිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදනවා. මේවා කවදද සිද්ද වුණේ. අද ගමට ඇවිත් මේ මිනිස්සුන්ව රස්තියාදු කරවන්නේ නැතිව කරලා දෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේක තමයි අලුත් සහජීවන ආණ්ඩුවේ වැඩපිළිවෙල.

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බලයට ඇවිත් තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් බලයට ඇවිත් ඉන්න තලතා අතුකෝරල මැතිණියත් එක්ක, චන්ද්‍රණි බණ්ඩාර මැතිණියත් එක්ක අපි එකට එකතුවෙලා වැඩ කරනවා. මොකක්ද වරද. අපි එකට එකතුවෙලා වැඩ කරන්නේ මිනිස්සු වෙනුවෙන්. අපිට වෙන වෙන දේශපාලන අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට වැඩ කිරීමේදී එක පොදු අරමුණක් තියෙනවා. ඒ පොදු අරමුණේ දී අපිට පක්ෂ පාට බේදයක් නැතිව අපි එකට එකතු වෙලා වැඩ කරනවා. ඒක තමයි අලුත් ආණ්ඩුවේ තියෙන වෙනස. ඒකයි ආණ්ඩුවට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. කකුලෙන් අනිත් පැත්තට අදින්න කවුරුත් නැහැ. හැමෝම එකට එකතුවෙලා ගමනක් යනවා. නොයෙක් නොයෙක් කණ්ඩායම් ඉදලා විවේචන සිද්ධකරන්න පුළුවන්. හැබැයි රටේ ප්‍රධාන පක්ෂ දෙක එක තැන ඉන්න නිසා රට ඉස්සරහට යනවා. මේ ගමන ශක්තිමත්ව ඉදිරියට යන ගමන් තමයි තමුන්නාන්සේලා ඉදිරියට ඇවිත් වැඩ කරන්නේ.

මේ විගමනික ශ්‍රමිකයන්ගේ කර්තවයේ දී අපිට නොයෙක් නොයෙක් චෝදනා කරනවා. සමහර වෙලාවට රිසානා නාෆික්ගේ සිද්ධිය වෙන්න පුළුවන්, ඇණ ගහලා ආපු සිද්ධි වෙන්න පුළුවන්. නොයෙක් නොයෙක් සිද්ධි තියෙනවා. නමුත් මේ හැම තැනකදීම ආණ්ඩුව විතරක් නෙවෙයි යවන අයටත් වගකීමක් තියෙනවා. සමහර විට තමන්ගේ දරුවව අඩු වයසින් පිටරට යවලා, ගැටලු ඇතිකරගන්නවා. හොර ඒජන්සි වලින්, හොර සහතික හදලා යවපු එකට ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. මේ වගේ තත්ත්වයක් තියෙනවා රටේ. හැබැයි මේ ගැන කවුද දැනුවත් වෙන්න ඕනේ. ඔබයි දැනුවත් වෙන්න අවශ්‍යය. නිසි වයසට නිසි ක්‍රමවේදයට නිසි මග යටතේම විදේශ ගත කරවන්නට ඔබ දැනුවත් වෙන්න ඕන. මේක ඉතාමත්ම ඛේදණීය තත්ත්වයක්.

අපේ රටේ ජනගහනයෙන් සියයට 10කට ආසන්න ප්‍රමාණයක්ම විදෙස්ගතවෙලා ඉන්නවා. නමුත් අපි ගාව ලියාපදිංචි වුණ ප්‍රමාණය එච්චර නැහැ. නමුත් මේවයින් පැමිණිලි එන්නේ සියයට දශම 1ක් 2ක් අතර ප්‍රමාණයක්. එහෙත් රටේම කතාවට ලක්වෙන්නේ විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධව පැමිණිලි ගොඩක් තියෙනවා කියලා. ප්‍රශ්න නැති අය අපි ගාවට එන්නේ නැහැ. ඔවුන් රට ගිහින් ඇවිත් බොහොම සාධාරණ විදිහට තමන්ගේ ජිවිතය ගොඩනගාගෙන ඉන්නවා. ඒ අයට ලංකාවට ආවහම නැවත රට යන්න බැරිනම් තමන්ගේ ජිවිකාව ගෙන යන්න මේ රටේ දී ස්වයං රැකියාවක් කරගෙන යන්න උදව් කරන වැඩපිළිවෙළක් අපි සක්ස් කරලා තියෙනවා. මේ සියල්ල සිද්ධ කරන්නේ අපි ආණ්ඩුවක් විදිහට ජනතාවගේ ළගට ඇවිල්ලා. මේ පිළිබදව ගමේ ශ්‍රමික ජනතාව දැනුවත් කිරීම වැදගත් වෙනවා.

scroll to top