විදෙස් ගතවන ශ්‍රමිකයින් මව්බිමේ ගෞරවය ආරක්ෂා කිරීම යුතුකමක් – ඇමතිනි තලතා අතුකෝරළ

Thalatha-5.jpg

විදෙස් ගතවන ශ්‍රමිකයින් මව්බිමේ ගෞරවය ආරක්ෂා කිරීම යුතුකමක් බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් ප්‍රකාශ කළේ, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් 38 දෙනෙකු වෙනුවෙන් ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට ඊයේ දිනයේ (2017.09.12) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය සඳහන් කළේ, ඊශ්‍රායල් රැකියා සඳහා යන ශ්‍රමිකයින් සිය කාල සීමාව ඉක්මවා නීතිවිරෝධී අයුරින් එරට රැඳී සිටීම හේතුවෙන් ඊශ්‍රායෙල් රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමක් ඇතිවී තිඛෙන බවයි. එරටට පිටත්ව යන ශ්‍රමිකයින් සිය කාල සීමාව ඉක්මවූ පසු නැවත දිවයිනට පැමිණීමට වගබලා ගතයුතු බවත් එසේ රැඳී සිටීමට කටයුතු කිරීම හරහා අප රටට අගෞරවයක් සිදුවන බැවින් සියළු ශ්‍රමිකයින් තම මව්රටේ ගෞරවය ආරක්ෂා කිරීම තම යුතුකමක් ලෙස කටයුතු කිරීමට වග බලා ගතයුතු බවයි. නව රජය බලයට පත්වීමට පෙර ඊශ්‍රායෙල් කෘෂිකාර්මික රැකියා අවස්ථා ලාංකිකයින්ට අඩු ප්‍රමාණයක් ලැබුණු බවත් 2015 ජනවාරි 08 වන දින නව රජය බලයට පත්වීමෙන් පසු ඒ වන විට ඊශ්‍රායෙලයේ රැඳී සිටි ශ්‍රමිකයින් පිරිසක් එරට දේශපාලන රැකවරණය පවා ඉල්ලීමට කටයුතු කළ බව අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

ඊශ්‍රායෙල් රාජ්‍යයේ කෘෂිකාර්මික රැකියා හරහා ශ්‍රමිකයින්ට වැඩි ආර්ථීක ප්‍රතිලාභ හිමිවන අතර, කාලය අවසන්වීමෙන් පසු මෙරටට පැමිණි ශ්‍රමිකයින්ට නැවත වරක් ඊශ්‍රායෙල් රැකියා සඳහා පිටත්ව යාමට හැකි බැවින් එය නිවැරදිව හඳුනාගෙන කටයුතු කළ යුතු බවද අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
නව රජය ඊශ්‍රායලය සම`ග ඇති කරගත් සහයෝගිතාවය මත මේ වන විට ගතවූ වර්ෂ දෙක තුළ ශ්‍රමිකයින් 741 දෙනෙකු ඊශ්‍රායෙල් කෘෂිකාර්මික රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ.ඔබේසේකර, කි්‍රයාකාරී අධ්‍යක්ෂක නීතීඥ උපුල් දේශපි්‍රය, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරී තරංග හෙට්ටිආරච්චි යන මහත්වරුන්ද එක්වී සිටියහ.

scroll to top