විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව අර්බුදයක !

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතන ප්‍රධානීන්ගේ වගකීම් විරහිත අදූරදර්ශී දැඩි අත්තනෝමතික ක්‍රියාකාරීත්වය නිසා එම ආයතනයෙන් පශ්චාත් උපාධි විද්‍යා අධ්‍යාපන ඩිප්ලෝමාවේ පටන් සියලු පශ්චාත් උපාධි පාඨමාලාවල ප්‍රමිතිය පිළිබඳව සුවිශාල අර්බුදයක් මතුව තිබේ. මේ තත්වය නිසා උක්ත පාඨාමාලා හැදෑරූ ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල අපහසුතාවයකට, දැඩි අසාධාරණයකට පත්ව සිටිති. ඒ ශිෂ්‍ය පිරිස දැනට රාජ්‍ය පාසල් පද්ධතිය තුළ සේවයේ නිරතව සිටින විද්‍යා ගුරුවර ගුරුවරියන්ගෙන් සමන්විත පිරිසකි. මේ ගුරු පිරිස විද්‍යාපීඨ, උපාධිධාරී යනාදී විවිධ වර්ගවලට අයත් විශාල පිරිසකි. දැනට රජයේ පාසල්වල විද්‍යාව විෂය ඉගැන්වීමෙහි නිරතව සිටින මේ ශිෂ්‍ය පිරිස විද්‍යා පීඨ ගුරු පුහුණු පාඨමාලාව හදාරා ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ලැබූවන්ගෙන්ද විවෘත විශ්වවිද්‍යාලය ඇතුළු විවිධ විශ්වවිද්‍යාලවලින් උපාධිය ලැබූවන්ගෙන්ද සමන්විත වේ. වරද කාගේවත්ය. නමුත් ඒ අනුන්ගේ වරදකට දැන් දඬුවම් විඳිනුයේ වෙනත් පිරිසකි. වරදකරුවෝ අධ්‍යයන කාර්ය මණ්ඩලයයි. දඬුවම් විඳින්නේ විද්‍යා ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවෝය. අධ්‍යයන කාර්යමණ්ඩලයට අයත් ස්ත්‍රීපුරුෂ ආචාර්ය, හා මහාචාර්ය දෙපිරිසගෙන් සමන්විත කථිකාචාර්ය මඬුල්ලයි. මොවුහු දැඩි ආත්මාර්ථකාමී, මුදලට ගිජු ප්‍රතිපත්ති ගරුකබවක් රහිත පිරිසක්බව ඔවුන්ගේ පාඨමාලා නිසා අධ්‍යයනය කිරීමේ හේතුව මතම අසාධාරණයට ලක්වූ සිසු පිරිස පවසති. තමන් ක්‍රියාත්මක කරන පාඨමාලා නිසා තව තවත් සිසුන් අසරණබවට හා අසාධාරණයට ලක්වන බව ඉතා හොඳින් දැන දැනම ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් මෙම පාඨමාලා නතර නොකර තව දුරටත් මෙම විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනයේ පවත්වාගෙන යෑමට තරම් සිසුන්ගෙන් අයකර ගන්නා මුදලට ගිජු කමක් දක්වන මේ අධ්‍යයන කාර්යමණ්ඩල ප්‍රධානීන්තුළ පවතින කෑදරකම විශ්වවිද්‍යාල ආචාර්වරයෙකුතුළ පැවතිය යුතු යැයි සැලකෙන ආචාරධර්ම, පුද්ගල වටිනාකම් හා අධ්‍යපාන පරමාදර්ශවලට පවා පටහැනි බව දැක්විය හැකිය.

සෑම විශ්වවිද්‍යාලයකම දැනට ක්‍රියාත්මකවන සෑම අධ්‍යයනය පාඨමාලාවකම ප්‍රමිතිය එහි අන්තර්ගතය හා එය හැදෑරීමට අවශ්‍ය අධ්‍යයන සුදුසුකම් මත තීරණය වේ. මේ ප්‍රමිතිය මත විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතේ ඇති සෙසු ජාතික විශ්වවිද්‍යාලවල ඇති පාඨමාලාවලද නියමිත ප්‍රමිතිය සපුරා ඇති බවට අනුමැතිය ලබා ගත යුතු වේ. ඊට අමතරව විටින්විට පාර්ලිමේන්තුගත වන මේ සම්බන්ධ අණපණත් මඟින්ද අනුමැතිය හිමිව තිබිය යුතුය. මුලදී පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනය යටතේ වූ විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව මේ සියලු ප්‍රමිතී නිසි පරිදි සම්පූර්ණ කර තිබිණ. එබැවින් ඒ පාඨමාලාව සෙසු විශ්වවිද්‍යාල හා සෑම රජයේ ආයතනයක්ම ගුරුවරුන්ගේ උසස්වීම්, වැටුප් වර්ධක, නව තනතුරු ප්‍රදානය ආදී සියලු කාර්යයන් සඳහා මේ පාඨමාලාව පිලිගනු ලැබ තිබිණ. එසේ තිබියදී මේ පාඨමාලාව හදිසියේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මඟින් නීත්‍යානූකූළව පිළිනොගන්නා (unrecognized) ලද පාඨමාලාවක් බව දන්වනු ලබයි. මේබව සියලු රාජ්‍ය ආයතනවලට ලිඛිතව දන්වනු ලැබේ. ඉන් පසුව රාජ්‍ය ආයතනවල සියලු බඳවා ගැනීම්, උසස්වීම්, වැටුප් වර්ධක ලබාදීම් ආදී සියලු කාර්යයන්හිදී පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතන විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ පටන් සියලු පාඨමාලාවල නීත්‍යානූකූල වලංගු බව අහෝසීකර දමනු ලබයි. මෙය ගුරු සිසුන්ගේ පැත්තෙන් ඔවුන්ට සිදුවූ දැඩි අසාධාරණයකි. මන්ද ඒ වන විටත් මේ පාඨමාලා අධ්‍යයනය කර අවසන්ව සිටි ගුරු සිසුන් විශාල පිරිසක් සමාජයේ සිටින බැවිනි. සත්‍ය වශයෙන්ම මේ ඩිප්ලෝමා පාඨමාලාවේ වලංගුබව අහෝසි කර දැමීමෙන් අසරණවනුයේ ගුරු සිසුන්වන නමුදු මේ අහෝසිකිරීමට හේතුවට මුල්ව ඇත්තේ මේ විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්වරියකගේ ක්‍රියාකලාපයයි. එනම් ඇය විසින් අයට තිබූ පුද්ගලික හිතවත්කම් නිසා හෝ පාඨමාලා අපේක්ෂකයන්ගෙන් ලැබෙන මුදලට ගිජුවී හෝ මේ විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හැදෑරීම පිණිස විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මඟින් නිකුත් කර තිබූ අවම සුදුසුකම්වත් සම්පූර්ණ කර නොතිබූ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරු පිරිසකට ඒ අවම සුදුසුකම් සම්පූර්ණකර නොතිබීම නොසලකා අත්තනෝමතික ලෙස මේ පාඨමාලාව හැදෑරීමට අවසර ලබාදීමේ හේතුවයි.

පසුව මේ සියල්ල අධ්‍යාපනය සම්බන්ධව ක්‍රියාත්මක වන ඉහල තැන්වලට කෙසේ හෝ වාර්තා විය. මේ බව දැන ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධි විද්‍යා අධ්‍යාපන ඩිප්ලෝමාව ඇතුළු ඊට ඉහළ අධ්‍යාපන පාඨමාලාවල නීත්‍යානූකූල වලංගු බව නැති කර දමා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තැන්වලට හා විවිධ රජයේ ආයතනවලට ඒ බව දැන්වීමට ද පියවර ගනු ලැබිණ. මූලික වරද සිදු කර තිබුණේ විශ්වවිද්‍යාලයේ අදාළ අධ්‍යාපන ආයතනයේ බලධාරීන් වූ නමුදු ඊට දඬුවම් විඳීමට සිදුවූයේ මේ පාඨමාලාව හැදෑරූ හා දැනටද හදාරන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටය. මෙය ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ට සිදුවූ විශාල අසාධාරණයක් බව අදාළ බලධාරීන් කල්පනාවට නොගනුයේ ඇයි? මේ සියල්ල හෙළිවූයේ මෙම ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ගුරු සිසුන් ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය ආදී තරඟවිභාග සමත්වීමෙන් පසු ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ සඳහා යොමුවීමේ දීය. එහිදී අදාළ තරඟ විභාගවලින් කෙතරම් ඉහළ ලකුණු මට්ටමක් ලබාගෙන ඉහළින් සමත්වූවත් පසුව පැවැති සම්මුඛපරීක්ෂණවලදී මෙම විද්‍යා අධ්‍යාපන පශ්චාත් ඩිප්ලෝමාව හා එය පදනම් කරගත් විද්‍යාපති හා ඊට උසස් සියලු උපාධිවල නීත්‍යානූකූල වලංගුභාවය පිළිගත නොහැකි යැයි දැන්වූ අවස්ථාවේදීය. ඊට හේතුව ලෙස අදාළ සම්මුඛපරීක්ෂණ මණ්ඩල පවසනුයේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් සියලු රාජ්‍ය ආයතනවල බඳවා ගැනීම්, උසස්වීම් ආදී සියල්ලේදීම මෙම ඩිප්ලෝමාව හා එය පදනම්කරගත් සෙසු උපාධි නීත්‍යානූකූල වලංගු නොවනබව දන්වා ඇතිබව පවසමිනි. මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ නීත්‍යනූකූල වලංගුබව නැතිවීම ගුරු සිසුන්ගේ වරදකින් සිදුවූවක් නොවේ. එය සිදුවී ඇත්තේ ඉහත සඳහන්කළ පරිදි මෙහි කලින් සේවයකළ එක්තරා ප්‍රබල තැනැත්තියක නිසාය. දැන් ඇය සේවයෙන් විශ්‍රාම ගොසිනි. මහාචාර්වරියක වන ඇය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුවද විවිධ පාඨමාලා සංවිධානය කර පවත්වමින් සිටින අතර ඇයගේ සිසුන් වූ ඉහත ගුරුවරුන්ට සිදුවූ අසාධාරණයට ඇය කිසිදු පිළියමක් නොකරන හා ඔවුන්ට සිදුවූ අසාධාරණය ඇය ගණන් නොගන්නා තත්වයක පසුවන්නීය.

මෙම ඩිප්ලෝමාවේ නීත්‍යානූකූල වලංගුතාවයක් නැති බව පැහැදිලිව ඉහත සිදුවීම් හරහා පැහැදිලිව දැන දැනත් තවමත් උක්ත විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව පවත්වාගෙන යමින් අහිංසක අසරණ ගුරු සිසුසිසුවියන්ගේ කාලය,ශ්‍රමය,මුදල් හා අහිංසක බලාපොරොත්තු ගසාකෑම මෙහි වඩාත්ම ඛේදජනක කාරණයයි. මුලු ශ්‍රී ලංකාවේම රාජ්‍ය ආයතනවල කිසිදු බඳවා ගැනීමක්,උසස්වීමක් ආදී කිසිදු කාරණයකට මෙම ඩිප්ලෝමාව නීත්‍යානූකූලව වලංගු නොවන බව ඉතාම පැහැදිලිව දැන දැනත් මෙසේ තවමත් විශාල සිසු පිරිසක් වාර්ෂිකව එම ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට බඳවා ගැනීම් සිදුකිරීම පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතන ප්‍රධානීන් විසින් සිතාමතා කරනුලබන බලවත් වරදක් ලෙස පෙන්වා දිය හැකිය. නොදැනුවත්කම නිසා මේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරා සමත්වූ විදුහල්පති තරඟවිභාගවලින් සමත්වූ ගුරුසිසුන් විශාල පිරිසක් සම්මුඛපරීක්ෂණවලදී ඉවත්කර කපාහැර තිබුණේ එම ඩිප්ලෝමාව unrecognized බව දන්වමිනි. මේ හේතුව මත ඔවුන්ගේ කාලය, ශ්‍රමය, මුදල් හා බලාපොරොත්තු බිඳවැටීමෙන් ඔවුහු විශාල මානසික පීඩනයකට ලැජ්ජාවකට පත්ව සිටියහ. අධ්‍යාපන පරිපාලන තරඟවිභාගයෙන් සමත්වූ තවත් විශාල ගුරුවරු පිරිසක් සම්මුඛ පරීක්ෂණවලදී මේ ආකාරයටම එම ඩිප්ලෝමාව unrecognized බව පවසමින් එම පරීක්ෂණයෙන් අසමත්කර තිබිණ. ඔවුන් ඒ විදුහල්පති විභාගය සමත්වීම නිසා අදාළ උසස්වීම පිළිබඳ විශාල බලාපොරොත්තු ගොඩනඟා සිටි අතර අධ්‍යාපන සුදුසුකම් unrecognized බව දන්වා ඔවුන්ට අදාළ අවස්ථාව අහිමිකිරීමෙන් ඔවුන් විශාල සමාජයේ අවමානයකට, ලැජ්ජාවකට, ඉච්ඡාභංගත්වයක, මානසික පීඩනයකටද පත්කර මානව හිමිකම් කඩකිරීමකට ලක්කොට තිබිණ. එසේම මෑතකදී පැවති ගුරු අධ්‍යාපනඥ තරඟවිභාගයෙන් සමත්වූ තවත් ගුරුවරු පිරිසකටද සම්මුඛපරීක්ෂණවලදී එවැනිම කණගාටුදායක ඉරණමකට මුහුණපෑමට සිදුවිණ. ඉහත ඩිප්ලෝමාව සුදුසුකමක් ලෙස සම්මුඛපරීක්ෂණ වලදී ඉදිරිපත්කළ විශාල පිරිසකට එහිදී එම ඩිප්ලෝමාව unrecognized බව දන්වා සම්මුඛපරීක්ෂණයෙන් කපා හැරදමා ඔවුන්ව ආපසුහරවා යවා තිබිණ. ජීවිතයේ විශාල බලාපොරොත්තු ගොන්නක් රඳවාගෙන කාලය, ශ්‍රමය, ධනය කැපකර ඔවුන් මෙම විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදරා සමත්වූයේ එය සිය ගුරු ජීවිතයේ අවශ්‍යතා සපුරාලන්නක් බවට ඔවුන්තුළවූ අවංක පිළිගැනීම හා විශ්වාසය නිසාය. නමුදු අදාළ ආයතන ප්‍රධානීන් විසින් සිදුකරන ලද වරදක් නිසා මෙලෙස ගුරු සිසුන්ට වන්දිගෙවීමට සිදුවීම අතිශය අසාධාරණ,පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස අපට පැහැදිලිව දැකගත හැකිය. වැරද්ද කලේ කවුරුන් වුවද ඊට වන්දිගෙවනුයේ වෙන අයෙකි.

මෙම ආයතනයේ සේවයේ යෙදී සිටින ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ චර්යාධර්ම පිළිබඳ කතාකළහොත් සුනඛයන් පවා බත් නොකනු ඇතිබවත් ඇතැම් චර්යා ග්‍රාම්‍ය අන්ත හීනදීන කාමුක සල්ලාල බව දක්වා ඉතා පහළ මට්ටමකට පත්ව ඇති බවත් මෙබඳු සල්ලාල ආචාර්ය උපාධිධාරියෙකු මෙම ආයතනයේ අංශ ප්‍රධාන නිලයක් හොබවන බවද ගුරු සිසුවියෝ පවසති. මෙහි ඉගෙනුම ලබන ගුරු සිසුවියන්හට ඔවුන්ගේ ජංගම දුරකථනවලට රාත්‍රී කාලයේ ආචාර්ය උපාධිධාරියෙකුට හා අංශ ප්‍රධානියෙකුට නොතරම්වන ආකාරයේ කියුම් කෙරුම් ඇතුලත් කෙටිපණිවිඩ යවමින් නොමනා යෝජනා කරන පහත් පැවතුම් ඇති සිය බිරිඳ හා දියණිය පවා බැහැරකොට සිටින කාමුක සල්ලාලයෙකුද රිංගාගෙන සිටින බවද ඔහුගේ කාමුක ක්‍රියා නිසා තමන්ගේ විවාහ පවුල් සංස්ථාව තුළ පවා ගැටලු අර්බුද ඇති වියහැකි බවද ගුරු සිසුවියෝ මහත් කළකිරීමකින් පවසති. මේ පුද්ගලයා මෙහි කලින් සේවයකොට දැනට විශ්‍රාමලබා සිටින ජ්‍යෙෂ්ඨ මහාචාර්යරියකගේ දැඩි පිළිකුලටද ලක්ව සිටියි. නමුදු මොහුගේ පහත් ක්‍රියාකළාපයට දැනට මෙහි සේවය කරන එක් මහාචාර්වරියකගේ අනුබලය හා අනුග්‍රහකත්වය සැපයෙන බව පැවසේ. ගුරු සිසුවියන් මේ පුද්ගලයා විසින් සිදු කරන අසැබි දේ පිළිබඳ එම මහචාර්යවරියට දැන්වුවද ඇය ඊට එරෙහිවීම වෙනුවට ඊට උල්පන්දම් ලබාදී මේ පිළිබඳ වාර්තාකරන සිසුවියන් පාවාදීමටද කටයුතු කරන්නීය.

ඉහත ගුරුසිසුසිසුවියන් මුහුණපා ඇති අන්ත අසරණ තත්වය, ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය, අයුක්තිය හා ඊට ගතහැකි පිළියම් පිළිබඳ රජයේ වගකිව යුතු පාර්ශව හා අදාළ අධ්‍යාපන බලධාරීන් වෙතට අවස්ථා රැසකදී දන්වනු ලැබූ නමුදු මේ වන තෙක් තවම උක්ත ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුමක් නොලැබිණ.මෙහි වරද රජයේ නොව විද්‍යා අධ්‍යාපන ඩිප්ලෝමාව පාඨමාලාවේ ප්‍රමිතිය නැතිකළ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතන ප්‍රධානීන් හා අධ්‍යයනය කාර්යමණ්ඩලයේ බව අපගේ අවංක හැඟීමයි. නමුදු මෙහි වරද රජය පිටපටවා ගුරුසිසුන්ගේ කැකෑරෙන කෝපය මුසුඅවධානය රජය වෙත යොමුකරවා විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතන ප්‍රධානීන් හා අධ්‍යයනය කාර්යමණ්ඩලය බේරා ගැනීමේ මෙහෙයුමක්ද ඔවුන්ට අවනත පක්ෂපාතී ඔවුන්ගේ ඇතැම් සහචර පිරිස් විසින් දියත්කර ඇතිබව අපි මේවනවිටත් පැහැදිලිව හඳුනාගෙන ඇතිබව දැන්වීමට කැමැත්තෙමු. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතන ප්‍රධානීන්, අධ්‍යයන කාර්ය මණ්ඩල ප්‍රධානීන්, හා කථිකාචාර්ය මඬුල්ල ඇතුළු කවරෙකු වුවත් අපට කම් නැත. ගුරු සිසුන්ට ආයතනය තුළදී පෙන්වන ඔවුන්ගේ ආචාර්ය මහාචාර්යකම් උස්මිටිකම් ලොකුකම් ආදී කෙරුවාවල් අපට නම් අදාළම නැත. අපගේම හෘදය ශාක්ෂියට මිසක අප කිසිවෙකුට බියක් නම් නැත. තරුණවියේ සිට දරුණු යකුන් සමඟ ගණුදෙනු කර ඇති හෙයින්ම කිසිදු යයෙකුට බිය නැති අපට අමු සොහොන්වල ගෙවල් හැදීම පිළිබඳව කිසිදු ගැටලුවක් මතු නොවේ. අසරණ අහිංසක ගුරු සිසුන් මුහුණපා ඇති මේ ගැටලුවට වහා මැදිහත්ව එය විසඳීම වැරද්ද සිදුකල ඔබගේ යුතුකමක් බැවින් වහා යථෝක්ත ගැටලුවට මැදිහත්ව එය කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙසත් යම් හෙයකින් ඔබ එය කිරීමට අපොහොසත් වන්නේ නම් නම්බුකාරලෙස අදාළ තනතුරුවලින් වහා ඉවත්ව කළහැකි අයෙකුට මෙය බාරදෙන මෙන් ඔබට දන්වා සිටීමට මෙය හොඳ අවස්ථාවක් කර ගන්නාබවද තරයේ දන්වා සිටිමු.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top