වැල්ලවත්ත සිදුවීම වියවුල් නාගරිකකරණයේ තවත් අතුරු ප‍්‍රතිඵලයක් – ඇමති චම්පික

‘‘වැල්ලවත්ත මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිදුවීම සම්බන්ධයෙන් එයට වගකිව යුත්තන්ට තරාතිරම නොබලා කඩිනමින් නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි.’’

– ඇමති පාඨලී චම්පික රණවක

  • වැල්ලවත්ත සිදුවීම වියවුල් නාගරිකකරණයේ තවත් අතුරු ප‍්‍රතිඵලයක්. එය නිවැරදි කරන්නට අපි කටයුතු කරනවා.
  • ජාති, ආගම් පක්ෂ භේදයෙන් තොරව රජයේ වගකීම බහුතර ජනතාවගේ සුභ සිද්ධිය පිණිසයි.
  • බම්බලපිටියේ සිට වැල්ලවත්ත දක්වා අනවසර ඉදිකිරීම් 1800 ක්.

අද රටේ නගරයන් හි නීති විරෝධි ඉදිකිරීම හේතුවෙන් බරපතල ගැටළු ඇති වී තිබෙන බවත්, වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීම ඒ සඳහා කාලීන උදාහරණයක් බවත් නීති විරෝධි ඉදිකිරීම් හඳුනාගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීමට වහාම අවධානය යොමු කරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ අද (19) දින මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘‘2009 වසරේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා සැලසුම් අනුමැතියක් ලබාගෙන ඇති මුත් ඒ සඳහා අනුකූලතා සහතිකයක් ලබා නොමැත. සැලසුම අනුව ගොඩනැගුනා ද, පදිංචියට සුදුසුද යන්න සහතිකය නගර සභාවෙන් රැුගෙන නැති බව හෙළිදරව් වී තිබෙන අතර එම සහතිකය නොමැතිව ජනතාව පදිංචි කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ වගේම මෙම ගොඩනැගිලත් වැල්ලවත්ත ඇළත් අතර තිබිය යුතු ආරක්ෂිත ප‍්‍රදේශය අඩි 21 ක් තිිබිය යුතුය. ඔහු එම ප‍්‍රදේශයත් අල්ලා සම්පූර්ණ නීති විරෝධි ඉදිකිරීම සිදුකර තිබෙනවා. කිසිම සැලසුම් අනුමැතියක් නොමැතිව උත්සව ශාලාවක් ඉදිකළා. එක් ගොඩනැගිල්ලක් තට්ටු 08 ක් වෙනවා. අනිත් ගොඩනැගිල්ල තට්ටු 07 යි. මෙම තට්ටු 07 ගොඩනැගිල්ල තමයි කඩා වැටීමට මුල් වෙලා තියෙන්නේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කළ සරල පරීක්‍ෂණයෙන් හෙළි වී තිබෙනවා මෙම ගොඩනැගිල්ලේ ව්‍යූහාත්මක වශයෙන් නියමිත පරිදි ගොඩනගා නොමැති හේතුවෙන් ව්‍යූහාත්මක බිඳවැටීමක් නිසා සිදු වූ බවට හෙළිවී තිබෙනවා. මෙම සිදුවීමත් සමග මෙම ප‍්‍රදේශයේ ඇති අනෙකුත් ගොඩනැගිලි පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරනවා.

මෙයින් ගම්‍ය වන විශේෂ කරුණක් තිබෙනවා. රටපුරා ව්‍යාප්ත වී ඇති නීති විරෝධි ඉදිකිරීම් හා එම ඉදිකිරීම්වලට පියවර ගැනීම සඳහා ගැටළු බාධා රැසක් තිබෙනවා. මේ අනුව නාගරික සංවර්ධන අධිකාරිය 2017 පෙබරවාරි 01 සිට මේ තත්වය අවබෝධ කරගෙන බම්බලපිටියේ සිට වැල්ලවත්ත දක්වා විශේෂ සමීක්ෂණයක් දියත් කරනු ලැබුවා. ඒ අනුව අනවසර ඉදිකිරීම් 1,800 ක් පමණ වාර්තා වී තිබෙනවා.

ජීවිතයක් හානි වී ඇති මොහොතක සෑහෙන පිරිසක් තුවාල ලබා රෝහල් ගතව සිටින අවස්ථාවක ඒ වගේම උත්සව ශාලාවක් හැටියට නම් කර ඇති මෙම ගොඩනැගිල්ල තුළ එම අවස්ථාවේ උත්සවයක් තිබුණේ නම් සිය ගණනක් ජීවිත අනතුරට ලක්වීමට තිබුණා. මෙම ඉදිකිරීම් කළ සියළු දෙනාට දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ තරාතිරම නොබලා වහාම නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව මම පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා යවනු ලැබුවා.

මේ රටේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී බරපතල ගැටළු රාශියක් තිබෙනවා. මොනයම් හෝ ස්ථානයක ඉදිකිරීම් සිදුව ඇතිනම් ඒ පිළිබඳව සොයා බැලීමට ආයතන විශාල සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් එම ආයතනයන් හි කි‍්‍රයාකාරීත්වය පිළිබඳව අපහට යම් ගැටළුකාරී තත්වයන් ඇතිමුත් නාගරික සංවර්ධන අධිකාරිය, එම අධිකාරිය සීමිත සම්පත් ප‍්‍රමාණය උපයෝගී කරගෙන මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මේ සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව පුළුල් සමීක්‍ෂණයක් සිදු කොට කොළඹ නගරයේ මෙන්ම දෙහිවල ගල්කිස්ස, කොලොන්නාව යන ප‍්‍රදේශයන් හි අනවසර ඉදිකිරීම් ගැන සොයා බලනවා. මූලික අධ්‍යනයේදී අපි නීති විරෝධි ඉදිකිරීම් 10,000 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. තවද කොටි ත‍්‍රස්තවාදීන්ගේ තර්ජන සමයේ විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණි අතර එම ජනතාව වෙනුවෙන් කුඩා නිවාස සංකීර්ණ විශාල වශයෙන් තැන් තැන්වල ඉදිවුණා. එම නිවාස සංකීර්ණයන් හි ප‍්‍රමිතිය ගැන ද බරපතල ගැටළුවක් තිබෙන බව සඳහන් කළ යුතුය.

අපි ප‍්‍රමුඛතාවයන් හඳුනාගෙන ඇල මාර්ග දෙපස, වගුරු බිම්, පරිසර සංවේදී කලාපයන් හි ඉදිකිරීම් පිළිබඳ විශේෂ අවධානයක් යොදා කටයුතු කරනවා. මන්ද ගංවතුර පාලනයට ද මෙම කරුණ විශේෂ වැදගත් කමක් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියහ.

scroll to top